Showing posts with label මා කැමති ගීත.... Show all posts
Showing posts with label මා කැමති ගීත.... Show all posts

Wednesday, August 17, 2016

ප්‍රේමය, විරහව, තනිකම මැවූ ගී සොළොස....

ඉයන්ගේ අඩවියෙන් ඇරඹුන සුන්දර ගීත රැල්ලට හසු නොවුනා නම් ඒක ලොකු අඩුවක් හිතට...

ජීවිතේට බැඳුනු ගීත බොහොමයක්, මං මගේ කරගෙන විඳින ගීත...බොහෝ විට ඒවායේ පද මාලාවට තමයි මුලින්ම මගේ හිත බැඳෙන්නේ...නමුත් බොහෝ විට පද මාලාව රහ වූ පමණින්, ගීතයට වහ වැටෙන්නේ නැහැ...අපිට නොදැනුනාට, ඒ බොහෝ ගීත වල රස රඳා පවතින්නේ, එක්කෝ සංගීතය, නැතිනම් තනුව...සමහර වෙලාවට හුදෙක් ගායකයාගේ ඇති සංවේදී හඬ පෞරෂය පමණක්ම වෙන්නත් පුළුවන්...සමහර වෙලාවට කිසිම රහක් නැති පද පෙළකට, සුන්දර තනුවක් ලැබිලා වෙන්නත් පුළුවන්...

මං බොහෝ ප්‍රිය කරන ගීත එක්කාසුවෙන්, මගේ හිත එකිනෙකට වෙනස් විදියට අවුලන ගීත දහසයක් තෝරා ගත්තා...ඒවා මට බැඳුනේ මෙහෙමයි කියල පැහැදිළිව කියන්න තරම් නිමිති ඒ එකටවත් නැහැ...

මට හිතුනම දුක් වෙන්නත්, හිතුනම සතුටු වෙන්නත්, ඔය දෙකෙන් එක හැඟීමක් වත් නැතුව, ඔහේ සිවිලිම දිහාවේ බලාගෙන ඉන්නත් පුළුවන් කෙනෙක්...("මනෝ ගහනවා" කිව්වේ ඒකට නේද)...ඒ හන්ද මේ එකතුවේ ඇති ඕනෙම ගීතයක්, මගේ කරගෙන සුසුම් හෙලන්නත්, හිනාවෙන්නත් මට පුළුවනි...ඒ හන්දම තමයි කවදාවත් විඳපු නැති අත්දැකීම් මගේ කරගෙන මං නිර්මාණ කරන්නෙත්...

අපේ අටම් මල්ලි මේ දහසයට ඇතුලත්ව තිබිය යුතු  මේ භවයේදී මුළු දියදායේ ගීය සහ ඇස රැඳුන රැඳුන තැන් වල ගීය ඔහුගේ බ්ලොගයේ අමුණලා තිබුනා...ඒ වගේම, හංසි නගා ත්, මගේ ප්‍රියතම ගීයක් වන ඔබ මා හමු වුන ඉර හඳ යට ගීතය ඇයගේ ගීත එකතුවට ඇතුලත් කර තිබුනා...



මේ තමයි ඉන් පස්සේ මා තේරූ ගීත එක්කාසුව...



හදවත නැති මිනිසා ඔබ...නෙත කඳුළැලි ගෙනාව...




මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

එක්ටැම් ගෙයි සිරගත කර
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ‍රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න





ලෝබ නෑ හිත අහිමි දා අද...මමත් දැන් මට හිමි නැති...






කොහේ හෝ නුඹ නතර වී,
කාට හෝ ජීවිතය දී..
තුටින් නම් මට ඒ ඇති..
මගේ නොවුනට කම් නැති,
නුඹ, මගේ නොවුනට කම් නැති...

උන්න දා අපි අපේ වී නුඹ,
දුන්නු සෙනෙහස අරුමැති..
ලෝබ නෑ හිත අහිමි දා අද,
මමත් දැන් මට හිමි නැති...

නුඹ ළගත් මතකය ඇති..
නමුදු අපි වෙන්වී ඇති..
එපා රිදවුම් ගන්න දිවියට,
අපිට හිමි ජීවිත ඇති...

සංගීතය : දර්ශන වික්‍රමතුංග 
පද රචනය : ශාමිලා හුසේන්



ඔබ වරකි හද පෙලන්නේ...මා දහස් වර තැවෙන්නේ 




ඔබ තරමට මා හැඬවූ.. 
ඔබ තරමට මා නැලවූ.. 
වෙන කෙනෙකු නොමැත දියතේ 
රස හැඟුම් පෙලට පණදී 
ජීවන නාලිය පරිදී 
පෙර වෙලී සිටියෙ සුරතේ....

