Sunday, May 3, 2026

ශිරෝමා මංගලිකා හඳුන්නෙත්ති නම් වූ ගුත්තිල ඇදුරුතුමිය...

ඇය සදහටම වෙන්ව ගොස් අවසානය; ඇය කෙරෙහි මා තුළ වූ සැබෑ හැඟීම් ප්‍රකාශ කිරීමට දැන් මා බොහෝ ප්‍රමාද වැඩි බව මට හැඟේ. එකල ඇයට තිබුණේ රැලි ගැසුණු කෙටි කොණ්ඩයකි, කරුණාවන්ත සුන්දර සිනහවකි, එමෙන්ම අධිෂ්ඨානය කැටි වූ මුරණ්ඩු පෙනුමකින් යුත් මුහුණකි. මා ඇය දුටු ප්‍රථම මොහොතේ පටන් අතිශය භක්තියකින් යුක්ත වූ ප්‍රේමයකින් ඇයට බැඳුනා වූ අයෙක් වූයෙමි. ඇය මා ඇසුරු කළ කුඩා කල්ලිය තුළ ඉන්නා වූ වඩාත්ම ගෞරවාදරයට පත් වූ මිනිසුන්ගෙන් කෙනෙක්  වූවාය. එමෙන්ම ඇය මට මෙතෙක් මුණගැසුණු බුද්ධිමත්, අතිශය ස්වාධීන මෙන්ම, නිර්භීත වූද, විද්‍යාඥයන් අතළොස්සෙන් කෙනෙක් වූවාය.

විශ්වාස කරන්න, මම බොහෝ තැන්වල සැරිසරා ඇත්තෙමි; ලෝක මට්ටමේ ප්‍රවීණයන් සහ සමකාලීනයන් බොහෝමයක් මට හමුවී ඇත. එහෙත්, ඔවුන් බොහෝ දෙනා ඇය වැන්නෝ නොවූහ. සමහරු බොරුවෙන් ඉදිරියට ගියහ; සමහරු උඩින් මත්තෙන් අතගා, ගැඹුරු කතා ගොතන්නෝ වූහ. තවත් සමහරුන්ට තිබුණේ පවුල් පසුබිම හෝ බලවත් සබඳකම් පමණි. ඔවුන් අහසේ දිදුලන තරු වැන්න; ඔබ ඔවුන් වෙත සමීප වන විට පෙනී යන්නේ, ඔවුන් බොහෝ කලකට පෙර මියගිය හෝ මියයමින් පවතින බවයි.

එහෙත් ඇය... ඇය ඒ සියල්ලටම වඩා හාත්පසින්ම වෙනස් වූවාය. 'නොහැකියාව' යන්න ඇගේ ශබ්දකෝෂයේ කොතැනකවත් නොවීය. ඇයගේ දැක්ම තුල, ඉතා අඩු පහසුකම් යටතේ වුවද, කල නොහැක්කක් නොමැති විය. එය මාගේ පර්යේෂණ ජීවිතයේ ආදර්ශ වැකිය කරගන්නා තරමට ඇය එය මගේ තරුණ මනසට කාවැද්දුවාය.  උඩින් මත්තෙන් අතගා වැඩ කරන කිසිවෙකු ඇයව නොරිස්සූහ. එවැන්නෝ  ඇය ඉක්මනින් කෝප වන, අනුකම්පාවක් නැති, 'උමතු' විද්‍යාඥවරියක කියා ප්‍රසිද්ධ මත වැපිරූහ. ඒ කිසිවෙකුටවත්, නව්‍යකරණයෙන් පිරි සාර්ථක පර්යේෂණයක් බිහි කිරීමට අවශ්‍ය වන බුද්ධිය, කැපවීම හෝ කරන අසීමිත පරිත්‍යාගයන් ගැන එකල කිසිදු වැටහීමක් නොතිබූ බව මට විශ්වාසය.

ඒ 2003 වර්ෂයයි. ඉතා තරුණ වියෙහි හුන් මා මූලික උපාධිය නිම කර ගතව තිබුනේ මාස කිහිපයක් පමණයි.  මාගේ ආචාර්ය උපාධියේ පිවිසුම සඳහා තුබූ සම්මුඛ පරීක්ෂණයේදී ඇය එදා ඇසූ ඒ ප්‍රථම පැනය මා හට අද මෙන් මතකයට නැඟේ: 'ඔබට වඳුරන් සමඟ වැඩ කළ හැකි වෙයිද?'... මාගෙන් පිළිතුරක් අවැසි නිසා පමණක්ම ඇය එසේ  විමසුවද, එවෙලේ මට ඇගේ මුහුණ කියවා ගත හැකි විය. ඇය ඒ වන විටත් මගේ පිළිතුර දැන සිටියාය. තමා ඉදිරියේ හිඳගෙන සිටින ඒ කෙසඟ සිරුරක් හිමි, හිතුවක්කාර  පෙනුමක් ඇති තරුණිය යම් දිනක දිගු  ගමනක් යන බව ඇය එදා සිටම දැන හුන්නාය. එම තරුණිය  අසීමිත ලෙස මුරණ්ඩු තැනැත්තියක් බවත්, ඇගේ බාහිර පෙනුම හුදෙක් මායාවක් පමණක් බවත් ඇය අනෙක් සියල්ලන්ටම වඩා හොඳින් අවබෝධ කරගෙන සිටියාය. ඇය එසේ  මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවාය. පර්යේෂණ සහායකයෙකු සඳහා වන රුපියල් හයදහසක කුඩා වැටුප පමණක් ලබා දිය හැකි බව ඇය එදා මට කරුණාවෙන් පැවසුවාය. පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන්ව තිබුණේ සීමිත කාලයකට බවත් පසුව මට ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචි විය හැකි බවත්  ඇය තිරසාර ලෙස  ප්‍රකාශ කළාය. ඇය මගේ ආචාර්ය උපාධි පර්යේෂණ මාලාවේ සම-උපදේශකවරිය විය. එදා ඇය අසල  සිටි ඉතා විනීත පෙනුමැති ආචාර්යවරයා මාගේ ප්‍රධාන උපදේශකවරයා විය. ඇය ප්‍රතිශක්ති විද්‍යාඥවරියක වූ අතර ඔහු අණුක ජීව විද්‍යාඥයෙකි. ඔහුගේ කතාව මා මතු දිනක පවසමි; ඒ ඔහුද ඇය මෙන්ම උපදේශකයෙකුට වඩා පියෙකු හෝ වැඩිමහල් සහෝදරයෙකු ලෙස මගේ ජීවිත කථාව තුල ඉන්නා බැවිනි. 

ආචාර්ය උපාධියක් යනු කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොතිබුණද , ඇය සතුව අසාමාන්‍ය ජවයක් හා මනා පෞර්ෂයක්  ඇති බව මට එකලද වැටහුණි. ඇතැම් විට ඇය මා අභියෝග නමැති වෘකයන් මැදට විසි කළාය. එවැනි විටෙක හදිසියේම  ඇගේ පිළිවෙළකට සැකසූ, ඒ කුඩා කාර්යාල කාමරය  වෙත ඇය මා කැඳවන්නීය. පර්යේෂණ ලිපියක් අතට ගන්නා ඇය, නව්‍ය තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ මා හට අභියෝග කරන්නීය.අන් සැවොම බියපත් වූ තැන, මම ඒ අභියෝගයන්ට මුහුණ දුන්නේ ඉතා කැමැත්තෙනි.  ස්වාධීනත්වය සහ නිරවුල් මගපෙන්වීම මා හට ඇගෙන් ලැබුණු මහඟු දායාදයයි. ඇගේ කාර්යාලයේ හිඳ ඇය සමඟ එම ලිපි පිරික්සීමට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. ඇගේ බබළන දෑසින් සහ ඒ දීප්තිමත් සිනහවෙන් මා කෙරෙහි වූ උද්යෝගය සහ විශ්වාසය මට පෙනුණි. විද්‍යාව කෙරෙහි මා තුළ වූ පිපාසය සංසිඳුවන්නට ඇය කිසිදා අපොහොසත් නොවූවාය. 

ජීවිතය එකල ඇයට කෙතරම් දුෂ්කර වන්නට ඇත්දැයි දැන් මා හට වැටහේ; ඇගේ තද කළු පැහැති කැරළි කෙස් අව පැහැ ගැන්වීමට ගත වූ කෙටි කාලය එය මට පසක් කළේය. ඇය එදා සිටින්නට ඇත්තේ අද මා පසුවන වයසේමය. අද වෙද්දී මානසික පීඩනය සහ අධික වෙහෙසෙහි අනිසි ප්‍රථිපල පිළිබඳව විද්‍යාත්මක අවබෝධයක් තිබුනද,  කොපමණ රාජකාරී තිබුනත් හිත සැහැල්ලුවෙන් තබා ගැනීම සහ නිසි නින්දක් ලබා ගැනීමට මට බල කරන්නේ ඇයගේ ඒ වෙනස් වීමේ කම්පිත මතකයයි. මා එකල පර්යේෂණ ක්ෂේත්‍රයට සහ ආචාර්ය උපාධියට හුරුවන්නට උත්සාහ කරන බිළිඳෙකු වූයෙමි. ඇගේ පෞද්ගලික ජීවිතයේ කුමන කැළඹීම් තිබුණද, ඇය කිසිවිටෙකත් මා අත්හැරියේ නැත, කිසිවිටෙකත් මැසිවිලි නැඟුවේ ද නැත.  මා කිසිදිනක තනි කළේ නැත. මා කොළඹ වෛද්‍ය පීඨයේ පර්යේෂණ සහායෙකු ලෙස බැඳී ආචාර්ය උපාධි පර්යේෂණ වල ගෙවුනු  මුල් වසර දෙක ඇතුළත ඇය වෙනත් පීඨයක තනතුරක් භාර ගත්තාය. ඒ පසුපස වූ කතාව හදවතට බර වුවද, එ කතාව මෙතැනට අවැසි නැත. කොළඹ විශ්ව විද්‍යාලයේ යටතේ එකල ගොඩ නැගුනු නවතම අධ්‍යාපනික ආයතනය වූ  IBMBB  විසින් ජ්‍යෙෂ්ඨ තනතුරක් ඇයට පිරිනැමිණි. ඉන්පසු ඇයව හමුවී මාගේ ප්‍රගතිය සාකච්ඡා කිරීමට එහි යාම මාගේ දින චරියාවේ කොටසක් විය.

කාලය ගෙවී ගියේය. මම මාගේ ඉලක්කය අසලටම පැමිණ සිටි අතර, ඇය වඩාත් සතුටින් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගමන් කරමින් සිටියාය. අතීතයේ වූ බොහෝ දේ ඉතිහාසයට එක්ව තිබුණි. සැවොම ජීවිතයේ ස්ථාවර වෙමින් ඉදිරියට ගමන් කළහ. මා මාගේ නිබන්ධනය ලියමින් සිටි කාලයේ එක් දිනක ඇය ඇගේ නිවසට මට ආරාධනා කළාය. එහිදී ඇය මට 'නියුටෙලා' (Nutella) තැවරූ පාන් පෙත්තක් පිළිගැන්වූවාය. ඇය ඊට බෙහෙවින් ප්‍රිය කරන බව පැවසුවාය. ඇත්තෙන්ම එය ඉතා රසවත් විය; එය මගේ ප්‍රථම Nutella අත්දැකීමයි. අදටත් මම වෙළඳසැලකදී Nutella දකින සෑම විටම ඉබේටම වාගේ ඇයව සිහියට නැගේ. ඇය තුළ සැඟව සිටි ඒ කුඩා දැරිය අවධි කරවන  සුන්දර සිනහව මට මැවී පෙනේ.

එදින ඇය මට කිසිදා නොදිරන අවවාදයක් දුන්නාය:

"ඔබගේ නිබන්ධන පරීක්ෂක වරුන්ගේ ප්‍රශ්න සඳහා සාර්ථකව පිළිතුරු සපයා ඔබගේ ආචාර්ය උපාධි පරීක්ෂණය සමත් විය යුත්තේ ඔබයි. මේ නිබන්ධය ඔබේ මිසක මාගේ නිබන්ධය නොවේ. එය ඔබේ බුද්ධිය හසුරුවා එයට හැඟෙන පරිදි ලියන්න."

සරලවම කිවහොත්... නිර්භීත වන්න, ස්වාධීන වන්න... ඔබගේ කාර්යය පිළිබඳ මනා අවබෝධයකින් පසුවන්න...

මා වරින් වර ඇයට විද්‍යුත් ලිපි ලිවුවද, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පසු මට ඇයව මුණගැසීමට අවස්ථාව ලැබුණේ දෙවතාවක් පමණි. ජීවිතය වඩාත් කැලඹිලි සහිත සහ කාර්යබහුල විය... එසේය, අනෙක් සෑම දෙනාටම මෙන්ම මා සතුව ද තිබුණේ ඒ පොදු නිදහසට කරුණමය. මුල් වසරවලදී මා ශ්‍රී ලංකාවට  ගියේ වසර දෙකකට පමණ වතාවකි.  නමුත් ජීවිතය යම් ස්ථාවරත්වයකට පැමිණ, නැවත මා ඇයව දැකීමට සූදානම් වූ එකල 'කෝවිඩ්  වසංගතය' ලොව වෙළාගත්තේය. නැවතත් අවුරුදු දෙකක් පමණ ලංකා ගමන ප්‍රමාද වූ අතර, ඒ පැමිණීමත් හදසි අනපේක්ෂිත කෙටි ගමනක් වූයේ, මගේ සහෝදරයා සහ ලොකු දියණියගේ හදිසි අනතුර නිසාවෙනි. කෙසේ වුවද, මා ඇයව හමුවීමට එන බව දන්වා විද්‍යුත් ලිපි යැවූ ඒ අවස්ථා දෙකේදීම ඇය ප්‍රථමයෙන් ලබා දුන් පිළිතුර වූයේ මෙයයි:

'හොඳයි... ඔබ මෙහි පැමිණෙන බැවින්, අප වෙනුවෙන් සම්මන්ත්‍රණයක් (Seminar) පවත්වන්නේ නැත්තේ ඇයි?'

පළමු වතාවට  ඒ සම්මන්ත්‍රණය පවත්වන විට   පශ්චාත්-ආචාර්ය උපාධි (Post-doctoral fellow) පර්යේෂකයෙකු වූවෙමි. මා කරන පර්යේෂණ කටයුතු පිළිබඳව ඇයට තිබුණේ අපිරිමිත ආඩම්බරයකි. ඇය නිරන්තරයෙන් මා හට පැවසුවේ, 'මම මගේ සිසුන්ට උගන්වන විට ඔබේ පර්යේෂණ ප්‍රකාශන උදාහරණ ලෙස පාවිච්චි කරනවා' කියාය. ගුරුවරයෙකුගෙන් හෝ උපදේශකයෙකුගෙන් මීට වඩා කිනම් ඇගයීමක් කෙනෙකු බලාපොරොත්තු විය හැකිද? මාගේ උපදේශකවරුන් දෙපළම එවැනි ඇගයීම් කිරීමට කිසිවිටෙකත් පැකිළුණේ නැත. මාගේ ප්‍රගතිය පිළිබඳව ඇයව දැනුවත් කරන සෑම විටම මට හැඟුණේ තම මව ආඩම්බරයට පත් කළ දරුවෙකු ලෙසයි. පළමු වතාවේ මා එම දේශනය සඳහා පැමිණි දවසේ ඇයට තිබුනේ අපමණ සතුටකි. මට තිබුනේ මගේ මව දැකීම හා සමාන උද්දාමයක් හා ප්‍රීතියකි.  ඒ දවසේ මා ඇඳ සිටි සුදු පැහැති බ්ලවුසය ඇය සකස් කර දුන් ආකාරය මට අද මෙන් මතකය. ඇය මාගේ ඇඳුමේ අඩුපාඩු සකසමින් එය වඩාත් පිළිවෙළ කිරීමට ඇය එදා උත්සාහ කළාය. ඒ මොහොතේ මා ඉදිරියේ සිටියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරෝමා හඳුන්නෙත්ති නොව, මා හට කිසිදා අහිමි කරගන්නට හෝ අත්හැරීමට ප්‍රාර්ථනා නොකළ අතිශය ආදරණිය මාතෘත්වයෙන් පිරි ගැහැණියකි. 

මා ඇයව අවසන් වරට හමුවූයේ 2024 දෙසැම්බර් මාසයේදී ඇය දැක බලාගැනීමට සහ ඇයගේ ආරාධනයෙන් සිදු කෙරුනු IBMBB ආයතනයේ පැවති මාගේ දෙවැනි දේශනය සඳහා සහභාගී වූ දිනයේය. ඇය වයස්ගත වීමේ ලකුණු පෙන්වමින් සිටියද, පෙරටත් වඩා ප්‍රඥාවන්ත, වඩාත් ශාන්ත තැනැත්තියක බවට පත්ව සිටියාය. මාගේ මනස තවමත් වසර දහයකට හෝ දොළහකට පෙර අතීතයක සිරවී ඇති බව මට වැටහුනේ එදාය. මා පිළිගැනීමට සූදානම් නොවූවද, ඇය ජීවිතයේ යථාර්ථය හෙවත් වයස්ගත වීම නමැති පරීක්ෂාවට මුහුණ දෙමින් සිටියාය. අපි එදා බොහෝ දේ කතා කළෙමු. අප සැවොම කවදා හෝ කළ යුතු වන්නාක් මෙන්, ඇයද සියලු බැඳීම් අත්හැරීමට පටන්ගෙන ඇති බවට සලකුණු පෙනෙන්නට තිබුණි. ගුරුවරයෙකු විසින් ගෝලයෙකු හට  දිය හැකි උතුම්ම ත්‍යාගය ඇය එදින මට පිරිනැමුවාය; ඒ ඇගේ මෑණියන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් මුද්‍රණය කළ, දේශනාවන් ඇතුළත් බෝධි පූජා පොතකි. සිරිතක් ලෙස මම එදිනද සම්මන්ත්‍රණය පැවැත්වූවෙමි. ඇය ඉතා ඕනෑකමින් ඊට සවන් දුන්නාය. අවසානයේ අපි විද්‍යාව පිළිබඳ සාකච්ඡා කළෙමු. ඒ අතර ඇය මොහොතකට නිහඬ වූවාය; අනතුරුව මාගේ අනෙක් උපදේශක මහාචාර්ය සිසිර පතිරණ  මහතා දෙසට හැරී, ඔවුන්ගේ සිසුන්ට ඉගැන්වීම සඳහා මා යොදාගත යුතු බව යෝජනා කළාය. ඇය එය පැවසුවේ ඇගේ ඒ සුන්දර සිනහව සමඟින්, අතිශය මෘදු සහ ශාන්ත හඬකිනි. ඇය පිළිබඳ මා සතු අවසන් මතකය එයයි.

මාගේ කුඩා ලේලියන් දෙදෙනාට මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරිය පෙන්වීමට මට උවමනා වූ අතර, ඔවුන් එදා ඇයව මුණගැසීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි.  මහා පොළොවේ පය ගසා සිටි මහාචාර්වරියක වූ, දාරක ස්නේහයෙන් පිරි ගැහැණියකගේ සහ ඔවුන් සිතා සිටින්නා වූ "මහාචාර්ය" වරු අතර වෙනස මට ඔවුනට පෙන්වීමට වුවමනා විය. කිසිවෙකුට වෛර නොකළ, අනෙකාගේ අවමාන ඉදිරියේ නොසැලී ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවයක් කල ඇය වැන්නියකගෙන් උගත හැකිව තුබුණු දේ බොහෝය. ඉතා හිස්, බොහෝ මාන්නයෙන් හිස් උදුම්මාගත් විශ්ව විද්‍යාල ඇදුරන් අතරේ ඇය පිරුණු කළයක සේ නොසෙල්වී දරුවන් වෙනුවෙන්, නව සොයා ගැනීම් වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කළාය.  

මේ වසරේ මුලදී ඇය මෙලොව හැර යාමට මාස දෙකකට පමණ පෙර, මා ඇයට විද්‍යුත් ලිපියක් යැව්වේ මාගේ නවතම පර්යේෂණ ප්‍රකාශනයක් ඇය සමඟ බෙදාගෙන ඇයව ආඩම්බරයට පත් කිරීමටයි. ඇය සතුටින් ඊට පිළිතුරු දුන් අතර ඇය කාර්යබහුල බවක් ද හැඟුණි. එහෙත්, අවාසනාවකට මෙන් මා ඒ පණිවිඩයට පිළිතුරක් යැව්වේ නැත. ඇය විශ්‍රාම ගන්නා බවට වූ පණිවිඩයක් මාගේ අනෙක් උපදේශකවරයාගෙන් මට ලැබුණි. ඉන්පසු මා කාර්යබහුල විය, අවධානය ගිලිහී ගියේය; 'දිට්වා' කුණාටුව පැමිණි ඒ දිනවල මා ලංකාවේ සිටියද මම ඇයව බලන්නට ගියේ නැත.  ඇය මුණ ගැසීම සඳහා අවස්ථාවක් යොදා නොගැනීම සම්බන්ධයෙන් අද මට ඇත්තේ ඉතා විශාල පසුතැවීමකි. අනතුරුව මට අසන්නට ලැබුණේ ඇගේ අභාවයයි. එය ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ සහ ප්‍රතාපවත් විද්‍යාඥවරියකගේ අහිමි වීමකි. අප සැමට දීප්තිමත් අනාගතයක් ලබා දුන් ඇය උතුම් වූ අමා මහ නිවන් සුව අත්කර ගන්නා බවට මා තුළ කිසිදු සැකයක් නැත.

ඇගේ අහිමි වීම මට තවම මා පිළිගැනීමට සූදානම් නැත. ඇය සිය ජීවිතය විඳීමට කාලය ඉතිරි කරගෙන විශ්‍රාම ගත්තා පමණක් යැයි මට සිතේ. ලඟදී දිනක ප්‍රකාශයට පත් කිරීමට නියමිත මාගේ නවමු පර්යේෂණ පත්‍රිකාව බෙදා ගන්නට ඇය නොමැති බව මට මතක් වෙන්නේ ඉඳ හිටකය. කෙතෙක් මනසිකාර කලද සමහර බැඳීම් බොහෝ ගැඹුරුය. ඇයට මා උතුම් ලෙස සැලකූ බව ඇය දැන සිටියා වන්නට පුළුවන. නමුත් ඇයට මගේ  තිබූ ආදරය හරි හැටි මා විසින් ප්‍රකාශනය කළාදැයි මා නොදන්නෙමි. ලංකාවේ මිනිසුන්ට තමන් ආදරය කරන, ගරු කරන මිනිසුන් හට ආදරය ප්‍රකාශ කරන්නට කුඩා කල සිටම හරි හැටි කියා දෙන්නේ නැත. අවාසනාවට එය එසේය.

ඩොක්ටර් ශිරෝමා, මම ඔබව පළමුව හමු වූ දා සිටම ඔබට බොහෝ සේ ආදරය කලෙමි. ගෞරව කළෙමි ! ඔබට සුබ ගමන් !



Saturday, March 28, 2026

තිත් කොමා නැවතීම් ලකුණු නැති...


සමහරක් කතන්දර රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

ලං නොවී ලත වෙනා හිස් තැනකි  
ප්‍රේමයෙන් වෙලී ඇති කඩ ඉරකි 
වෙන් වෙන්ව බැඳී ඇති ඡේදයකි  
රාමුවෙන් එපිට ඇඳි චිත්‍රයකි...
මේ කතන්දර වල සකි රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

ගැටපදය විවරණය කරනු බැරි 
පටුනේ පළමු පිට සොයනු බැරි 
යටි පෙළක අරුතක් කියනු බැරි 
ජීවිත පොතක ගොනු කරනු බැරි... 
මේ කතන්දර වල සකි රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

හදවත සසල කල කෙටි වැකි 
කම්පිතව මතකයේ ඇලී ඇති 
ඉසියුම් තැනක කලබල නැති 
යලි යලි රැඳෙන්නට හිත ඇති... 
මේ කතන්දර වල සකි රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

සමහරක් කතන්දර රීති නැති 
තිත් කොමා නැවතීම් ලකුණු නැති...

ww@මාර්තු, 28, 2026









Sunday, February 11, 2024

හැමෝම ඒ වගේ මැරෙන් නෑ…


ඉස්සර වගේ දැන්, කවි වල හංගලා 

ඔයා ගැන ලියන්නට හිතක් නෑ 
අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම 
වැහි මිසක ඉර එළිය වැටෙන්නෑ…


ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු 
උන් නම් කියන දේ ඇහුවෙ නෑ
නින්ද නැති දාට මං, උන්ගෙ තටු පොඩි කලා 
ඒ වුනත් උන් තාම මරුනෙ නෑ…


ඔයාගේ ඇස් වලින්, මගෙ හිතේ මල් මහපු 
ඉඳිකටු පාර නම් මැකෙන් නෑ 
ඒ පාර දිගේ මං, රතු රෝස පැල කලා 
දැන් ඉතින් කවුරුවත් දකින් නෑ…


සඳ කිඳුරු ජාතකේ, කින්නරිය  මැරුණාට 
හැමෝම ඒ වගේ මැරෙන් නෑ…
ඔයා දන්නැතුවාට, පපුව පැලුනට පස්සෙ
ජීවත් වෙන එකත් ලේසි නෑ…

ww@2018

Saturday, January 6, 2024

දික්කසාදයෙන් පසු....

  

අපට කොහෙ හරි වැරදෙන්න ඇති  

සොඳුර ඒ ගැන හිතා පල නැති 

වසර විස්සක ගෙවුණු තත්පර 

හිත රිදුන තැන් දන්නවා ඇති... 


කෝපි උගුරක අතරමං වෙන    

හවස් වරු මට මග ඇරෙන්නැති 

වයින් උගුරක රහ බලන්නට 

ඉඳ හිටක ඔබටත් හිතෙන්නැති...


ප්‍රේමයක් නැති ගැඹුරු හිස්තැන් 

ටිකෙන් ටික ආගාධ වෙන්නැති 

කිමිදෙන්න බැරි අඳුරු තැන් වල 

හුස්ම ටික ටික හිරවෙන්න ඇති... 


කාලයක් උණුවෙලා නොදැනිම 

කඳුළු ලෝදිය වී ගලන්නැති 

තදින් මා ඇලවූ පැලැස්තර   

පෑරුවේ ඔබ නොදැන වෙන්නැති...


තේරුමක් හෝ තාලමක් නැති 

කවියකත් ඉඳහිටක රස ඇති  

කසාදය ඒ වගේ කවියකි 

සොඳුර ඔබ එය දන්නැතුව ඇති... 


අපට කොහෙ හරි වරදින්න ඇති 

එකට ආ මග දැන් ඉවර ඇති 

වෙන් වෙන්ව අප යන ගමන් ගැන 

දැන් ඉතින් අප සොයා පල නැති...


.......................................................................................................................................................................................................................................................................................................................


දියණියද දේපොළද වස්තුව 

දැන් ඉතින් අප බෙදා ගත යුතු 

ටයිම් ට්‍රැවලින් කරන මැෂිමක්  

කොහෙන් හෝ මා සොයා ගත යුතු... 


ඔබ විසින් ටෝටල්(ඩ්) කර දැමූ 

හදවත ජන්ක් යාඩ් දැමිය යුතු...

ත්‍රී ඩී හිතක් සවි කරනු හැකි

සර්ජන් කෙනෙකුන්ද සෙවිය යුතු...


හයිකින්, පිෂින් සහ කෑම්පින් 

නොගියාට අමනාප නොවිය යුතු...

මට මගෙම වෙන ප්‍රේමයක් 

කවදාක හෝ මට ලැබිය යුතු...


ඔබ අපුල යැයි කියූ දෙකොපුලට 

හාදුවක උණුසුමක් දැනිය යුතු...

දැඩි පිරිමි බාහුවක තෙරපෙනා 

සියුම් කෙඳිරිල්ලක්ද ඇසිය යුතු...


සංසාරෙ පැටළුන මාල හත 

මා එය තනියෙන්ම ලිහිය යුතු...

බුදු නොවන බැවින් ඔබ කිසිදාක 

මා යසෝධරාවක් නොවිය යුතු... 


 

Tuesday, December 26, 2023

රිසර්ච් and ලයිෆ් (ජීවිතය ලියා තබමි 5)

වසර අවසාන මෙහෙයුම් වාර්ථාවෙහි සාරාංශය...

එය වසර අවසාන නිවාඩුවට පෙර, මා විසින් මට පවරා ගෙන තුබූ අවසන් කාර්යය...මා සිතා සිටියේ එය වරුවකින් නිමා කරන්නට...

දැනට ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති (research projects) හතරක්...නිමා කල එක් ව්‍යාපෘතියක්...ඒවායේ ලිඛිත ප්‍රගති වාර්ථා සකස් කිරීම් සහ වාචික ඉදිරිපත් කිරීම් (presentations)...2024/2025 අරමුදල් ලබා ගැනීම සඳහා සකස් කරන ලද තරඟකාරී පර්යේෂණ ව්‍යාපෘති යෝජනාවලි (research proposals) හයක්...නිමා කරන ලද පර්යේෂණයක දත්ත ඇතුලත් පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශනයක් සහ දැනට සකස් වෙමින් පවතින එවන් පත්‍රිකා දෙකක්...පේටන්ට් බලපත්‍රයකට අවශ්‍ය දත්ත...ඩොලර් මිලියන ගණනාවක්  වටිනා පර්යේෂණ ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාතු...එකී මෙකී නොකී කළ කී දෑ, අනිකුත් රාජකාරී මැද සාරාංශ ගත කොට හමාර වන විට දවසක් ගත වී හමාරයි...

මේ දෙවන ජෛව ආරක්ෂණ මට්ටමේ (Bio safety level 2) පර්යේෂණාගරයක් පරිපාලනය කරමින්, එහි සියලු පර්යේෂණ වැඩ කටයුතු මෙහෙයවන, පර්යේෂණාගරයේ ඇති අන්තරායකර ජීවී ද්‍රව්‍ය (biohazardous waste) බහලාන ඇසුරුම දක්වාම වග කිවයුතු විද්‍යාඥයෙකුගේ වගකීම් සම්භාරයෙන් කොටසක්...කෙතරම් සහායකයින් සිටියද, රැකියාව කෙරෙහි ආශාවෙන්, ඉතා නිවැරදිව සහ මනා කළමනාකාරිත්වයෙන් යුතුව, වගකීමෙන්, විශ්වාසදායක ප්‍රථිපල ලබා දෙන පර්යේෂණ සහයකයෙක් හමු වන්නේ ඉතා කලාතුරකින්...එවැනි තත්වයක ප්‍රධාන විශ්ලේෂක (Principal Investigator) සහ අධ්‍යක්ෂක වරයා ලෙස වගකීම් දරන විද්‍යාඥයෙකුගේ මොළයේ සියලු ස්නායු, අංශක තුන්සිය හැටක පරාසයක් ආවරණය කරන, රේඩාර් පද්ධතියක් සේ හසුරුවා ගැනීම ඉතා වැදගත්... 

මා මේ සඳහන් කරන්නේ ලාභ නොලබන (non-profit), ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂණ (medical research) ආයතනයක් යටතේ පවතින,  පර්යේෂණාගරයක් පරිපාලනය කිරීමේදී දරන්නට වන වගකීම් වලින් කොටසක්...විද්‍යාගාර අධ්‍යක්ෂක වරයෙකුගේ ප්‍රධානම අභියෝගය වන්නේ ඵලදායිතාවයෙන් යුක්ත, නව්‍ය පර්යේෂණ ව්‍යාපෘති නිර්මාණය කිරීම සහ නව ව්‍යාපෘති සඳහා අරමුදල් සොයාගැනීම... මේ පර්යේෂණ සඳහා සම්බන්ධ වන බොහොමයක් විද්‍යාඥයන්ගේත්, ඔවුන්ගේ සහායකයින්ගේත්, සම්පුර්ණ පඩිපතෙහි බරත් (full burdened salary), පර්යේෂණයට අදාළ සෘජු පිරිවැයත්, ඒ මත ගොඩ නැගෙන ආයතනීය වක්‍ර පිරිවැයත් (direct and indirect costs), මේ අරමුදල් වල අයවැයට ඇතුලත්...එහෙයින් පර්යේෂණාගරයක් පරිපාලනය කරන්නාවූ ප්‍රධානියෙකුගේ හිස මත ඇත්තේ ඉතා විශාල බරක්...එම පර්යේෂණාගාරයේ සහ එම විද්‍යාඥයාගේ වෘත්තීය ගමන් මග තීරණය වන්නේ, ඔහු හෝ ඇයගේ දැනුම සහ බුද්ධිය මත ගොඩ නගන්නාවූ පර්යේෂණ යෝජනාවලියන් විසින්...අධි පීඩන කලාපයක, මැරතන් කාල සටහනක් දුවන්නා වූ ඔවුන් තම ආත්මයෙන්ම  මේ පර්යේෂණ වලට ඇබ්බැහි වූවන්...තර්කානුකූල බුද්ධිය, දැනුම සහ රාමුවෙන් එපිට සිතීමේ හැකියාව මෙහිදී අතිශය වැදගත්...එමෙන්ම, හිරු එළිය විනිවිදන ගැඹුරු විලක් වන් නිරවුල් මනසක්ද එවැන්නෙකුට අත්‍යාවශ්‍යමයි...

ඔව්, මා දැන් මේ මැරතන් තරඟයට ඇබ්බැහි වී, ඉතාම කුඩා පර්යේෂණ ප්‍රථිපලයකින් පවා කිව නොහැකි තරමේ ආත්ම තෘප්තියක් ලබන්නියක වී හමාරයි...මෙයින් වසර විස්සකට පමණ පෙරාතුව, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයෙන් පටන් ගෙන නිව්යෝක් විශ්ව විද්‍යාලය හරහා ලෝකයේ ප්‍රධාන, ඇමෙරිකානු පර්යේෂණ බලඇණියක් දක්වා මා  ආ මේ ගමන...පැය දහසයකට වඩා නොකඩවා පර්යේෂණාගරයේ ගත කල දින ගණන්...කරන්නා වූ කුමන හෝ දෙයක, ඉතා ක්ෂුද්‍රමය හෝ නොවැදගත් යැයි සිතෙන කොටසක් පවා පරිපූර්ණ ලෙස නිමා කිරීමට ගත් උත්සාහයන්...ඉතා උසස් ගණයේ මාර්ගෝපදේශකයින්...කුමන අන්දමකින් හෝ සෑහීමකට පත් නොවූ විද්‍යාඥයින්...මේ සියල්ලම අද දිනයේ "මා" යන පුද්ගලයා සහ වෘත්තිකයා නිර්මාණය කිරීමට බොහෝ සේ ඉවහල්  වූ සාධක...

ඕනෑම මිනිසෙකුගේ අදහසක ඇති හරය පමණක් විශ්ලේෂණය කර එහි ඇති චිත්තාවේගයන් එසේත් නැතිනම් ඉමොශන්ස් (emotions) පෙරා වෙන් කරන්නට ඇති හැකියාව පසු ගිය අවුරුදු කිහිපය තුල මා හුරු කල දෙයක්...එමෙන්ම  ඉමොශන්ස් වලින් තොරව පැහැදිළිව තමන්ගේ අදහස අනිකාට ප්‍රකාශ කිරීමද මා මේ කාලය තුල ප්‍රගුණ කරමින් පවතින දෙයක්...මේ අදහස මෙතන ලියා තබන්නට හේතු වූයේ තමන් කරනා දෙය පිළිබඳව අනිකාගේ ප්‍රශංසා හෝ අදහස් බලාපොරොත්තු වීම පිලිබඳ ඉයන් ලියා තුබූ අපූරු ලිපිය නිසාවෙන්...