කරුවල කුටියක තනිවී 
කල්පනා ලොවක මැදිවී 
කිම දෙනෙත් පියා ඉන්නේ..... 
ඔබ වරකි හද පෙලන්නේ 
මා දහස් වර තැවෙන්නේ 
සියොලඟම සලිත වන්නේ.....

අප මතක යට ගියාවේ 
සුව සමය තවම සිහිවේ 
අමතක කරන්න හැකිදෝ.... 
අප ආ මඟ ඇති මනරම් 
සිහිවටන මැකිය හැකි නම් 
එය මට කියන්න බැරිදෝ....

ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා 




මගේ තනියට මා පමණයි....කඳුළු දෙන්න මට හඬන්න...



කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසළ වන්න...

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ජයරත්න ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ



යළි කවදාවත් හමු නොවනා බව...මඳ පවනක් හිස අතගා කීවද...අදහා ගන්නට නොහැකිය කිසිදින...



ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්



අප හමුවූයේ මන්දැයි නොදනිමි...පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...


මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක​ගෙනි
පාර අසා තිබුණේ...

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩ මානය...
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය 

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි


සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න 






ඔබත් මුලාවිය මමත් මුලාවුනි...ඉමක් කොනක් නැති මාවතේ



ගමන් මගක් තිබුනාද මේ
ප්‍රේම චාරිකාවේ
ගිමන්හලක් හමුවීද මේ
ප්‍රේම චාරිකාවේ

නෙතින් ගැලූ කඳුලින් මිදෙන්නට
හිතේ සුසුම් ගිණිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත්මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුනි
ඉමක් කොනක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ

ගායනය : රෝහණ වීරසිංහ




වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්...කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ...


ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...

ගායනය : අමරසිරි පීරිස් / මැණික් ජයසේකර
පද රචනය : හේමසිරි ගුණතුංග
සංගීතය : රෝහණ වීරසිංහ




බලා අවසර සොයා කල් දැන..වෙළා හස රැහැනින්...පෙළයි මා මුදා සුව දැහැනින්....


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්

උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්

පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
ගායනය - සුනිල් එදිරිසිංහ



උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා...මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා....



ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා....

ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : දර්ශන රුවන් දිසානායක 
පද රචනය : අමිල තේනුවර 



11. දකින්න ආසයි හිමිදිරිය වගේ...

එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි...





දකින්න ආසයි හිමිදිරිය වගේ
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
බලන්න ආසයි හඳ එළිය වගේ
ඉඹින්න ආසයි මල් සුවඳ වගේ

ඇස් දෙක කරනා පෙම් කතා
දැක අහල පහල අය ලැජ්ජ වෙලා
මුහුණ පුරා නැඟුණු පෙම් සිනා
දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා

වරද ‍කළේ ඔබ‍ ම නොවේ ඔබේ ඇස් දෙකයි
බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි
මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි
එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්




මේ නිරතුරුවම මා වශී කරවන ගීතයක්...


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා 
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා

ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත් 
ඔබ ළඟ නැවතිලා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - අමරසේන කංකානම්ගේ



පීඩිත වී සිටිනා සඳ අඳුරේ...ඔබ පමණයි ගෙන ආවේ හසරැල්...



දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්...

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලුන්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුළැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

පවසට පල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගමි දොලකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්


ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන




ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි...කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි....



සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි 




කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී...දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී...

ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ...ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...


සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ...

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද - සුනිල් ආරියරත්න





සඳ නිළියේ ඔබ නම්...සැණකෙළියයි මගෙ නම්...කවියන් ගේ දෑසේ රස සීමා පණිනා...

එකෝමත් එක කාලෙක මෙහෙම කියපු කවියොත් උන්නලු...

පොඩි පරහකට හිටියේ සැණකෙළියක් වුන එක තමයි...

සැණකෙළියට එන්නේ විනෝද වෙලා ආපහු යන්න මිසක, නවතින්න නෙවේනේ...



සුහදිනියේ සඟවන් 
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා...

සඳ නිළියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා...

සිහිනෙන් රෑ අවුදින් 
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා...


වාත්තු කර ඇති දේහ තලාවට 
හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට 
සාන්තුවර සිත හීදැල්වෙයි
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා 
වල්මත් කළ අරුමැසියයි මෙලොවේ...


වීණා බද වට කැරකෙන වරලස 
අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ 
මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත 
අවතැන් කළ එකම ළඳයි මෙලොවේ...

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සිහිනෙන් රෑ අවුදින් 
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා...


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