මගේ අදහස නම්, තමා වෙහෙස වී, කාලය, ශ්‍රමය සහ දැනුම කැප කරමින් කරන්නාවූ රාජකාරියකට හෝ කරන්නා වූ නිර්මාණයකට හෝ නඩත්තු කරන්නා වූ සම්බන්ධයකට දිය යුතු අගය පිලිබඳ හොඳම මිම්ම ඇත්තේ තමන් එයින් ලබන ආත්ම තෘප්තිය තුල... මිනිසුන් බොහෝ සේ ප්‍රතිචාර මත යැපෙන්නේ තමන් විසින් අතිශය ලෙස වින්දනය නොකරන්නාවූ  සහ තමන් ඉතා ආත්ම විශ්වාසයෙන් නොකරන්නාවූ දෑ සඳහා බවයි මගේ නම් අදහස...අනිත් අතට, නොයෙකුත් සැඟවුණු න්‍යාය පත්‍ර ඇතුව ප්‍රතිචාර ලබා දෙන මිනිසුන් සිටිනා ලෝකයක, මේ සියලු අදහස් පෙරා උරා ගැනීමත්, ඒවායින් වල්මත් නොවී එළඹි සිහියෙන් සිටීමත්, තමාගේ අරමුණු කරා යාමට ඉතා වැදගත්...එමෙන්ම, අප සියල්ලෝම පෘතග්ජනයන් වූ ලෝකයක, යම් කෙනෙකුගේ සිත සුවපත් වෙන ප්‍රශංසාත්මක අදහසක් හෝ ප්‍රතිචාරයක් ලබා දීම අපට නොමිලයේම කරන්නට හැකි දෙයක් හෙයින්, එය කිරීමට කිසිවෙක් මැලි විය යුතුත් නැහැ....සමහර විටක අප තබා යන්නා වූ ඉතා ක්ෂුද්‍ර වූත්, අතිශය සුන්දර වූත් එවන් මතකයක් හෝ සටහනක් එය ලබන්නාගේ ජීවිතයම වෙනස් කල හැකි දෙයක් වෙන්නට පුළුවන්...

ඇය මට තබා ගියේ එවන් මතකයක්...ඉතා කුඩා දැරියකව විසාකාවේ හොස්ටල් කොරිඩෝව තුල සාංකාවෙන් ඇවිද යන විටක එක් පසකට පිරූ කැරළි සහිත කෙටි කොණ්ඩයක් තිබුණ ඇය මා  සමඟ සිනාසුනේ බොහොම යන්තමට...ඇය ටිකක් නපුරු ඇති...කුඩා මට හිතුනේ එහෙම...ඒ සිනහවේ ඇය සඟවා උන් අතිශය ආදරනීය සහෝදරත්වය මා දැන ගන්නේ ඉන් වසර තිහකට ආසන්න කාලයකට පසුව මා මුහුණු පොතේ එකල ලියූ නිර්මාණ වලට ඇයගෙන් ලැබුන ප්‍රතිචාර වලින්...මින් වසර පහකට පමණ පෙර මා හදිසියේම මගේ මුහුණ පොතද බ්ලොගයද සියලුම සමාජ මාධ්‍යද අක්‍රිය කරන්නේ මිනිසුන්ගේ කලබලයෙන් මිදෙන්නට හිතාගෙන...ඒ මිනිසුන් අතර මට බොහෝ කරුණාවෙන් ආදරය කල මගේ පාසල් මිතුරියන් සහ වැඩිමහල් සහෝදරියනුත් මා ඉතා ආත්මාර්ථකාමී ලෙස අමතක කර දැමූ බව කිව්වොත් නිවැරදියි...ඉන් පසුව ඇය මට සිදු වූයේ කුමක්දැයි සොයා තිබුනත් මා ඇයට ප්‍රතිචාරයක් දැක්වීමට තරම් වෙහෙසක් දැක්වූයේ නැහැ...ඔව්, ජීවිතය බොහෝ කෙටියි...අප ආදරය කරන, අපට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් මොහොතක් කැප කිරීමට ඇති නොහැකියාව, රාජකාරී කලබලය මත පැටවූ මට, සදාකාලික  වූත්, විග්‍රහ කල නොහැකි වූත්, කවියකට පෙරලිය නොහැකි වූත්, වේදනාවක් ඉතිරි කමින් ඇය හදිසියේම යන්න ගිහින්...ඇය නමින් කල්හාරි ලියනගේ...වෘත්තියෙන් විනිසුරු වරියක්...ඇගේ සමකාලීනයන් අතර බොහෝ සේ ආදරණීය චරිතයක්...මිනිස්සුන්ට තියෙන්නේ පණ ගැහෙන හිත්...ඔබ යන්න ගියේ මට එහෙම කියාගෙන...කල්හාරි අක්කේ ඔබට සුබ ගමන්...  


..............................................................................................................

මේ ලිපිය මා විසින් මට ලබාදුන් ප්‍රශංසාවක්...කොවිඩ් වසංගතය සමඟ එළඹුන බොහෝ වෙහෙසකර වසර තුනක අවසානයේ, සියලු වසංගත රෝග පර්යේෂණ උඩු යටිකුරු වුනු කාලවකවානුවක, මේ සටහන ලියන්නට ජීවතුන් අතර සිටීම වෙනුවෙන් සිතට නැගුන ප්‍රීතිය වෙනුවෙන් ලියවුනක්...

ඔබ සැමට සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන, ඔබේ මනාපය නිවැරදිව භාවිතා කරන්නට හැකි වන, නිදුක් නිරෝගී, සුබ 2024 කට මගෙන් සුබ පැතුම් !!!  


Sunday, December 3, 2023

මල් මැරුනෙ ආදරෙන් හිත පැලිල බඹරුන්ට

 “මගෙ කියා කෙනෙක් නැත” බුදු බණේ කිව්වාට 

“උඹ මගේමයි” හිතුවෙ, මං නොතේරුම් කමට 

හීනි පෙති අගිස්සෙන්, නටු වලට  ඇලුනාට 

මල් මැරුනෙ ආදරෙන් හිත පැලිල  බඹරුන්ට …


මං උඹේ ඇහ වැටුන සතර මහ ධාතුවක්  

විඥානෙන් උඹේ, අත් ඇරපු සලකුණක් 

උඹ හීන් සීරුවෙ ඇනපු රත් වෙච්ච ගිණි හුලක් 

ඇවිලෙනව පපුව මැද සංසාරෙ ගින්දරක්…. 


ඉඳහිටක මං උඹට අනා කැවු බත් පිඩක 

බත් නෙවේ තිබුනෙ බං ආදරේ මහමෙරක  

කාලෙ හරි රත්තරනෙ අභිනිෂ්ක්‍රමණයට

පිං උඹට පෙන්නාපු සසර පෙර නිමිත්තට…. 





 

Friday, November 24, 2023

මිනිස්සු සහ ටර්නින්ග් පොයින්ට්ස් (ජීවිතය ලියා තබමි - 4)

ශිෂ්‍යත්ව ප්‍රථිපල නම් ආව. 

පාස් උනේ නැති පොඩි එව්වෝ දුකෙන්. උන්ගෙ අම්මලා ඊටත් වඩා දුකෙන්.

සමහර පුංචි උන්ට, උන්ගෙ තවම හරි හැටියකට පටන් නොගත්ත ජීවිත ඉවරයිදෝ කියලත් හිතෙනවා ඇති. 

එත් පුතේ, ශිෂ්‍යත්වය හෝ වෙනත් කුමන හෝ විභාගයක් ඉහලින්ම පාස් උනත් නැතත්, උඹලගේ ජීවිතේ ඔය ගෙවන හැම මොහොතක්ම, පාස් වෙන්න හෝ ෆේල් වෙන්න උඹලට ලැබෙන අවස්ථාවක්. 

ඒක උඹලගේ වැඩිහියන්ටත් සමහර වෙලාවට අමතක වෙච්චි කාරණාවක්.

මගේ අම්ම, අප්පච්චිටත් එහෙම උනා. 

කොළඹ නැවතිලා ඒ ලෙවල් කරල ගමේ ආපු මං අහසින් පොළොවට වැටුන. මං කොළඹ උන්න අවුරුදු දෙක තුන ඇතුලෙ මං මගෙ අරමුණු වලින් හුඟක් පිට පැනල බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා කියල මට තහවුරු වුනේ, අම්මයි, අප්පච්චියි, මල්ලියි ගෙදර ඉඳන් ජීවත් වෙන්න කරන හරඹේ දැකල.

බොහොමයක් වැඩිහිටියන්ට ජීවිතේ එක්ක හක්කලං කරද්දී අමතක වෙනවා, දරුවොන්ට හරි පාරෙ යන්න නම් කන්න බොන්න දීල,වියදමට සල්ලි හොයල දීල විතරක්ම මදි කියල. 

ඔව්, ගෙදර මුදුන් ලීය වගේ ඉන්න අප්පච්චි කෙනෙක් අවුරුදු ගාණක් තිස්සෙ අසනීපෙන් ඉන්නකොට එහෙම වෙනවා. සමහර වෙලාවට දරුවන්ගෙ ජීවිත නූල් බෝල වගෙ පැටලෙනවා. ඒ උනාට ඉතිං වැඩිහිටියෝ උනත්, අම්ම, අප්පච්චි කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් ජීවිතේ පැටලෙනවා. 

අපි හිතුවට දරුවන්ට අවුරුදු දාසය දාහත උනාම උන් හරි ලොකු මිනිස්සු කියල. නෑ...ඒක එහෙම වෙන්නෙ නෑ. උන්ට මොළේට කථා නොකර උන්ගෙ බඩටයි, වස්තරේටයි කොයි තරම් සැප දුන්නත් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි දරුවො කියන්නෙ කෙවිටක් අරන් හරක් වාගේ හසුරවන්ට පුළුවන් ඈයොත් නෙවේ. ලංකාවෙන් නම වෙනියට ශිෂ්‍යත්වෙ පාස් උනාට, මටත් අවුරුදු දාහතේදී  ජීවිතේ හසුරවගන්න තරම් ඥාණයක් පහල වෙලා තිබුනේ නෑ. 

දරුවෝ ඉන්න දෙමව්පියෝ නිතරම මතක තියා ගන්න ඕනේ කාරණේ තමයි "ආරෝග්‍යා පරමා ලාභා" කියන දේ...සමහර දේවල් තියනවා තම තමන්ගේ කර්මය අනුව සිද්ධ වෙන අපිට පාලනය කරන්න අමාරු දේවල්. මගේ අප්පච්චි අසනීප වෙන්නෙ එහෙමයි කියල මං හිතන්නෙ. මටයි මල්ලිටයි ලැබිල තිබුනෙ බුදු කෙනෙක් වගේ අප්පච්චි කෙනෙක්. තමන්ගේ බිරිඳ, දරුවෝ එක්ක හදාගත්ත තමන්ගෙ කුටුම්භයෙ රජෙක් වෙලා උන්නු මිනිහෙක්. සුරාවෙන් සූදුවෙන් තොර මිනිහෙක්. එහෙම මිනිස්සුත් ලෙඩ වෙනවා. 

ඒ කාලේ වාගේ නෙවේ. අද කාලේ අපිට නිතරම කැවෙන්නේ වස විස. මේක බලන අම්මල, අප්පච්චිලට මං  කියන්නේ ඉස්සර වෙලාම තමන්ට ආදරේ කරන්න. පුළුවන් හැම මොහොතකම, තමන්ගේ මනස, සහ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කරන්න. තමන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. තමන්ට ආදරේ නොකරන මිනිස්සු කායිකව සහ මානසිකව පිරිහෙනවා. එහෙම කෙනෙකුට අමාරුයි තමන්ගෙ දරුවට හොඳ මාර්ගෝපදේශකයෙක් වෙන්න. 

ඉතිං, ආපහු මගෙ කතන්දරේට. 

කෙටියෙන්ම කියනව නම් හිතුමනාපෙට ඒ ලෙවල් කරලා මං ගෙදර ආව. එතකොට තමයි දැක්කෙ, ගෙදර ඈයෝ ජීවත් වෙන්න කරන හරඹේ.  අපි ගත කලේ හුඟක් අමාරු කාලයක් කියල මං දැනන් උන්නට, ගමේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මට හරියටම ඒකෙ දිග පළල තේරුනේ. 

දැන් ඉතින් මක් කරන්නද? මෙඩිසින් යනවා තියා හිතන්නවත් බෑ මට එන්න තියන ඒ ලෙවල් රිසල්ට්ස් වලින්... 

එතකොට අප්පච්චි මං වෙනුවෙන් ගොඩ ගහපු හීන... 

ඒවට මොකද වෙන්නේ... 

ඒ ගැන හිතද්දී මට එදා ඒ අවුරුදු දහ නවයෙදි දැනුන පශ්චාත්තාපය ගැන මේ වගේ ලියමනකින් විග්‍රහ කරන්න මට කවදාවත් බැරි වෙයි. 

ඒ පශ්චාත්තාපයේ පරිමාව තමයි මේ තරම් දුර ගමනක් එන්න මට ශක්තියක් උනේ.

හදවතට එකඟව ඇත්ත කියනවා නම්, මගේ ජීවිතේ ලබපු සියළුම ජයග්‍රහණ සියල්ලම මං අරන් දුන්නෙ මගෙ අප්පච්චිට. එයා තමයි මගෙ සීමාව අහසෙ ලකුණු කළේ. 

මට අහස අල්ලන්න ලොකු උවමනාවක් හිත ඇතුලෙ නොතිබුනත්, මේ ලෝකෙ මට සීමා මායිම් නැහැයි කියල මුලින්ම මගෙ හිතට කාවැද්දුවේ මගෙ අප්පච්චි....ඒක එහෙම උනාට මගෙ අප්පච්චි මං  පොළොවෙන් පළවෙනි අඩිය ගන්නවා බලන්නවත් ජීවතුන් අතර උන්නෙ නෑ. 

ඒත් මං අදටත් ඒ ගමන යනවා. 

මොකද අප්පච්චිට පස්සෙ, මට දෙවැනි අප්පච්චි වෙච්ච, ඒ උනාට මං උගෙ අම්මයි, අප්පච්චියි දෙන්නම කියල හිතන් ඉන්න මල්ලි කෙනෙක් මට ඉන්නවා. දේවතාවියක් වගේ අම්ම කෙනෙක් ඉන්නවා. තව මගෙ වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, උන් දෙන්නගේ ලස්සන ඇස් තියන අම්මයි තුන් දෙන්නත් ඉන්නවා. ඒ හැමෝගෙම ආදරෙන් මං වැටි වැටි නැගිට නැගිට අහස අල්ලන්න යනවා.

මේ කථාව මං ලියන්න ගත්තේ ජීවිතේ සමහර තැන් වල ෆේල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මගෙ ජීවිතේ සමහර  ප්‍රධාන හැරවුම් ලක්ෂ පිටිපස්සේ උන්නු, මගේ ජීවිතය ගැන මොහොතක් නැවතිලා අවර්ජනා කරන්න මාව පොළඹවපු, මට මුණ ගැහුණු  මිනිස්සු ගැන ලියන්න. ඒක පොඩ්ඩක් ඉමෝෂනල් උනා, ඒකට සමා වෙන්න. ෆේල් වෙන්න ඔන්න මෙන්න ඉන්න උන්ට මේකෙ තියන සමහර දේවල් වැදගත් වෙයි කියල මං හිතනවා. 

"ජයතුංග සර්" කියන්නෙ ඒ කියන කුලකයට අයිති මනුස්සයෙක්. ඒ මගේ පළමු රැකියාවේ මගෙ ප්‍රධානියා. ඉස්කෝලෙන් පිටදී මට හමු   වුනු පළමු ගුරුවරයා. මට ඒ වෙද්දී අවුරුදු දහනවයයි. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් නෑ මට මතක හැටියට, ඒ ලෙවල් කරලා මාස තුනක් වගේ ඇති ඔය කියන කාලේ. අහස අල්ලන්න යන්න කලින් ගෙදරට කන්න බොන්න, අප්පච්චිට බෙහෙත් ගන්න උදව්වක් වෙන්න හිතාගෙන මං  හා හා පුරා ගියපු රස්සාව. පඩිය රුපියල් 1500 සහ 2500 අතර. මට හරියටම මතක නෑ දැන්. ඒක ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. තනතුර "කම්පියුටර් ඔපරේටර්".

මං හැන්දෑවේ හතරට විතර තමයි ගමේ ඉඳන් කොළඹ ඔය කියන තැනට ඉන්ටර්විව් ආවේ. ඒ වෙද්දී මට කොළඹ හොඳට හුරු උනාට (ඒ හුරු උනේ අවුරුදු දා හතේදී විතර පිටකොටුවෙ බෝ ගහ කියල හිතන්, ඒ කාලේ ට්‍රාන්ස් ඒශියා එකට මෙහා පැත්තෙන් තිබුන මොකක්ද ගහක් බලන් බැහැල ලැබුන අත්දැකීම් වලින්) කොළඹ සහ ගම අතර රෑ ගමන් මං ගිහින් තිබුනෙම නෑ. ඒ හන්ද ගෙදරින් පිටත් වෙච්ච වෙලේ ඉඳන් මගෙ ඔළුවේ තිබුනේ පිටකොටුවෙන් අවසාන බස් එක ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ. ඔහොම හිත හිත මං ඉන්ටර්විව් ගියා. 

ජයතුංග සර් හරි ප්‍රතාවත්, ඒ වගේම හරිම කරුණාවන්ත, උත්තුංග දේහදාරී මනුස්සයෙක්. නමට පිටිපස්සෙන් අකුරු ගොඩාක් තිබුනා. ඒ අකුරු වලට හරියන දැනුම වගේම, හොඳ බුද්ධියකුත් ඔහුට තිබුනා. අපි කොළඹ ඉස්කෝලේ ගියාට හරි හමන් විදියට කම්පියුටර් එකක් අත ගාල තිබුනේ නෑ.  මේ 1998 මුල කාර්තුව. 

ඔය ඉන්ටවිව් එකේ අහපු වැදගත්ම ප්‍රශ්නේ තමයි මං "ඩේටා එන්ට්‍රි" දන්නවද කියන. මං දැනන් උන්නු ඩේට එන්ට්‍රි එකක් නෑ . ඒ තියා මං හරියකට කම්පියුටර් කී බෝඩ් එකක් වත් දැකල තිබුනේ නෑ. එත් මං ක්ෂණයකින් තීරණය කළා මං  "ෆේක් ඉට් ටිල් මේක් ඉට්" තියරි එක මෙතනදී ඇප්ලයි කරනවා කියල. මං බොරු කිව්වේ නෑ. මං පොලිටිකල් උත්තරයක් දුන්න. "මාව පුහුණු කලොත් මට පුළුවන් කරන්න". ජයතුංග සර් අපේ ඉස්කෝලේ දරුවෝ ගැන දන්න, ඒ අයත් එක්ක වැඩ කරලා පුරුද්දක් තිබුන කෙනෙක්. ඒ නිසා ඔහුට මං ගැන විශ්වාසයක් තියෙන්න ඇති. ඒ නිසා මාව ඔහුගේ යටතේ සේවයට බඳවා ගත්තා. පස්සෙ තමයි සර්ට තේරුනේ මේ ලෝකේ ඉන්න බොහොම හිතුවක්කාර, නාහෙට නාහන ගෑණු දරිවියෙක් සේවයට අරගෙන, මේක මහ විසාල කරදරක් උනා කියල. 

සර් ඇරෙන්න එතන උන්නු සේරම තමන්ගේ නමට පිටිපස්සේ ලියවුන අකුරු වල සැර අපි වගේ පොඩි එව්ව්වොන්ට පෙන්නුව මිනිස්සු. මට කුඩා මොළේට වැටහුන විදියට සර්ගෙ ටැලන්ට් එක සහ ස්කිල්ස් එතන උන්න අනික් නෝනලා, මහත්තුරුන්ට ජීර්ණය කරගන්න බැරි උනා. මට උන්ව ජීරණය කරගන්න බැරි උනා. මම පිදිය යුත්තන්ට පමණක් පුදන කෙනෙක්. කිසිම කෙනෙක් ළඟ ඔහේ දණ ගහන්න මං දන්නෙ නෑ. මට ඒක කරන්නත් බෑ. රෙස්පෙක්ට් එක කියන්නෙ  තමන්ගේ තියන මොනයම් ගුණයක් නිසා හෝ අනුන්ගෙන් ලැබෙන්න ඕනේ දෙයක් කියල මං පුංචිම කාලේ ඉඳන් විශ්වාස කල දෙයක්. ඉස්කෝලෙන් ආපු ගැම්මත් ටිකක් හරි නොතිබුනා නෙවේ. ඒ හින්ද ජයතුංග සර් ඇරෙන්න මං එතන උන්නු කිසි කෙනෙක්ට හිත යටින් රෙස්පෙක්ට් කලේ නෑ. බොහොම තරුණ අවධිය නිසා මගෙ වචන වලට ෆිල්ටර්ස් තිබුනෙත් නෑ. ඉතිං ජයතුංග සර්  ඒ සම්බන්ධයෙන් බොහොම කරුණාවෙන් මට අවවාද දීල තියනව. මං සර්ට ස්තුති වන්ත වෙනවා මගෙ කොන්ද නොකැඩූ එක ගැන. අදටත් මං අතිශය රාජකාරී ලෙස, නොපෙරපු අදහස් ප්‍රකාශ කරන එහෙමත් නැත්නම් කෙලින් කතා කරන මනුස්සයෙක් විදියට තමයි මෙහෙ මිනිස්සු  මාව දන්නෙ. 

ජයතුංග සර්  මට හිතේ හැටියට කම්පියුටර් එක ඉගන ගන්න ඉඩ ඇරිය. මට ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරී ලිපි ලියන විදිය ඉගැන්නුවා. ඒ ගැන හදාරන්න පොත් පිංචක් දුන්නා වගේ මතකයකුත් තියනවා. මට මාස දෙක තුනක් යනකොට එක්සෙල්, වර්ඩ්  වගේම ඩොස් ඔපරේටින්ග් සිස්ටම් එක ගැනත් සෑහෙන අවබෝධයක් ලැබුන. සර් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න අපිව බොහොම උනන්දු කෙරෙව්වා. සර්ගෙ ඉංග්‍රීසි ලිවීම සහ කථාව තිබුනේ එක්ස්ෂෙප්ශනල් ලෙවල් එකේ. සර් දිහා බලාගෙන මං බොහොමයක් දේවල් ඉගන ගත්තා. ඒ වගේම එතන අනික් උන්දලා දිහා බලල තීරණය කළා මේ වගේ මිනිස්සු යටතේ පාලනය වෙන රස්සාවක් මං කවදාකවත් කරන්නේ නෑ කියල. ලොකු කාමරයක් ඇතුලේ පේලියට පුටු තියාගෙන බොහොම පොඩි පඩියකට වැඩ කරපු මිනිස්සු දිහා බලාගෙන ලෝඩ් ල වගේ උන් ඉස්සරහ ඉඳගෙන තමන්ගෙ ශරීර වලින් දහසක් රැස් විහෙදනවා කියල හිතාගෙන උන්නු වගක් තමයි උන්දලාගේ පේන්න තිබුනෙ. 

මට මං කවුද කියල තේරුම් ගන්න  ඒ මිනිස්සු සේරම උදව් උනා. මගෙ යටිහිත දැනන් උන්න මගෙ ලඟත් ඒ වෙද්දි හරි විදියට පාවිච්චි නොකරපු එක්ස්ෂෙප්ශනල් හැකියාවක් තියනවා තියනවා. මං දැන් දන්නවා මේ හැකියාව හැමෝටම තියනවා. අවාසනාවට බොහොම ටික දෙනයි තමන්ට එහෙම හැකියාවක් තියන බව දන්නේ. 

ඔය ටික තේරුම් ගත්තට පස්සෙ මං තීරණය කළා ඉහළට ඉගන ගන්න. ඒ උනාට ගෙදර තිබුන කරදර එක්ක සහ අපේ ලංකාවේ ඒ ලෙවල් වලින් හැලෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මං දැනන් උන්නෙ නැහැ යන්න ඕනෙ හරිම පාර. 

ඔය අතරේ මං අසනීප උනා අලුත් රැකියාවට ඇවිත් මාස දෙක තුනකින් වගේ. ඒ නිසා මට ටික දොහක් ගෙදර නවතින්න උනා. ඒ ඉන්න අතරෙ, මං අරමුණක් නැතිව පත්තර වල පාඨමාලාවන් හෙව්වා. එහෙම හොයද්දි තමයි විවෘත විශ්ව විද්‍යාලය එහෙමත් නැත්නම් ඕපන් යුනිවර්සිටි එහෙමත් නැත්නම් ඒ කාලේ නම් "ඕපන්" එකේ ස්වභාවික විද්‍යාවේදී (නැචුරල් සයන්සස්) අංශයේ මූලික උපාධියට අයදුම් පත් කැඳවල තිබුනේ. ඒ කාලේ ඕපන් ඒකෙ උපාධියට ගියේ රුපියල් 36000ක් වගේ ගානක්. මට ඒ යන වියදම හොයාගන්න පැහැදිළි ක්‍රමවේදයක් නොතිබුනාට මං ඕපන් එකේ උපාධිය කරන්න ක්ෂණයකින් තීරණය කළා. අවසානයේ අප්පච්චි මං වෙනුවෙන් ඉතිරි කරලා තිබුන මුදලිනුත් (සෑහෙන ප්‍රමාණයක් මට අවුරුදු දහඅට පිරුන ගමන් ගෙදර අවශ්‍යතා වෙනුවෙන් ගන්න උනා) ඉතිරි වෙලා තිබුන කුඩා මුදල යොදවල මං උපාධිය සඳහා රෙජිස්ටර් උනා, ඒ 1998 අවසාන කාර්තුවේ. ඒ වෙනකොට ජයතුංග සර්ට වගේම මටත් ඒ රස්සාව ඇති වෙලයි තිබුනේ. මට මතක විදියට 1999 මුල කාර්තුවේ ජයතුංග සර් ඒ ආයතනයේ සේවයෙන් ඉවත් උනා.  ඉන් මාස දෙකකට වගේ පස්සෙ මමත් මගෙ පළමු සහ අවසාන "ඔෆිස් රැකියාවට" තිත තිබ්බා. 

මට ඒ ලෙවල් රිසල්ට්ස් තිබුනෙ, ඒ (සූලොජි), සී (කෙමිස්ට්‍රි), සී (බොට්නි), එස් (ෆිසික්ස්). එහෙම රිසල්ට්ස් වලින් ඕපන් එකේ මං මුලින්ම සම්පුර්ණ කරපු සබ්ජෙක්ට් එක උනු බොට්නි වලට "ඒ" එකක් ආවා. ඒ ආපු "ඒ" එක තමයි මගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලේ. ඉන් පස්සෙ මට "ඒ" එකකට අඩුවෙන් යමක් ආව නම් ඒ උනේ මම සබ්ජෙක්ට්ස් ගොඩක් එකට කරන්න ගිහින් අමාරුවේ වැටුන වතාවක විතරයි. මට එක කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකකට බැච් ටොප් තෑග්ග පවා ලැබුනා. මිනිස්සු නොවුනට, මේ "ඒ" ගොඩවල් ටිකත් මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ. මං ඒවට අදටත් හරි ආදරෙයි. 

මට විෂය ලකුණු මට්ටම්  හරහා ලැබුන මහපොළ ශිෂ්‍යත්වයෙන්, මට  පුළුවන් උනා උපාධියට ගිය වියදෙමින් ඉතා විශාල ප්‍රතිශතයක් පියවා ගන්න. මේ හැමදේම කලේ මගේ අප්පච්චි දෙතුන් වතාවක් රෝහල් ගත වීම්, නිතර අසනීප වීම, මැද්දේ. ඒ ගැන මං කලින් ලිපියකත් ලියල ඇති. මං  ඒ අතරේ හතේ අටේ පුංචි උන්ට මැත්ස් ටියුෂන් ක්ලාසුත් කළා. 

ජීවිතේ බර කරගහගෙන යනකොට මිනිස්සුන්ට  තමන්ගේ වයස, සතුට, නිදහස, ආදරේ මේ සේරම අමතක වෙනවා. මටයි මල්ලිටයි දෙන්නටත් ඒක එහෙමම උනා.  ඒ ඔක්කොම දරා ගන්න ඕපන් එකේ මට උන්නා මාව බොහොම ආදරෙන් බලාගත්තු මට වඩා වැඩිමහල් සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්. ඒ මිනිස්සුන්ගේ ආදරේ මට දැනුන හැටි මට මෙතන විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒක එයාල දන්නෙ නැතුවත් ඇති. 

ඒ ලෙවල් ෆේල් කියන්නෙ ජීවිතේ ෆේල් වෙන එක නෙවෙයි. ලංකාවේ සම්ප්‍රදායික විශ්ව විද්‍යාලයකට යන්නම ඕනේ නෑ ජීවිතේ පාස් වෙන්න. තමන් රැකියාව කරන්න යන විෂය පථය නිවැරදි විදියකට හැදෑරීම සහ ඒ ගැන පුළුල් අවබෝධයක් තිබීම තමයි මං හිතන විදියට නම් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි අපේ හැකියාවන්, ආසාවන් සහ අවශ්‍යතාවයන් හරියට තේරුම් ගත්ත නම් නිවැරදි ගමනාන්තයට ලඟා වෙන්න පහසුයි. 

මිනිස්සුන්ගේ හුඟාක් මිත්‍යා මත තියනවා. ඒව මේ පුංචි උන්ගේ ඔලුවට වැටුනම උන් ඉතින් සදහටම නන්නන්තාර වෙලා තමයි නවතින්නේ. සුදු කොලර් රස්සාවල් විතරක් නෙවේ රස්සාවල්. ඊයෙ පෙරේදා ගෙදර වතුර බටයක් කැඩිලා ප්ලම්බර් චාජස් ඩොලර් 800කට වඩා වැඩි උනා. අමුතු ඇටේ නම් ඉතින් ඒ හැමෝම බාස් ල. තමන්ගේ හැකියාව වටහ ගන්නවත්, ඒක යහපත් රැකියාවක් කරගන්නවත් අධ්‍යාපන ක්‍රමවේදයක් අමුතු ඇටේ නෑ. 

එළඹෙන හැම තත්පරේකටම අපි වග කියන්න ඕනේ. ජීවිතේ කියන්නෙ එක පාරටම ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙවේ. තතප්රෙන් තත්පරේ, දවසින් දවස ගොඩ නගා ගන්න දෙයක්. සාර්ථක වෙන්න නම් අපි ඒ හැම තත්පරේම අපි කරන මොනම හෝ දෙයක් වේවා අති විශිෂ්ට විදියට කරන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන්ම ඒ ගමන සාර්ථකයි. ඒ වගේම අපිට කුඩා පරිමාණ අරමුණු හරහා තමයි මහා පරිමාණ අරමුණු වලට ලඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඕපන් එකේදි මගෙ අරමුණක් තිබුනෙ නෑ අද මං මේ ඉන්න තැනට එන්න. මට ඕනෙ උනෙ පළමු පන්තියේ සාමාර්ථයක්. මං විශ්වාස කළා ඒ හරහා මට ඊළඟට යන්න තියන පාර හොයා ගන්න ලැබෙයි කියනඑක. ඉතිං, මට ඕනේ වෙච්ච ඒ ෆස්ට් ක්ලාස් ඩිග්රි එක ගත්තා. ඒ ලෙවල් වලින් "කැම්පස්" යන්න බැරි උන මං ෆස්ට් ක්ලාස් ඩිග්රි එකක් එක්ක ඕපන් එකෙන් පිට උනා.

ඒ උනාට අප්පේ ඕපන් එක කියන්නේ විශ්ව විද්‍යාලයක්ද? දැන් ඉතින් ඔය සහතිකේ පිළිගන්නවද? ඕකෙන් මොනවද කරන්න පුළුවන් රස්සාවල්....... 

දැන් නම් ඉතිං කවුරුත් එව්වා අහන්නෙ නෑ.ඒ කාලෙ නම් කණක් ඇහිලා ඉන්න තිබුනෙ නෑ. 

කොටින්ම අප්පච්චිගේ මිනිය ගෙදර තියෙද්දී මගෙ අන්තිම සෙමෙස්ටර් එකේ අවසානම සබ්ජෙක්ට් ගියා කියලත් කයි කතන්දර කියපු එව්වො තමා අදටත් ඔය අමුතු ඇටේ ඉන්නෙ. 

එදා ඒ ගමන ගිය හන්ද තමයි මට ඊට මාස කිහිපයකට පස්සෙ කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්ය උපාධිය හදාරන්න අවස්ථාව හම්බවෙන්නේ. ඒ අවස්ථාව මට අරන් එන්නෙ කිසිම හිතේ කහටක් නැතිව, කිසිම හිඩ්න් ඇජෙන්ඩා එකක් නැතුව, නංගියේ මට පී.එච්. ඩී හරියන්නෙ නෑ, උඹ කරනවා නම් චාන්ස් එකක් තියනවා කියල කියාපු ඕපන් එකේදි මට මුණ ගැහුන,  මගේ ආදරණීය සහෝදරයා, ප්‍රසාද් අය්යා. 

ඒ අතින් මං හුඟක් වාසනාවන්තයි. මට ජීවිතේ බොහොම ආදරණීය, මට ආදරේ කරපු මනුස්සකම් වලින් පිරුණ "මනුස්සයෝ"  බොහොම සුළුතරයක් මුණ ගැහුණා. ඒ මිනිස්සු මගෙ ජීවිතේ පුරා ඇඳපු හැරවුම් ලක්ෂ වලින් මං මගෙ ඉවට හැරුනා.

ඔය ෆස්ට් ක්ලාස් එකේ තව කතන්දරයක් තියනවා. පී.එච්.ඩී කරන්න අවස්ථාව ලැබෙන්න කලින්, ෆස්ට් ක්ලාස් තිබුන මගෙ යාලුවෙක් මාවත් ඇදගෙන ගියා බොට්නි (මට මතක විදියට)  ඩිපාර්ට්මන්ට් එකේ තිබුන ඩිමොන්ස්ට්‍රේටර් වරුන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකකට. මාව ඉන්ටර්විව් කරපු ලෙක්චරර් නෝනා ගත් කටටම කිව්වෙ නැතයි ඔයාට මෙව්ව හරියන්නේ නෑ වගෙ කථාවක්. ඒ කියන්නෙ මට සුදුසුකම් මදිලු. ඒකට මට පොඩ්ඩක්වත් හිත රිදුනෙ නැති උනාට, ඒ සිද්ධියත් මගෙ හිතේ බොහොම තදින් සනිටුහන් වුනු සිදුවීමක්. ඒ විදියෙ දේවල් නම් ඉතිං කැම්පස් වල බොහොම සාමාන්‍යයි. ඒවායින් අඩියක් පස්සට ගන්න මිනිස්සුන්ට ජීවිතේ ගමනක් නෑ.

............................................................................................................සමහර හැරවුම් ලක්ෂ හරිම අභියෝගාත්මකයි. තමන් ගැන විශ්වාසයක් නැති මිනිහෙක්ට ඒවායෙන් හැරෙන්න හරි අමාරුයි.............................................................................................

ඉතිරි ටර්නින් පොයින්ට්ස් ගැන පස්සෙ ලියන්නම්....

Have Faith in Yourself!!!  

Every opportunity comes with its own risks...

You can't succeed if you don't have the courage to take the risks and if you are not willing step out of your comfort zone....


ජීවිතය ලියා තබමි....1

ජීවිතය ලියා තබමි-2 අප්පච්චී සහ වී මෝල

එයා...(ජීවිතය ලියා තබමි-3)



Friday, November 10, 2023

වලස් පුංචා සහ ඉඳිකටු පැංචා

වලස් පුංචයි, ඉඳිකටු පැංචයි ඉන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කොනක තියන බොහොම සුන්දර ගමක. වලස් පුංච හතේ පන්තියේ. ඉඳිකටු පැංච තාම හතරේ පන්තියේ. උන් දෙන්නටයි, උන්ගේ පරම්පරාවේ උන්ටයි සිද්ධ වෙච්ච අලකලංචියෙ තරමට උන්ගේ මහ එවුන් මාස හතරකින් ඉගන ගත්තුවා උන්ට දැන් දවස් දෙකෙන් ඉගන ගන්න වෙලා. දෙසැම්බර් වලට ඔන්න මෙන්න උනාට උන්ට තවම තුන්වෙනි වාරේ පටන් ගත්ත විතරයි. අනේ ඉතින් උන්ගේ මහ එවුන් එදා වේල හොයාගන්න සටන් කරද්දි වලස් පුංචල වචනෙන් කියාගන්න බැරි තරම් ජීවිතේ එක්ක පොර බදනවා කියල සුද්දට හිතුනේ උන් දෙන්න මාරුවෙන් මාරුවට කියන ඒවා අහන් ඉඳල. සුද්ද කිව්වේ උන්ගේ නැන්දා.

(ඔහොම කියවගෙන යං). 

පිටරට්ටුන්ගේ කටෙන් බේරගත්තු අමුතු ඇටේ, අපේ එවුන් අවුරුදු හැත්තෑ පහක් තිස්සේ කටේ දාගෙන සූප්පු කරලා හප කරපු තරමට, ඒක දැන් වවුල්ලු අත ඇරලා දාපු කොට්ටම්බා ඇටේ වගේ.  ඒකෙ ඉඳන් උස් මහත් වෙන්න වෙච්චි වලස් පුංචලට, ඉඳිකටු පැංචලට අලි මදිවට හරක් කියල වසංගතේකුත් ආව. ඉඳිකටු පැංච දෙවෙනි පන්තියට ගියා විතරයි ඉස්කෝල වැහුව කොවිඩ් වලින් බේරෙන්න. පොඩි උන් අකුරු ලියන්න, ගණන් හදන්න ඉගන ගන්න පටන් ගත්ත විතරයි. මේ ළගදි දවසක ඉඳිකටු පැංචලට හතර වසරෙ දෙවෙනි වාර විභාගෙ තිබ්බ. ඉඳිකටු පැංචගෙ හොඳම යාළුවට ගණන් වලට ලකුණු දහනවයයිලු, පැංච බොහොම විස්සෝපෙන් සුද්දට කිව්ව්. එහෙම කොහොම එච්චර ලකුණු අඩුවෙන් ගන්නෙ?  ඇයි එයාට බැරි එච්චර ලේසි ගානක් හරියට හදා ගන්න? පැංචගෙන් සුද්දට ප්‍රශ්නයක්. දැන් ඉතින් දීපන්කො උත්තර. සුද්දට කල්පනා උනේ ඒ පන්තියේ  ගණිත ටීචර්ට මේක නොතෙරුනේ කොහොමද කියල. ඉඳිකටු පැංච කියන විදියට සමහර ළමයින්ට හරියට අකුරු ලියාගන්නත් බෑ, ඒ උනාට ටීචර්ලට ගාණකුත් නෑ. ශිෂ්‍යත්වයට මුහුණ දෙන්න ඔන්න මෙන්න ඉන්න (කොයි අවුරුද්දේද කියන්න දැම්ම කල් වැඩියි, කොළ ටිකයි ටීචර්ලා ටිකයි හොයාගෙන, අර විභව්‍යතාමාන දාල අපබ්‍රංශ වචන වලින් ගණන් ප්‍රශ්න ටික එහෙම හදාගෙන ලෑස්ති වෙන්න ටිකක් කල් යයි) ඉඳිකටු පැංචලගෙ වයසෙ ඉන්න මේ පැටවු ටික අකුරුත් බැරි මෝඩයෝ කරපුවාම ඇටේ සූප්‍පු කරන වැඩේ පරම්පරාගත උරුමෙන් කරගෙන යන්න ඇහැකි වෙයි කියල තමයි ලොකු උන්නැහේල හිතන් ඉන්නව ඇත්තෙ. 

සුද්දට හිතෙන විදියට වලස් පුංචගෙ ජීවිත කථාව ඉඳිකටු පැංචට වඩා බොහොම ඛේදනීයයි.  කොවිඩ් වසංගතේ එද්දි වලස් පුංච හතරේ පංතියේ. ඉස්කෝල වැහුව. සුද්දට මතක විදියට මේ වකවානුවේදීම වෙන්න ඕන ටීචර්ලා ටිකත් පාරට බැස්ස. වලස් පුංචට තේරෙන භාෂාවෙන්, ඔය ටීචර්ලව උසි ගන්නපු මහ මොළ කාරයට  අම්ම මෝ නැතුව බැනපු කාලයක් තිබුන (ඒ යකාගේ නම මතක නෑ, මහ උන්ට එව්වා පේන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා වගේ පෙනුනට,  ඉගන ගන්න ඉස්කෝලේ යන්න ආස, වලස් පුංචට පෙනුනේ  එහෙමයි). අන්තිමේදී වලස් පුංචා හරියකට ඉස්කෝලෙට පය තිබ්බෙ හත වසරෙදි. කථාව කියවන් යන්න. වලස් පුංචට කරන උපහාරයක් විදියට මං ඒ විස්තරේ ඔහෙලට කියන්නම්.

ඔන්ලයින් ඉගන ගෙන ශිෂ්‍යත්වයට ගියපු වලස් පුංචලාට හෙන ගැහුව වගේ ප්‍රශ්න පත්තරයක් හදල තිබුන උන්ව පරිපාලන සේවෙට තෝරගන්න හිතාගෙනද කොහෙද. වලස් පුංච දන්නා වැඩ සේරම දාල උත්තර ලිව්වට ප්‍රශ්න තුනකට ලියාගන්න වෙලාවත් මදි වෙලා තිබ්බ. මේ 2021 තියන්න හිටපු 2022 මුල භාගේ තියපු ශිෂ්‍යත්ව විභාගෙ. ප්‍රශ්න පත්තරේ දැකපු සුද්දට වලස් පුංච ගැන සහ නොසැලී උත්තර ලියපු අනිත් දරු පැටවු ගැන අප්‍රමාණ ගෞරවයක් දැනුන. ඒ අවසාන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ටික කියවගෙන යන්න තරම් උන්ට තිබුන විල් පවර් නොහොත් අප්‍රතිහත ධෛර්ය ගැන හිතල. සුද්දත් අතෑරියේ නෑ, පැය දෙක තුනක් ගත කරලා, අතරමැද පොඩි විවේක දෙක තුනකුත් අරන් වලස් පුංචා විනාඩි 45 න් හැදුව ප්‍රශ්න පත්තරේ හරි උත්තර එක්ක හදල ඉවර කළා. සුද්ද ඔහොම උන්නට ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික්ක පළවෙනියා, ඒ හින්ද ඔහෙලා හිතන්න එපා සුද්ද මෝඩය හින්ද එච්චර වෙලා ගියා කියල. එහෙම ගණිත ගැටළු වලට කියන්නේ විභව්‍යතාමාන කියලලු. සුද්ද ඒ වචෙනෙ තේරුම දන්නේ නෑ. ඒකෙ තේරුම දන්නා එකෙක් වැඩේට බැහැල 2023 ශිෂ්‍යත්ව විභාගෙටත් අර විදියෙම අපබ්‍රංශ ගැටළු ඔබල තිබුන. සුද්දට අම්ම වීඩියෝ කෝල් එකක් අරන් ප්‍රශ්න ටික කියෙව්වා. අම්ම කිව්වේ වලස් පුංචගෙයි, ඉඳිකටු පැංචගෙයි ඉතාමත් සීදේවි ආච්චි අම්මා. දෙන්නත් එක්ක එකතු වෙලා ප්‍රශ්න ටික තේරුම් ගන්න සෑහෙන සටනක් දෙන්න උනා. මොකද විභව්‍යතාමාන ගොය්ය ඉතාමත් ගැටළු සහගත සිංහලෙන් තමයි ඒ ප්‍රශ්න හදල තියෙන්නේ. අන්තිමේ දෙන්නටම මෙහෙම ඇහුන, දැන් ඉතින් අපි ඉඳිකටු පැංචට මොකද කරන්නේ? එයාටත් ගණ දෙය්යන්ගේ පිහිට තමයි සුද්දට හිතුන.

නොදන්නා අයට දැනගන්නයි ලියන්නේ, පහ වසරෙන් එහාට පන්ති නැති ඉස්කෝල අමුතු ඇටේ තියනවා. ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි යන්න ලැබුනේ එහෙම ඉස්කෝලෙකට. ඒවාට අල්ලපුම ටවුමේ තියන ලොකු (උසස් පෙළ දක්වා තියන) ඉස්කෝල වල ළමයින්ව ටීචර්ලට මේච්චල් නෑ. ටීචර්ලට ඊට එහා අසූ හාරදාහක් ආර්ථික ප්‍රශ්ණ. ඒ ටවුමෙන් එහාට ලෝකයක් තියනවා කියල දෙන්න තරම් ඉස්පාසුවක්වත්, දැනමුතුකමක්වත් උන්ගේ මහා එවුන්ටත් නෑ. උන්ගෙන් තමයි අර මත් වෙන බීමයි, මත් ටොෆියයි ඇබ්බැහිය පටන් ගන්නෙ. ටීචර්ලටයි, මහ එවුන්ටයි අත් ඇරිච්ච පොඩි උන් තමයි මේ ජාවාරම් කාරයින්ගේ ටාගට් එක. ඉඳල හිටලා දහිරිය වන්ත සංසාරේ පින් තියන දරු පැටියෙක් ඒ ටවුමෙන් එහාට ගිහින් ජීවිතේ හොයාගන්නවා.  ආන් ඒකයි සුද්දගේ ගම් පළාතේ එවුන්ට ශිෂ්‍යත්ව විභාගේ වැදගත්. 

ආයිමත් යං වලස් පුංචගේ කතන්දරේ ඉතිරි ටිකට. වලස් පුංචගේ ඇතා අප්පුච්චයි, (සුද්දගේ හා පුංචා) සුද්දයි දෙන්නම ඔය කියන මහ විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ලොකු ඉස්කෝල වලට ගිය ළමයි. ඒ උනාට ඒ කාලේ වගේ දරු පැටියෙක්ව ඇහ මානෙන් ඈතට යවල ගෙදර එනකල් බලන් ඉන්න තත්වයක් මහ එවුන්ට දැන් නෑ. ඉපදිලා මාස දෙකක් ගිය දරු පැටිය පවා රේප් කරන ලෝකයක් මේක. වලස් පුංච ශිෂ්‍යත්ව විභාගේ හොඳින් සමත් උනා. හැබැයි කොළඹ ඉස්කෝල වලට යන්න ලකුණු මදි.  ගෙදර උදවිය පෙරලුන පිට හොදයි කියල වලස් පුංචව ඇතුල් කළා ඒ පළාතේ තිබුන විනය අතින් හොඳයි කියාපු, ශිෂ්‍යත්වය සමත් පැටවූ පමණක් ඇතුලත් කරගන්නා පාසලකට. වලස් පුංචට ශිෂ්‍යත්ව ප්‍රථිපල එන කාලේ වෙද්දී හරි නම් වලස් පුංච ඉන්න ඕනෙ හයේ පන්තියේ දෙවන වාරේ. කොවිඩ් වලින් සහ ඩොලර් වලින් බැට කමින් ඉඳපු අමුතු ඇටේ සියලුම දේවල් සිද්ධ උනේ ප්‍රමාද වෙලා.  වලස් පුංච ශිෂ්‍යත්ව ප්‍රථිපල ඇවිත් ඉස්කෝලෙකට තේරෙද්දී මැති ඇමතිලා බේරේ වැවේ. මිනිස්සු තෙල් පෝලිමේ. වලස් පුංචා දැන් හය මාසෙකට වඩා ගෙදර. අන්තිමේ අලුත් ඉස්කෝලෙ ඔන්ලයින් ක්‍රමේට උගන්වන්න පටන් ගත්ත. අර අපබ්‍රංශ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේට ලියපු වලස් පුංචා දැන් ඕනේ දේකට ඔට්ටුයි. අලුත් ඉස්කෝලෙ හය වසරේ ටීචර්ල ටිකත් බොහොම ආදරෙන් දරුවන්ට උගන්වනවා.  අන්තිමේ පැට්‍රොල් ඩීසල් ටිකයි, ඩොලර් ටිකකුයි ණයට ඉල්ලගත්තු රටේ අප්පච්චිගේ ගෝලයෝ රොත්ත අමුතු ඇටේ ක්ෂණයකින් සුඛිත මුදිත කල හන්ද වලස් පුංචට අලුත් ඉස්කෝලේ හැබැහින් දැකගන්න වාසනාව ලැබුන. මේ 2022 ජුලි මාසේ අන්තිම. වලස් පුංච සන්තෝසෙන් උඩ පැන පැන දවස් දෙක තුනක් අලුත් ඉස්කෝලෙට ගියා විතරයි. 

යන්තම් වැස්ස තිබුන සෙනසුරාදාවක උදේ පාන්දරින්ම වලස් පුංචා ඇතා අප්පුච්චගේ මෝටර් සයිකලේට නැංගේ කෙදිරි ගගා, රෝද හතරෙන් පන්තියට යං කියල. ඒක  එහෙ මෙහෙ කරන්න තියන කම්මැලි කමට වගේම විනාඩි දහයේ දුරක් නිසා වෙන්න ඕනෙ ඇතා අප්පුච්ච, වලස් පුංචව මෝටර් සයිකලේම තියාගෙන පිටත් වෙලා යන්න ලැබුනෙ වංගු දෙකක් විතරයි. පුංචි වලස් පුංචට සිද්ධ වෙච්ච දේ හොඳටම මතකයි. වලස් පුංචෝ හය්යෙන් මාව අල්ලගන්න, අපිව හැප්පෙන්නයි යන්නෙ, ඇතා අප්පුච්ච කෑ ගැහුවා. වලස් පුංච ඇතා අප්පුච්චගේ බඩ මැදින් තදින් අල්ල ගනිද්දි, තමන්ට ඉස්සරහින් පාර පුරා එන ගමන් තමන් දිහාවටම එන වෑන් තඩියව පෙනුන. ඇතා අප්පුච්ච මෝටර් සයිකලේ හොඳටෝම වේගේ අඩු කරලා පාරේ තිබුන අගලට ගනිද්දිම වෑන් තඩිය තමන්ගෙ සේරම සවි ශක්තිය දාල වලස් පුංචගේ දකුණු කකුලෙන් හිතේ වාඩුව ගත්ත. ඇතා අප්පුච්චගේ ඇඟ උඩ මෝටර් බයිසිකලේ. වලස් පුංචා වීසි වෙලා පාර මැද වැටිලා. 

වලස් පුංචට ඇහුන ඇතා අප්පුච්චා මාරාවේශෙන් විලාප දෙනවා, උඹ මොකද යකෝ මගේ වලස් පුංචට කලේ කියාගෙන. ඇතා අප්පුච්චා එහෙම මහා සද්දෙට කෑ ගගහ අඬනවා වලස් පුංචා මීට කලින් දැකල අහල තිබුනේ නෑ. සුද්ද දැකල තිබුනෙත් නෑ. මීට අවුරුදු ගාණකට කලින් හා පුංචාගේ දණහිස් පොල්කට්ට අතුරුදහන් වෙච්ච මාරක රිය අනතුර වෙච්ච දා හවසවත් ඒකා ඇඩුවේ නෑ. සුද්ද හා පුංචගේ දණහිස් පොල්කට්ට කුඩු වෙච්ච කකුලයි ලේ උරපු කොට්ටෙයි තමන්ගෙ උකුල උඩ තියාගෙන කොළඹට යනකල් සිහියෙන් ඉන්න දුන්න මහ සටන තාම සුද්දට අමතක නෑ. අවුරුදු විසිඑකේදී හා පුංචගේ ඇතා අප්පුච්චාගේ මිනියට කර තියන් යද්දිවත් හා පුංච ඇඩුවේ නෑ.

වටේ පිටේ උන්න කරුණාවන්ත, සුද්දගේ පවුලම දන්නා අඳුනන ගමේ මිනිස්සු එකතු වෙලා වැටිලා තිබුන මෝටර් බයිසිකලේ ඇතා අප්පුච්ච්ගේ ඇඟ උඩින් අයින් කළා. වලස් පුංචගේ විළුඹ තුවාල වෙලා ලේ ගලනවා. වෙන පිටින් පේන්න තුවාලයක් නෑ. වෑන් තඩිය පාර පුරා ගෙනාපු තරුණ කොලු ගැටය උගෙ ගාමන්ට් හයර් එක ගියා (ඒ ගැන කවුරුත් මෙතන ප්‍රශ්න අහන්න එපා, මේ දැනට නඩුවකට පැටලුන සිද්ධියක්). ඇතා අප්පුච්ච වලස් පුංචගේ සීදේවී ආච්චිගේ ඔලුවට ජීවිතේ දෙවැනි වතාවටත් හෙන ගෙඩියකින් දමල ගැහුවා. "අම්මේ එකෙක් අපිව හප්පගෙන ගියා". සීදේවී ආච්චිගේ පණ, වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, හා පුංචයි. 

වලස් පුංචගෙ ලස්සන ඇස් තියන අම්මා ඇඳිවත පිටින්ම වංගු දෙක දිව්වා. ඇතා අප්පුච්ච රෝද හතරෙන් වලස් පුංචවයි, ලස්සන ඇස් තියන අම්මවයි අරන් ටවුන් එකේ ඉස්පිරිතාලෙට ගියා. එහෙම කලාට ඇතා අප්පුච්චටත් හොඳවයින් පාරවල් තුන හතරක් වෑන් තඩිය දීලයි තිබ්බෙ. ඒ උනාට දරු දුක ළඟ මිනිස්සු නිකම්ම ඇත්තු වෙනවා. ඇතා අප්පුච්ච ආයිමත් ගෙදර ආවෙ තනියෙන්, වලස් පුංචව කොළඹට ගෙනියන්න (මොකද හා පුංචා සහ සුද්දා අමුතු ඇටේ ඉන්න විකලාංග දොස්තරල ගැන දන්නා එක්ස්පර්ට්ස්ල, කලින් වතාවේ දොස්තර පින්ටෝ මහත්තයගේ වාට්ටුවේ මාස දෙකක් විතර තැපල ඇවිත්, ඒ මනුස්සයට පිං සිද්ධ වෙන්න හා පුංචගේ ගාත් හතරම තාම හොඳටම වැඩ, ඒ තමා දොස්තර දෙවිවරු). 

සුද්ද වලස් පුංචට කථා කළා ඒ අල්ල පනල්ලේ. යකෝ රෝස මලක් වගේ උන්නට, වලස් පුංචත් සුද්ද වගේම තමා, ඇස් බෝල ගෙඩි දෙකත් ලොකු කරගෙන, කඳුළුත් කාගෙන වලස් පුංච කොළඹ යනවා. අනේ ඉතින් සුද්ද හිතුවේ දණහිස පැනපු එකයි විලුඹ තුවාල වෙච්ච එකයි විතරයි කියල වෑන්  තඩිය වලස් පුංචට කරපු හානිය. හැබැයි වලස් පුංචා කටින් කටට කිව්වේ කකුලේ උඩ කොටසට මොකුත් දැනෙන්නේ නෑ කියලයි.  පින්ටෝ මහත්තයගේ එක්ස් රේ ටික ඊට වැඩිය බොහොම දරුණු කතන්දරයක් කිව්වා. තයි බෝන් එක (ඒ කිව්වේ දණ හිසයි කලවයි සම්බන්ධ කරන අස්ථිය) හරියටම දෙකට මැදින් කැඩිලා. දැන් වලස් පුංචා ඉන්නේ කකුලට යකඩ ප්ලේට් එකක් දාල. සැත්කමෙන් පස්සේ වලස් පුංචාට ලේ දෙන්න උනා, ඒත් පුංචා පුංචි නිසා වැඩිහිටි ලේ එයාගේ ඇඟට ඇතුල් වෙන හැම වතාවේම එයා මරහඬ තැලුවා වේදනාවට. අන්තිමට නර්ස් නැන්දලා ලේ දෙන එක නැවැත්තුව. වලස් පැංචා නෙවිල් ෆර්නාන්දු රෝහලේ නැවතිලා හිටපු කාලේ එයාට සත්කාර කරපු පින්ටෝ දොස්තර මාම ඇතුළු සියලුම දොස්තර මාමලටත්, නර්ස් නැන්දලටත් සුද්ද මේ වෙලාවෙ තමන්ගේ හද පතුලෙන්ම නැගෙන ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. 

කතන්දරේ තව ඉවර නෑ. දැන් අර හැම තිස්සෙම උඩ පැනපු වලස් පුංචට ඇවිදින්න බෑ. ඉස්කෝලේ යන්න බෑ. ක්ලිනික් එක්ක යන්න ඕනේ. පිසියොතෙරපි කරන්න ඕනේ. සැත්කමින් සති හයකින් පස්සේ දෙකට කැඩුන අස්ථිය හා වෙලා, මාංශ පේශි වල ශක්තිය නැවත ලබාගෙන කකුල් දෙකෙන් ඇවිදින්න උත්සාහ කරන එක තමයි වලස් පුංචට ලැබුන ගෝල් එක. ගෙදර උදවියට වලස් පුංච දැන් මේච්චලුත් නෑ. ඒක එකම යුද්ධයක්. බලාගෙන ඉන්න බැරි තරම් වේදනාවක්. ඇතා අප්පුච්ච හොඳටෝම මානසිකව වැටිලා ඉන්නේ එයා හින්ද මේ දේ උනා කියල. මේ විදියෙ අනතුරකින් යථා තත්වයට පත්වෙන්න මොන තරම්  මහන්සි ගන්න ඕනෙද කියල එයා අත්දැකීමෙන් දන්නවා.

සුද්දට මුදූ හතකින් එහා ඉඳගෙන මේ විස්තරේ තවත් අහගෙන  ඉන්නත් බෑ. යකා බැඳ ගත්ත වගේ කරන රස්සාව එක පාරට දමල ගහල යන්නත් බෑ. හැබැයි සුද්දට පුළුවන් වලස් පුංචව ආන් බාන් කරගන්න. සුද්ද කියන්නේ වලස් පුංචලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, ලේ වල බරයි යාළු කමයි වගේම, උන් දෙන්න හිතන් ඉන්නේ සුද්දත් උන් වගේම පොඩි එකෙක් කියල. ඒ හන්ද සුද්ද යනවා වලස් පුංචා දිහාවේ, එතකොට සැත්කම කරලා සති දෙකයි. කොවිඩ් නිසා වුන එකම යහපත තමයි ටෙලි වර්ක් නොහොත් වර්ක් ෆ්‍රොම් හෝම්. සුද්ද දැන් කරන්න යන්නේ වලස් පුංචව බලා ගන්න ගමන්, ලෝකේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ රස්සාව කරන්න සති තුනකට. ඒ ඇති වලස් පුංචව ඇවිද්ද ගන්න. 

වලස් පුංචට ඉස්කෝලේ යාළුවො නෝට්ස් එව්වා. වලස් පුංච මර හඬ දිදී අර කැඩිලා තියන, දණහිස ඇද වෙලා තිබුන කකුලට සුද්ද එක්ක පිසියෝතෙරපි කළා. ඒවා කියල දුන්නෙ නෙවිල් ෆර්නැන්ඩු රෝහලේ පිසියෝතෙරපි මාම. ඒ එක්කම වලස් පුංචට ඉස්කෝලේ පළවෙනි වාර විභාගේ පටන් ගන්නවා කියල දැනුම් දුන්න. වලස් පුංචට ඉස්කෝලෙට යන්න බැරිව තදින්ම මානසික පීඩනයට පත් වෙලා තිබුනේ. වලස් පුංච ගෙදර උදවිය එක්ක කථා  කරලා වාර විභාගෙට යන්න තීරණය කළා. හැමදාමත් පාස්ට් පේපර්ස් වලින් විභාග ලියපු සුද්ද වලස් පුංච එක්ක පාස්ට් පේපර්ස් කරන ගමන් විෂය කරැණු කියල දුන්න. ගෙදර උදවිය සේරෝම උන්නේ බොහොම වැඩ අධික කාල සටහනක. වලස් පුංච නින්දට යනකල්ම නොනවත්වා කතා කළා. බොහොම අසාමාන්‍ය ලෙස එක දිගට කතා කරගෙන ගියා. එකකට එකක් සම්බන්ධ නැති දේවල් කියෙව්වා. පාඩම් වැඩ මතක තියාගන්න කලින්ට වඩා අමාරුයි කියලත් කන් කෙඳිරි ගෑව. එයාට වෙනම රෝද පුටුවක් සහ ඇවිදින ආධාරකයක් ගෙනත් ඇවිදින්න පුරුදු කළා. ඉඳිකටු පැංචා මේ සේරම බලාගෙන සද්ද නැතුව ගෙදර එහාට මෙහාට ගියා. වලස් පැංචා ගෙන් නිදහස් උනාම සුද්දට ඉඳිකටු පැංචාගේ ඉස්කෝලේ වැඩ ගැනත් බලන්න උනා. මේ කලබලේ අස්සේ පුංචි ඉඳිකටු පැංචව හැමෝටම මග අරුන කියල සුද්දට හිතුන. 

වලස් පුංච, ඇතා අප්පුච්චගෙයි, ලස්සන ඇස් තියන අම්මගෙයි, රෝද පුටුවෙයි පිහිටෙන් විභාගෙට ඉස්කෝලේ ගියා. ඒ හය වසරේ ටීචර්ලා ටික බොහොම ආදරෙන් වලස් පුංචට විභාගෙට වාඩි වෙන්න වෙනම තැනක් පිළියෙළ කරලා දුන්න. ඒ වගේම වලස් පුංචට චූ දාන්නත් ගුරු කාමරේ කොනක ලෑස්ති කරලා දුන්න. ඒ ගොඩක් දුර යන්න වලස් පුංචට බැරි නිසා. කැඩිච්ච කකුලත් පැත්තකින් උස්සගෙන, නිතර හැදෙන ඉසරදෙත් ඉවසගෙන වලස් පුංච අප්‍රතිහත ධෛර්යෙන් විභාගේ කරලා ඉතා හොඳින් ලකුණුත් අරන් පෙන්නුවා. ඒ ඉස්කෝලේ හය වසරේ ටීචර්ලට ගොඩක් ස්තුතියි. 

සුද්ද ආපහු එන්න දවස් දෙක තුනකට කලින් වලස් පුංච දෙපයින් හිට ගත්ත. ඒත් ඇවිදිනකොට පේන ඇදෙයි, දණහිස් පොල්කටුව පැත්තට ඇදිල තිබුන එකයි දකින කොට ඇතා අප්පච්චිට දරා ගන්න බැරි උනා. සුද්ද එන දවසේ රෑ වලස් පුංච අඬ අඬ කිව්වා එයා ඔහේ තේරුමක් නැතුව කතා කරපු හේතුව. වලස් පුංචට බයයි. ඇක්සිඩන්ට් එක මතක් වෙනවා. සුද්ද වලස්  පුංචට කිව්වා සිංදුවක් අහන්න, පොතක් කියවන්න කියල. ඒ පුංචි හිතෙයි ගතෙයි තිබුන වේදනාව තමන්ගේ කරගන්න ගෙදර උදවිය සේරෝටම උවමනාව තිබුනට, වලස් පුංචට ඒ හැමදේටම තනියෙන්ම මුහුණ දෙන්න උනා. ඒක තමයි සංසාරේ හැටි. 

තව කථාව ඉවර නෑ. වලස් පුංචා ආයිමත් ඇතා අප්පුච්චගේ  කර පිටින් ඉස්කෝලේ ගියා. ඒ උනාට තාම දණහිස ඇදයි. දණහිස ගැන පස්සෙ බලමු කියල පින්ටෝ මහත්තය සුද්දට කිව්වේ වලස් පුංචාගේ අනතුර වෙච්ච දවසෙමයි.  මාස කිහිපයක් ගත උනාට පස්සෙ ඇතා අප්පුච්ච නැවත පින්ටෝ මහත්තයා එක්ක මේ ගැන කතා කළා. දන්නා කියන සියලුම කෝණ වලින් ගත්තු එක්ස් රේ පින්තූර ටික දැක්කම ගෙදර උදවියට නැවතත් දෙවියන් සිහිවුනා. වලස් පුංචගේ දණහිස් පොල්කට්ට උඩින් කොටස් තුනකට වෙන් වෙන විදියට පැල්මක් ගිහින් තිබුන. කලින් එක්ස් රේ පින්තූර වල නොතිබුන. ඒකට හේතුව අනතුර එක්ක ඒ විදියෙ කෝණයකින් දණහිසේ එක්ස් රේ ගන්න අමාරුයි කියල තමයි සුද්දට වැටහුනේ. හේතුව මොක උනත්, මේ සැත්කම් දෙකම එක වර කරන්න බැරි දෙයක්. දැන් ඉතින් වලස් පුංචට තවත් සැත්කමක්. කලින් වතාවට වැඩිය යථා තත්වයට පත් වීමේ කතන්දරේ අමාරුයි. සති හයක් කකුල හොලවන්න තහනම්. ඉන් පස්සේ දණහිස නවන සටන. සුද්ද ආයිමත් මුදූ හතක් මෙහා ඉඳන් ලොකු හුස්මක් ගත්ත. 

කවුරු කොතැනක මේ අනතුර සිද්ධ කලත්, ඒ අනතුර කර කෙනා ඔහුගේ කර්මය සකස් කරගත්තා වගේම, වලස් පුංචා ඇතුලේ පවුලේ හැමෝම පෙර ආත්මෙක යම් කෙනෙකුන්ට කල හිරිහැර වල කර්ම විඳිමින් ඉන්නවා. වලස් පුංචට නිවාඩු කාලයක් බලල නැවතත් දෙවැනි සැත්කමක් කළා. වලස් පුංච ඒ වෙද්දී ඉංග්‍රීසි මාධ්‍යට මාරු වෙලා තිබුන හන්ද, හත වසරේ පළවෙනි වාර විභාගෙටත් සුද්ද මුදූ හතක් මෙහා ඉඳන්  වලස් පුංචට පාඩම් කියල දුන්න. එතකොට තමයි සුද්ද දැනගත්තේ, අමුතු ඇටේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් උගන්වන සමහර විෂයන් වල සහ ඒ ප්‍රශ්න පත්තර වල තියන්නේ ඉතාම පැටලිලි සහගත, සුද්ද මේ තාක් පාවිච්චි නොකළ ඉංග්‍රීසි කියල. මේ ලිපිය වගකිවයුතු කෙනෙකුගේ ඇහැ ගැටුනොත්  කරුණාකරලා මේ පොත් සරල පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියන්න උත්සාහ කරන්න කියල සුද්ද යෝජනා කරනවා. ඒ වගේම ඉංග්‍රීසි  හරියට නොදැන පරංගිය කෝට්ටේ ගියා වගේ ප්‍රශ්ණ වාර විභාග ප්‍රශ්ණ පත්තර වල ඉදිරිපත් කරන්නෙපා. කවුරුන් හෝ මේ භාෂා මාධ්‍ය නිවැරදිව දන්නා කෙනෙකු ලවා මේ ප්‍රශ්න පත්තර සකස් කරවාගන්න. එහෙම නැති උනොත් මේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් ඉගන දරුවන්ට නිවැරදි ඉංග්‍රීසි වෙනමම උගන්වන්න වෙයි. 

දැන් වලස් පුංච ඉස්කෝලේ යනවා. වලස්  පුංචාගේ කකුලේ තාම යකඩ තහඩුවක් තියනවා. ඒක අයින් කරන්න නැවතත් සැත්කමක් කළ යුතුයි, ඉක්මනින්ම. වලස් පුංචගෙ පංතියේ බාගෙකට වඩා දරුවන්ට ලකුණු 40ට අඩුයි ගොඩක් විෂයන් වලට. දරුවෝ ටීචර්ලා කියන දෙයක් සත පහකට ගණන් ගන්නෙ නෑ කියල තමයි වලස් පුංචා කියන්නේ. දරුවෝ නෝට්ස් ලියන්නේ නෑ. ටීචර්ලා ඒ වගක් දන්නෙත් නෑ. හැමෝටම ප්‍රශ්න. වලස්  පුංචලගේ, ඉඳිකටු පැංචාලගේ අනාගතේට මහ එවුන් හෙමින් හෙමින් වල කපල ඉවරයි. දරු පැටව් බොහොම නොසන්සුන්. උන්ගේ ප්‍රශ්න වලට දෙමාපියෝ ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකට මහ උන්ට වෙලාවකුත් නෑ.

සුද්දට ආඩම්බරයි වලස්  පුංචයි, ඉඳිකටු පැංචයි ගැන. ඒ වගෙම දුකයි. ආඩම්බර උන් මෝඩයෝ නොවෙන හන්ද. දුක සුද්දලාගේ පරම්පරාව (උඹේ, අපේ භාෂාවෙන් කිව්වොත්) පට්ට ෆේල් හන්ද. ජගත් මනුවර්ණ මලය එක යූ ටියුබ් වැඩසටහනක කියනවා මේ තරම් මිනිස්සු මරන්න පුළුවන්ද කියල. මට මතක විදියට ඔහු එතනදි සඳහන් කරන්නෙ එදා මෙදා තුර සියලුම සිවිල් අරගල වලින් සහ යුද්ධෙන් කාලාන්තරයක් තිස්සේ මැරුණු අමුතු ඇටේ මිනිස්සු ගැන. එහෙම මිනිස්සු මරනවා සහ මැරෙනවා බලන් උන්නු, බස් එකට නැගල වාඩි වෙන්න කලින් බෝම්බ තියනවද කියල බලපු, ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රාජපක්ෂ, රනිල් එකී මෙකී නොකී සියලුම පාලකයින්ගේ, දේශපාලුවන්ගේ සහ අන්තර්ජාතික න්‍යාය පත්‍ර වල හිර වෙච්ච, ඒවා දැන දැනත් තාමත් ඒවා විවේචනය කරන්නට පමණක් වෙහෙසෙන අපි උඹල ඔක්කොම ෆේල් තමයි.  එහෙම හිතෙන්නේ ඉඳිකටු පැංචල, වලස් පුංචල වයස අවුරුදු අටක් නමයක් වෙද්දිම ජිවිතේ හති වැටිලා ඉන්න හැටි දැක්කම.  ෂාරුක් ඛාන් ගෙ අලුත් චිත්‍රපටියක් ආව මේ ලඟදි "ජවාන්". බැලූ බැල්මට සාමාන්‍ය කතන්දරයක්, ටිකක් මනි හයිස්ට් කතන්දරේට සමාන රොබින් හුඩ් තීම් එකේ අපි හැමෝම ෆැන්ටසයිස් කරන ලෝකයක් හදන්න හදන වීරයන්ගෙ කතන්දරයක්.  හැබැයි ඒකෙ ලස්සන පණිවිඩයක් දෙනවා. මිනිස්සුන්ට කියනවා තමන්ට තියන වටිනාම අයිතිය, තමන්ගේ ඡන්දය නිවැරදි විදියට පාවිච්චි කරන්න කියල. මිනිස්සු තමන්ගේ සල්ලි වියදම් කරන්න කලින් මිලදී ගන්න හැමදේ ගැනම ඉතා ගැඹුරු ලෙස ප්‍රශ්න කරනවා. හැබැයි මිනිස්සු තමන්ගෙ ජීවිත වල වටිනාම තීරණ ගන්න රටේ පාලකයින් තෝරා ගනිද්දී දෙපාරක් නොහිත තමන්ගෙ මනාප කතිරය ගහල එනවා.  ගහපු කතිර වල ප්‍රථිපල  අපේ උවමනාවට මේ ලෝකෙට ආපු ඉඳිකටු පැංචල, වලස් පුංචල විඳවනවා. 

අවුරුදු පහකට පස්සෙ පොකුරු වැස්සට ලිපියක් ලියන්න තේමාවක් දුන්නට සුද්දගේ ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි මගේ උත්තමාචාරය.

මේ ලිපිය බෙදා ගත්තාට මගේ අමනාපයක් නොමැත. 

Sunday, September 30, 2018

බුදු වෙන්න බෑ පුතේ...පිරිමි උනු පලියට...



Image courtesy- internet 



වුද්ධිකාරෝ කියා වඳිනකොට ආ සුවඳ 
එදා රෑ හිස පලා, ගලාගෙන ගිය අපුල 
ඇනි ඇනී නයිටියේ, තාත්තගෙ කොට රැවුල
ඉදිමිලා උප්පැන්නෙ, ඉහිරුනා ලේ පාට....

අම්මා නිහඬවම බුදු වෙන්න පැතුවාද
දොර පියන්  හැර තියා ජූජක බමුණාට
කඳුලක් වැලලුවට කනේරු ගහක් යට  
අන්නාසි ගැට පුතේ අමතක වුනා මට...  

සිංහයා මැරුණාට, සීවලී නැති දුකට
සිංහබා දැන් අයිති ඉතිහාස කතාවට
තාත්තා බුදු වෙයන්, පුරුද්දට කිව්වාට
බුදු වෙන්න බෑ පුතේ...පිරිමි උනු පලියටම...

-ww

පසු සටහන:

පසුගිය දවසක ජාන පරීක්ෂණයකින් ඔප්පු වෙනවා, තමන්ගෙ තරුණ දියණියගේ දරුවා, එම දියණියගේම පියාගේ වග. ඒ වගේම ඒ දියණිය දීර්ඝ කාලීන ලෙස පියාගෙන් අපයෝජනය වෙද්දී, මවත් මේ සියල්ල සඟවා ජීවත් වී ඇති වග. මේක ලංකාවේ දකුණු පළාතෙන් වාර්තා වුන සිද්ධියක්. මේ තිරිසන් කම සම්භාව්‍ය වචන හරහා ඉදිරිපත් කරන්න මට සෑහෙන්න අසීරු වුනා. ඒ දියණියගේ හැඟීම් වලට මේ වචන වලින් කවදාවත් සාධාරණයක් වෙන්නත් නෑ කියල මං දන්නවා. ඒ වුනත් අපි ඇස් දෙකේ තියාගෙන හදන දරු පැටව්, අඩිය තියල යන සමාජයේ මේ වගේ මිනිස්සුත් ඉන්න වගට ඔවුන්ව දැනුවත් කරන එක දෙමාපියන් වශයෙන් ඔබේ වගකීමක්.

Thursday, August 30, 2018

එයා...(ජීවිතය ලියා තබමි-3)

රුව අන්තර්ජාලයෙනි 


අවුරුදු දාසයක් තිස්සෙම මට එයාව හීනෙන් පේනවා...ඔව් මාස දෙක තුනකට වතාවක්...එයාව මං නිතර දැක්ක විදියට, සමහර දාට හරිම ලස්සනට...

අපි වෙන් වෙච්චි අලුත, මට නින්දක් නිදා ගන්න ලැබුනෙම නෑ...හැමදාම වගේ එයාව හීනෙන් පෙනුනා...එයා ඇවිත් මොනවදෝ මට කියල යනවා...මහා ආගාධයක් ඇතුලේ හුඟාක් වෙලා හුස්ම හිර කරගෙන ඉඳල එළියට ආවම දැනෙන හැඟීම කොයි වගේද...ඒ හීනෙන් පස්සේ එළඹෙන උදේට මට දැනෙන හැඟීමත් ඒ වගෙයි...ඒක මහ තෝන්තු වෙච්චි හිතුවිල්ලක්...පුදුමාකාර වෙහෙසක්...හොඳට වැඩුණු ගහක් උගුල්ලලා අලුතින් හිටවල වගේ...

මුලදී වගේ නෙවේ, කාලයක් ගත වෙද්දී මට එයාව හීනෙන් පේන්නේ,  මොනවම හරි දෙයක් ගැන ඉඟියක් දෙන්න...ඒක මගෙ හිතලුවක් නෙවේ...ඒක ඇත්තටම එහෙමයි...ගොඩක් වෙලාවට ජීවිතේ ගැටළුවක් ගැන ඉඟියක්...

අපි දෙන්න එකට උන්න කාලේ, ජීවිතේ ගැන මහා දාර්ශනික සාකච්චා කරන තරමට අපි ලං වෙලා උන්නෙ නෑ...මං එයාට ඉස්සර ගොඩක් බයයි...ගොඩක් දේවල් මං කලේ එයාගේ නීති වලට බයට...එයාගේ තිබුන හිතුවක්කාර මුරණ්ඩු ගතිම තමයි මටත් තිබුනේ...එයාට  හිතුනොත්, ඒ දේ අනිවාර්යෙන් කරනවා...එයාට තිබුන පුදුමාකාර ආත්ම විශ්වාසයක්...ඒ වගේම කරන වැඩ හරි පිළිවෙලයි...එයා ඒ වගේම හරිම අවංකයි, නිර්භීතයි...කිසිම මිනිහෙක් ඉස්සරහ එයාගේ ඔලුව නැවෙන්නේ නෑ, මනුස්සකමට ඇරුනම...

අවාසනාව කියන්නේ මං එයා ගැන මේ විදියට විශ්ලේෂණය කරන්න ගත්තේ එයා මාව දාල ගිහිනුත් හුඟාක් කාලයක් ගියාට පස්සේ...මං ඇතුලේ අද වෙද්දී පැල වෙලා තියෙන්නේ, එයා වපුරාපු දේවල්...කොටින්ම කියනවා නම් මං එයාම තමයි...ඒක මට දැන් දවස ගානෙම දැනෙනවා...ඒ ගතිගුණ දැන් මටම වදයක් වෙලා...හැමතිස්සෙම එයාගේ ඒ ගතිගුණ ප්‍රගුණ කරන්න අමාරුයි...ඒ හින්ද පහුගිය දවස් ටිකේ මටත් සිද්ධ වුනා, මගෙ වටේ වෙන දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න...ඒ අස්සෙ, ඊයේ මගෙ හිත මට තර්ජනය කළා, මොළේට දැනුම් දෙනවය කියල තවත් කට පියාන ඉන්න එපාය කියල...ඔහොම මහා පීඩනයක් ඔලුවේ තියාගෙන මං ඊයේ රෑ නිදාගත්තෙ...ඉන් පස්සේ මුළු රෑ තිස්සෙම මට එයාව හීනෙන් පෙනුන...ඒක විකාර සිද්ධි දාමයක්...ඒ හීනෙන් පස්සේ මං ඇහැරුනේ බූවල්ලෙක් උගේ දඩු වලින් මගෙ මොළේ වෙලාගෙන ඉන්නවා වගේ හැඟීමක් එක්ක...ඒ එක්කම මට දැනුන, මං අර නිදාගනිද්දී කල්පනා  කරපු ගැටළුව එක්ක ගණුදෙනු කරද්දී බොහොම ඉවසිලිවන්ත වෙන්න වෙන්න ඕනෑ වගේ හැඟීමක්...එයා අර හීනෙන් ඇවිත් මට කිව්වෙ එහෙම දෙයක් කියල හිතුන...

හිතන්න, දැන් අවුරුදු දාසයක් තිස්සේ, මං මාසෙකට දෙකකට වතාවක් එයා මං ළඟ උන්න කියල හිතන් රැවටිලා හීනෙන් ඇහැරෙනවා...ඒ වේදනාව...සමහර විට වතුරේ ගිලිලා හුස්ම හිරවෙලා මැරෙද්දි දැනේනේ එහෙම වේදනාවක් වෙන්නැති...ඒක මට මෙහෙම විස්තර කරන්න බෑ...

එයා මාව දාල යද්දි මං ඇඩුවේ නෑ...මට හුඟාක් වැඩ තිබුන කරන්න එයා මාව දාල ගියාට පස්සෙ...මට මගෙ ජීවිතේ ගැන, එයා ගැන අවලෝකනය කරන්න වෙලාවක් තිබුනෙ නෑ...ඒ වුනාට, හැම මිනිහෙකුටම එනවා මට වගේ කාලයක්...ජීවිතේ ආපස්සට යන්න...එයා තමයි මගෙ ජීවිතේ, මගෙ හදවතේ ඇති වුන අතිශය ගැඹුරුම ප්‍රේමය...ඒ වුනාට මේ  ජීවිතේ රේස් දිවිල්ල හින්ද, එයා ළඟින් තුරුළු වෙලා ඉඳන් එයාට මට ආදරේ කරන්නවත්, මට එයාට ආදරේ කියන්නවත් ඉඩක් ලැබුනේ නෑ...ඒ ලංකාවේ හැටි... 

එක අවුරුදු දවසක එයා ඇඩුව...ඒ තමයි මං එයාගේ ඇස් වල කඳුළු දැක්ක එකම එක දවස...එතකොට එයා අසනීප වෙලා බොහොම කාලයක්...එයා ඒ වෙද්දී බොහොම දුප්පත් මනුස්සයෙක්...එයා දස මහා යෝධයෙක් වගේ ඉස්සරම මං දැක්කේ...ඒ වුනාට අන්තිමට එයා පුංචි දරුවෙක් වගේ වුනා...එයා මුලින්ම අසනීප වෙච්චි දවසේ, මට මතකයි "චුටි මැණිකේ" කියල  මට කෑ ගැහුවා...අනිත් ඈයෝ "චූටි" කියද්දී, එයා විතරයි මට චූටී මැණිකේ කිව්වේ, එයා මාව දාලා ගියාට පස්සේ එහෙම කියන්නේ කවුරුත් මට උන්නේ නෑ...

එයා මාසයක් තිස්සේ හොස්පිට්ල් ඉද්දී, මං හැමදාම ගියා එයාව බලන්න...ඒ කාලේ මං කැම්පස්...දෙතුන් වතාවක්ම එයා අසනීප වුනේ, කැම්පස් එකේ එක්සෑම් අතරෙදි...ඉතින් මං ඒවට හුරු වෙලා තිබ්බෙ, හොස්පිට්ල් සහ කැම්පස් අතර ගමනට...දවල්ට ගිහින් එයාට බත් කන්න දීල කැම්පස් ඇවිත් එක්සෑම් ලියන්න...එක්සෑම් එකක් ලියල  යන හැම වතාවකම, එයා මගෙන් ඇහුවේ එක දෙයයි...හොදට ලකුණු තියෙයි නේද කියල...එයාගේ ඒ ආඩම්බර කාර හිනාවට මං හරි ආදරෙයි...

ඒත්, එක දවසක් රෑ එයාට ගොඩක් අමාරු වුනා...එයා හුඟාක් හය්යෙන් හුස්ම ගත්ත, හුඟක් අමාරුවෙන්...මං හිතුවේ එදත් වෙනද වගේ කියල...මොකද ඔහොම අමාරු වෙලා එයාට අඩු වෙනවා...එදායින් දවසකට පස්සේ මගේ කැම්පස් එකේ අවසන් වසරේ, අවසන් වාරයේ, අවසන් විභාගය...මං පාඩම් කරන්නේ අන්තිම දවස් දෙක තුනේ...ඒ නිසා එදත් මං පාන්දර වෙනකල් පාඩම් කළා...මං පාන්දර එයා ලඟට යද්දී එයා මහන්සියෙන් හුස්ම ගන්නවා, මං එයාට තේ එකක් හදල දීල, එයාට නින්ද යනකල් පිරිත් කිව්වා...එයාට නින්ද ගියේ නෑ...එයා ඇඳ උඩ වාඩි වෙලා බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ගමන්, පිරිත් අහගෙන උන්නා...එදා එයා කතා කලේ ගොඩක් අඩුවෙන්...එයාට අමාරුයි කියල කොයිම වෙලාවකවත් කිව්වේ නෑ...විභාගේ සිහියෙන් හිටපු මට එයා ගැන ඒ තරම් දැනුනෙත් නෑ...ඒ මගේ හැටි...අනිත් එක එයාගේ අසනීපෙට මං හුරු වෙලා උන්නේ...

පහුවදාට එළි වුනා...එයාට අඩුවක් තිබ්බේ නෑ...ඒ දේට මං හුරු වෙලා හිටපු තරමට, මට දැනුනේ නෑ එයා ඉන්නේ හුඟක් අමාරුවෙන් කියල...ඒත් දවල් වෙද්දී එයාට හුස්ම ගන්න බැරි තරම් අමාරු වුනා...එයාගේ බඩ ඉදිමිලා තිබුනෙ...එයාව අපි එක්කරගෙන ගියේ ලඟම තිබුන නර්සින්ග් හෝම් එකට..ත්‍රී වීලර් එකක...එයා මැද වාඩි, මගෙ උරේට වාරු වෙලා...එයා එකම එක දෙයයි මගදී ඇහුවේ..."අපි මේ කොහෙටද යන්නේ"....අන්න එතකොටයි මං මගේ හීනෙන් ඇහැරුනේ...එයා ආයිමත් එක වචනයක්වත් කතා කලේ නෑ...ඒ තමයි එයාගේ අන්තිම වචන ටික...නර්සින්ග් හෝම් එකෙන් එයාට බෙහෙතක් දුන්නා...එයා වෙනද වගේම ඒවා උගුරට දෙකට ගිල්ලා...ඒත් එයාව එතනින් බාර ගත්තේ නෑ...ඒ කාලේ ඒ නර්සින්ග් හෝම් එකේ ඉඳන් හොස්පිටල් එකට යන්න පොඩි පාරක් තිබුනේ...ත්‍රී වීලර් එක හුඟාක් ගැස්සුනා...මං එයාව හය්යෙන් අල්ලගෙන උන්නේ...එක පාරටම එයාගේ ඔලුව මගේ උරහිසට කඩාගෙන වැටුන...මිනිහෙක් මැරෙන හැටි ඊට කලින් මං දැකල තිබ්බෙ නෑ...ඒ හින්දම මං පුදුම තරම් වෙර දාල එයාව හෙල්ලුවා...කෑ ගැහුවා...එයා ඇස් ලොකු කරලා මගේ දිහාවේ බැලුව...ඒ බැල්ම...ඒ බැල්ම මට කවරදාකවත් අමතක වෙන්නේ නෑ...ඉන් පස්සෙ එයාගෙ ඔලුව ආයිමත් මගෙ උරහිසට කඩාගෙන වැටුන...

එයා ආයිමත් හොස්පිටල් එකේදී අපි හැමෝම දිහා ඇස් ඇරල බැලුව....ඉන් පස්සේ ඉතිරි උනේ අපි තුන්දෙනයි. මගේ අම්මයි, මමයි, එයයි...එතන හිටපු අනිත් අය ගියා...අපි දෙන්න ඩිංගක් අහක බලාගත්තු ටිකට එයා අමාරුවෙන් හුස්ම ගන්න සද්දෙ නැවතුනා...මං මේ ජීවිතේ කිසිම දවසක ඒ තරම් මෝඩ හිතිවිල්ලක් හිතල නෑ...මං හිතුව එයාට සනීපයි කියල...අම්මටත් මං ඒක කිව්වා...අපි දෙන්නම එයාට ලං වෙලා බැලුව...එයාගේ මූනෙ තිබුනෙ පුදුමාකාර සැහැල්ලුවක්...ඒ සැහැල්ලුව එයාගේ මූනෙ මං කවදාවත් දැකල තිබ්බේ නෑ...

එයා ඒ මහ වැස්සේ යන්නම ගියා...ඒ ධාරනිපාත වැස්සේ අපිට අතරමං වෙන්න ඇරලා එයා යන්න ගියා...එයා එයාගේ අමාරුව මට කිව්වේ නෑ...එයා තීරණය කරන්නැති, අනිත් එක්සෑම් වලදී වගේ ආයිමත් මට කරදර නොකර ඉන්න...එයා හුඟක් මහන්සි වුනා, එයාගේ හුස්ම ටික රැක ගන්න...ඒත් එයා පැරදුනා...ඇත්තටම අපි සේරෝම පැරදුනා...මං අදටත් ජීවිතේ පැරදිලා...ලෝකයක් දිනුවත්, ඒව බලන්න එයා මං ළඟ නෑ...මාව ලෝකෙම දිනවන කෙනෙක් කරන්න, වුවමනාව තිබ්බෙ එයාට...ඒ නිසා මං ඒක කළා..එයත්, මගෙ අම්මත් වෙනුවෙන් මං ඒක කළා...

මං විභාගෙට ගියා පහුවදා එයාට වැඳලා...ගෙදර එද්දී විභාගේ කොහොමද කියල අහන්න එයාට පුළුවන් කමක් තිබ්බේ නෑ...එයා උන්නෙ බොහොම සුවබර දිගම දිග නින්දක...රසායන විද්‍යාව පේපර් එක ලිව්වේ කොහොමද කියල මට මතක නෑ...හැබැයි මං අඩුවේ නෑ...කලින් දා රැයක් තෝන්තු වෙලා මං ඇස් අරං උන්නෙත් අමාරුවෙන්...කවුරු හරි මට උත්තර මතක් කරලා දෙනවා වගේ දැනුන...ඒ නිසා මං ලිව්වා...මට ආදරේ කරපු සුළුතරයක් දෙනා එදා මං ලඟින් උන්නා, ඒ ඇර වෙන කිසිම කෙනෙක් විශ්වාස කලේ නෑ, මට ඒ විභාගෙන් පාස් වෙයි කියල...මං දන්නවා හුඟ දෙනෙක් හිතුවේ මං අමන කෙල්ලෙක් කියල...හිතක් පපුවක් නැති...නෑ, මං එහෙම නෙවේ, මං කියන්නේ, එයා උස් මහත් කරපු  බොහොම ශක්තිමක් ගහක්...ඒ හින්ද මං වැටුනෙ නෑ, මට ඒ විභාගෙට "ඒ " සාමාර්ථයක් තිබ්බා...මං දිනපු එක විභාගයක් ඇර, වෙන කිසිම දිනුමක් බලන්න ඉන් පස්සේ එයා මං ළඟ උන්නේ නෑ...මට මතකයි එදා රෑ දෙගොඩහරි ජාමෙ, කවුරුත් නැති වෙලාවක, මං එයා ලඟට වෙලා ගොඩාක් වෙලා ඔහේ වාඩි වෙලා හිටියා...හැබැයි මං ඇඩුවේ නෑ...මට අඩන්න තරම් නිදහසක් තිබුනෙත් නෑ...

එයාගේ සීතල අත් දෙක අල්ලලා මං හිතෙන් පොරොන්දුවක් වුනා...ඒ එයා ආදරේ කරපු හැමෝටම මැරෙනකල් එක සීරුවට ආදරේ කරන්න...එයාලව ආදරෙන් බලා ගන්න...මං ඒක අදටත් රකිනවා...

මං දැනන් උන්නේ නැති මගෙ අනාගතේ එයා හැමදාමත් දැක්කා...ඒ හින්ද වෙන්නැති අදත් මගේ ලඟට ඇවිල්ල එයා මට ජීවිතේ ගැන ඉඟි දීල යන්නේ...එයා එක්ක කතා කරන්න දේවල්, ඇවිදින්න තියන තැන් නම් නිමක් නෑ...දවස ගානේ ඒවා වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නෙත් නෑ...ජීවිතේ එහෙම තමයි, මිනිස්සුන්ට වැඩිපුර මතක් වෙන්නෙ තමන් ළඟ නැති දේවල්...

ඒ ආදරේ ගැඹුර දැනෙන්න ටිකක් වයසින් මෝරන්න ඕනේ...එයා තමයි මගෙ ජීවිතේ මෙතුවක් කාලෙකට ඇතිවුන ගැඹුරුම ආදරේ...එයා තමයි මගේ ආදරණීය තාත්තා...මාසෙකට දෙකකට වතාවක් හීනෙන් ඇවිත්, මං හොඳින් ඉන්නවද කියල මගෙන් අහල යන මගෙ තාත්තා...

--ww--
අගෝස්තු 30, 2018

Sunday, August 5, 2018

අන්තර්ජාලය සහ ළිං මැඩියෝ (සහ මරිජුවානා රිසර්ච්)



රුව අන්තර්ජාලයෙනි 


එතුමා නයිජීරියාවේ සිට කංසා පිලිබඳ පර්යේෂණ කල අන්දම රස කරමින් පවසන අයුරු මම බලා උන්නෙමි. ඔහුගේ පර්යේෂණ සහයිකාවද වරින් වර ඔහුගේ කතාන්දරයට අටුවා ටීකා සැපයූවාය. ඔහු ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙකි. ඔහු කියනා අන්දමට කංසා ශාකය නොමැති නම්, මේ ලෝකයට නූල් පටක දෙයක් නොලැබේ. එයට හේතුව නූලේ පටන්, අමන්දානන්දය දක්වා සියලුම දේවල් මෙම ශාකය විසින් ලබා දෙන හෙයිනි. මේ රසබර කතාව මා මුල සිට අගටම අසා සිටියේ හේතු කිහිපයකටය.  එකක් ඔහුගේ පර්යේෂණ පිළිබඳව තව දුරටත් කියවා බැලීමට මා තුල වැඩුන කුකුසය. දෙවෙනි කාරණය, මා කුඩා කාලයේ පටන් කංසා ගැන අසා තිබෙන නිසාය.  තුන් වන කාරණය, ගංජා ඇබ්බැහියෙන් අතරමං වූ මානසික ව්‍යාධියෙන් පෙලෙන කාලය කා දමන්නන් මා දන්නා නිසාය.

ඇත්තම කතාව නම්, මහාචාර්ය තුමා කංසා වල අමෘත ගුණය ගැන මහා පුස්තකයක් ලියා පල කොට ඇත. මා මේ දකින්නේ ඒ පුස්තකයට ප්‍රසිද්ධිය ලබා  දීමේ වැඩසටහනකි. ඉතාම සුන්දර කාරණාව නම්, ඔහු ඒ පුස්තකය එළිදක්වන වැඩසටහනේදී එය මුලින්ම පිළිගන්වා ඇත්තේ අතිගරු මහා සංඝරත්නයට වීමයි. ආචාර්ය, මහාචාර්ය වරු සංගීතඥයින් පිරිවරාගත් මේ පුස්තකය එළි දැක්වීම මහා ඉහලින් සිදු කර තිබුණි. ඔහුගේ පුස්තකයේ අඩංගු කරුණු ලෙස, ඔහු පුන පුනා පැවසුවේ, ඔහු ඒ සඳහා පරීක්ෂණ කල වගත්, අන් අයගේ පරීක්ෂණ වල දත්ත එම පොතේ සඳහන් බවත්ය.

බොහෝ මිනිසුන්ට අන්තර්ජාලය ඇත්තේ  වීඩියෝ බලන්නටත්, මුහුණු පොතේ ඕපා දූප සොයන්නටත්ය. එසේත් නැතිනම් චැට් කරන්නටය. එසේත් නැතිනම් ඔහේ කාලය කා දමන්නටය. එහෙත් ඔබට කුමක් හෝ කරුණක් පිළිබඳව ගැඹුරෙන් අධ්‍යනය කරන්නට අවශ්‍ය බොහෝ දත්ත, මේ වන විට අන්තර්ජාලයේ ඇති බව ඔබ දත යුතුය. අවශ්‍ය වන්නේ, ඒ සඳහා ඔබේ මොළය පුරුදු, පුහුණු කිරීම සහ ඉංග්‍රීසි භාෂාව පිලිබඳ යම් මට්ටමක දැනුමක් පමණය. 

ඉහත කී මහාචාර්යාට අනුව ඔහු කංසා පිළබඳ බොහෝ පර්යේෂණ සිදු කොට ඇත්තෙකි. ඔහුගේ සහකාර දැරිවියද, ඇයට එය යම් අභියෝගයක් බව කීවේ සිනා මුසු මුහුණින්ය. 

ඔබ පර්යේෂකයෙක් නම්, ඔබේ පර්යේෂණ දත්ත, පර්යේෂණ පත්‍රිකා වලට ඇතුලත් කර ප්‍රසිද්ධ කල යුතුය. මේ පර්යේෂණ පත්‍රිකා පල කිරීමට විවිධාකාර සඟරා වලට අයදුම් කල හැකිය. මෙම පත්‍රිකා වල අඩංගු වන කරුණු වල තත්වය, නිරවද්‍යතාවය, නව්‍යතාවය, ක්‍රමවේදයන්, නව සොයා ගැනීම් යනාදී බොහෝ කරුණු මත පදනම්ව, මේ සඟරා වලට අගයක් ලබා දී ඇත. අගයෙන් ඉහල සඟරා වල පළවෙන පත්‍රිකා වල අන්තර්ගතයෙහි ඇති ගුණාත්මක භාවය වැඩි බවට අපි විශ්වාස කරමු. උදාහරණයක් ලෙස, ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයෙහි, ජාතික වෛද්‍ය පුස්තකාලය මගින් පවත්වාගෙන යන, PubMed central යන ලේඛනාගාර සේවාව හරහා ඔබට බොහොමයක් විද්‍යාත්මක පර්යේෂණ ලිපි කියවා බැලිය හැකිය. නමුත් මේ යටතේ ගොනු කර ඇති සියලුම පත්‍රිකා ඇතුලත් වන්නේ, ලැයිස්තුගත සඟරාමය වර්ගයටය. එසේත් නැතහොත් ගුණාත්මක බවෙන් උසස් වර්ගයටය. 

පබ්මෙඩ් සෙන්ට්‍රල්හි, කිසියම් විද්‍යාඥයෙකුගේ හෝ පර්යේෂකයෙකුගේ වාසගම සමඟ මුලකුරු සඳහන් කර විපරම් කල විට ඔහුගේ පර්යේෂණ පත්‍රිකා වල ලැයිස්තුවක් ඔබට දැක ගත හැකිය. අපගේ මහාචාර්යතුමාගේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් මේ යටතේ මා හට දකින්නට නොලැබුණි. එය ඔහුට පමණක් නොව බොහෝ ශ්‍රී ලාංකික ආචාර්ය මහාචාර්ය වරුන්ට පොදු ගැටළුවකි. ඔවුන් තමාගේ පැවැත්ම සඳහා කුමක් හෝ අඩු තත්වයේ පර්යේෂණයක් සිදු කොට, කුමන හෝ සඟරාවක ප්‍රසිද්ධ කොට ඉතා ඉහලින් වැජඹෙති. නමුත්, ලෝකයට සේවයක් කල, ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුතු පර්යේෂණ කරන අතලොස්සක් ලංකාවේ නැතුවාමත් නොවේ.

මා ඉහත කී ඉන්ඩෙක්ස්ඩ් ජර්නල් ලයිස්තුවේ නොමැති වෙනත් සඟරා ඇති හෙයින් ඔබට ඇති සරලම විසඳුම Google Scholar හරහා ලබා ගත හැකිය. පර්යේෂණ ලිපි කියවීමට කැමති, උසස් අධ්‍යාපන හදාරන දරු දැරියන්ට මේ මගින් ඉතා විශාල සේවාවක් ලබා දෙනු ලබයි. ඒ කෙසේ වෙතත් අපගේ මහාචාර්ය තුමාගේ, ගූගල් ස්කොලර් පිටුවට අනුව නම්, ඔහු කංසා පිළිබඳව පල කල එකදු හෝ පර්යේෂණ පත්‍රිකාවක් එම ලයිස්තුවේ නැත. මා  හට එය මග හැරී ඇත්නම් මම එතුමාගෙන් සමාව ඉල්ලා සිටිමි. ඔහුගේ පර්යේෂණ සියල්ලෙහිම අඩංගු වන්නේ මත්ස්‍යන් සහ ගංගා ආශ්‍රිතව කල පරීක්ෂණ වේ. 

කංසා ගැන මාතෘකා වූ හෙයින්, මම  ඒ අදාල වූ පර්යේෂණ පත්‍රිකා කිහිපයක් කියවා බැලූවෙමි. කංසා යනු එහි අඩංගු අමුද්‍රව්‍ය වල  පවතින ප්‍රමාණය සහ තමන් ශරීරයට ඇතුළු කරගන්නා මාර්ගය අනුව විවිධාකාර වූ ප්‍රථිපල ලබා දෙන්නකි. බොහෝ ආයුර්වේද වට්ටෝරු සඳහා කංසා යොදාගන්නා බවද නොරහසකි. එහෙත් ඔබ Cannabis යන වචනය යොදා පබ්මෙඩ් වැනි සංචිතයක් පරීක්ෂා කර බැලුවහොත්, කංසා වල ඇති ඖෂධීය වටිනාකම යන්න තවමත් ඇත්තේ පරීක්ෂණ මට්ටමේ බව ඔබට වැටහෙනු ඇත. ඇමෙරිකාවේ පවා බොහෝ ජනපද වල ඖෂධීය කංසා භාවිතය නීති ගත කොට ඇති බව සත්‍යකි. එහෙත්, කැනබිස්, මරිජුවානා හෙවත් කංසා යනු, සම්මත පනතකට යටත්ව, ඇමෙරිකානු ඖෂධ බලාත්මක පාලක මණ්ඩලය මගින්,  උපලේඛණ අංක 1 යටතේ ලැයිස්තු ගත කර ඇති ද්‍රව්‍යකි. මෙම අංක 1 ට ඇතුලත් ද්‍රව්‍ය යනු, අයතා භාවිතය සඳහා විශාල නැඹුරුවක් ඇති,  රෝග නිවාරණ පරිහරණය සඳහා ස්ථාපිත කර නොමැති  සහ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය යටතේ හෝ පාවිච්චියට ආරක්ෂාකාරී නොමැති ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. කංසා සමඟ මෙම අංක 1 වර්ගයට ඇතුලත් වන්නේ හෙරොයින් සහ අනිකුත් මානසික මුළාවට පත්කරවන  (Hallucinogens)  මත්ද්‍රව්‍ය බව අප සැලකිල්ලට ගත යුතු කරුණකි. 

Tetrahydrocannabinol (THC) යනු කංසා වල මනසට බලපෑම් කරන (Phsycoactive) ක්‍රියාකාරී මුලද්‍රව්‍යයයි. අමන්දානන්දයට පත් වීම (ඉහල ආවේගය සහ සතුට මුසු හැඟීමක් - euphoria), යමක් අවබෝධයෙන් ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව, කෑම රුචියේ සහ මතකයේ ඇති වෙනස්කම්, යන සියල්ලම කංසා මගින් ඇති කරන මානසික සංකුලතා වලට ඇතුලත්ය. පර්යේෂණ වලට අනුව මෙම THC යන සංඝටකය ක්‍රියාත්මක වන්නේ අප ශරීරයේ එන්ඩෝකැනබිනොයිඩ් යන  සංඥා පද්ධතියේ ඇති ග්‍රාහක හරහාය. මෙම සංඥා පද්ධතිය විසින්, හදවතේ  බිත්ති වල සහ රුධිර නාල වල ඇතුළතින්ම පවතින තුනී සෛල ස්ථරයෙහි ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ආහාර ජීර්ණය, සහ  ප්‍රදාහය  ඇතුළු බොහෝ ක්‍රියාවලීන් පාලනය කරනු ලබයි. දැනට සොයාගෙන ඇති දත්ත අනුව, THC සංඝටකයෙහි මූලිකම ඉලක්කය වන්නේ ස්නායු පද්ධතියයි. මොළයේ සහ සුෂුම්නාවේ ස්නායු,  සුෂුම්නාවේ සිට අත් පා දක්වා විහිදෙන ස්නායු, සහ පෙනහළු, හදවත, උදර කුහරය,  ආහාර මාර්ගය, මුත්‍රාශය සහ ලිංගික අවයව දක්වා විහිදෙන ස්නායු යන මෙම සියලු ස්නායු පද්ධති මෙයට ඇතුලත්ය. කංසා භාවිතා කරන පළමු පැය ඇතුළත හදවත ගැහෙනා වේගය ඉහල යන බව පරීක්ෂණ වලින් ඔප්පු කර ඇත. කංසා භාවිතා කරන්නන්ට සිද්ධියක ඇති දත්ත විශ්ලේෂණය සහ සියුම් දත්ත මතක තබා ගැනීමේ හැකියාව අඩුය. එමෙන්ම ඔවුහු තමාගේ මතකයේ ව්‍යාජ දත්ත ගබඩා කරගැනීමට සමත්ය. නමුත් ඔවුන්ගේ, යමක් හඳුනා ගැනීමේ හැකියාවට කංසා මගින් බලපෑමක් නොකරයි. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ, යම් අපරාධයක සාක්ෂි කරුවෙක් ලෙස, කංසා භාවිතා කර සිටි පුද්ගලයෙකුගේ සාක්ෂියෙහි ඇති නිරවද්‍ය භාවය පිලිබදව අවබෝධයක් ලබා ගැනීමටය.  


කංසා ඇබ්බැහිය නිසා අරමුණක් නොමැතිව ඔහේ පාවෙන ජීවිත බොහෝ සේ මා  දැක ඇත්තෙමි. ඔවුන් බොහෝ කුසීතය. ජීවිත වලට අරමුණක් නොමැත. මනෝ ව්‍යාධියෙන් පෙලෙන්නෝ වෙති. එහෙයින් ආනන්දයෙන් ප්‍රඥාව ලබා ගැනීමේදී ඇති වන ඇබ්බැහි වීමේ භයානක කම අපේ මහාචාර්ය තුමා නොදන්නවා විය හැකිය. 

මේ ලිපියේ අරමුණ කංසා ගැන විශ්ලේෂණය කිරීම නොවේ. ඔබ මුහුණු පොතේ ඔහේ අලවා තබන, කොහේ හෝ ඇහැ ගැටෙන කරුණු, අන් අයගේ සොයා ගැනීම්, එසේත් නැති නම් වෛද්‍යවරයෙක් තමාට දෙන බෙහෙත් වට්ටෝරුවක ඇති බෙහෙත් මොනවාද යන්න සොයා බැලීමට, අන්තර්ජාලය භාවිතා කිරීමට ඔබව පෙළඹවීමයි. 

මේ අපේ ලංකාවේ හැටිය. ඉතා වටිනා ජීප් රථයකින් බැස එන යුරෝපීය ඇඳුමින් සැරසුණු නෝනා, මහත්තුරුන්, ආචාර්ය, මහාචාර්ය, දොස්තර, ඉංජිනේරු යන ඕනෙම සුදු කොලර වර්ගයක අයෙක් පවසන්නේ පරම සත්‍ය බවක් පිළිගන්නට අපේ රට වැසියෝ කිසි සේත් පසු බට වන්නේ නැත. ඒ සුද්දා දායද කර ගිය වැඩවසම් සමාජ ක්‍රමයේ උරුමයයි. 

මාගේ උගත් මිතුරු මිතුරියන් පවා බොහෝ විට කිසිදු සොයා බැලීමකින් තොරව, කොහෙන් හෝ අහුලා ගන්නා යමක් තමාගේ මුහුණු පොත් ගිණුමේ අලවා තබන අයුරු මා බොහෝ විට දැක ඇත්තෙමි. අප කුඩා කාලයේ මෙන් නොව, අද වෙද්දී මේ ලෝකය බොහෝ කුඩා බව ඔබ දන්නා බව මම දනිමි. එහෙත් ඔබට ඇත්තේ වගකීමක් නොමැති කම පිළබඳ ගැටලුවකි. යම් සිද්ධියක සියුම් දත්ත විශ්ලේෂණය කිරීමට මොළය වෙහෙසීමේ ගැටළුවකි. එසේත් නැතහොත්, කුඩා කල සිටම අසන, දකින දේ සියල්ල එලෙසම පිළිගැනීමට ඇති වූ හුරුවේ ගැටළුවකි. ඔබ නොදන්නා සේ සිටියාට, ඔබ ජීවත් වන සමාජය තුල මිත්‍යාව වැපිරීමට ඉඩ නොදීමට ඔබට ඉතා විශාල වගකීමක් ඇත. අරලියගහ මන්දිරය සහ දියවන්නාව කේන්ද්‍ර කර ලංකාව පුරාම, ඔවුනට මිත්‍යාව වපුරන්නට ඉඩ දී බලා සිටීමේ පල විපාක මේ වෙද්දී ඔබ අප සියලු දෙනාම එක සේ විඳින්නෙමු. ඔබ ඉතා උගත් සහ උසස් යැයි සිතා සිටින සියලුම මිනිසුන්, ඔබ මෙන්ම සාමාන්‍ය ශරීර අවයව සහ පද්ධති වලින් යුතු මිනිසුන්ය. ඔවුන්ගෙන් බොහොමයක් අපගේ ගිරා අධ්‍යාපනයේ ප්‍රථිපල හෙයින්, විටෙක ඔවුන්ට ඔබට තරම්වත් සාමාන්‍ය බුද්ධියක් නොමැත. එසේත් නොමැති ඔවුන් ඇත්තේ මානයෙන් උමතු වී, රුපියල් සත මත තනාගත් ලොවකය. ඔබ ඔවුන් පවසන දෙයකට සවන් දෙන්නෙක් නම්, ඔබේ ඇස සහ කණ හොදින් විවර කරන්න. වෛද්‍යවරයාගේ පටන් ඔබ ගන්නා උපදෙස්, බෙහෙත්, සහ අනෙකුත් කළමනා නැවත විශ්ලේෂණය කරන්නට හුරු වන්න. ඔවුන්ගෙන් පෙරලා ප්‍රශ්න කරන්නට හුරු වන්න. මුහුණු පොතේ හෝ ඔබ පරිහරණය කරන අනෙකුත් සමාජ ජාලයක යමක් අලවා තබන්නට පෙර ඔබ එහි සත්‍ය තාවය පිළබඳ යම් නිගමනයකට එළඹෙන්න. වගකීමක් නොමැති තොරතුරු ප්‍රචාරණයෙන්, ඔබ නිසා තව අයෙකුගේ ජීවිතයට පවා හානියක් සිදු විය හැකිය. යමක් පිලිබඳව නව තොරතුරු සොයා ගැනීමට අන්තර්ජාලය යනු ඉතා හොඳ තෝතැන්නකි. එහෙත් එහි ඇති ව්‍යාජ සහ සත්‍ය තොරතුරු වෙන් වෙන්ව සොයා බැලීමට ඔබට යම් කාලයක් වැය කල යුතු වේ. එමෙන්ම, අන්තර්ජාලය හරහා සිදු වන ව්‍යාජ මුදල් ගණුදෙනු, ලිංගික ගණුදෙනු සහ අනෙකුත් ජාවාරම් වල බිල්ලක් නොවීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය.

ඔබට හමු වන සියල්ලම  විචාරශීලි බුද්ධියකින් විමසීම ඔබ හුරු විය යුතුය. ඔබේ දරු පැටවුනුත් හුරු කල යුතුය. කුසීත මනසකට කිසිදා වෙනසක් ඇති කල නොහැකිය.

මිනිසුන් ඉතා විශ්වාසදායී ලෙස මිත්‍යාව පතුරුවන්නට දක්ෂයෝ වෙති. එහෙයින් අපි ඊළඟ මැතිවරණයේදීත්, වෙනත් වේශයකින් පැමිණෙන, ඉතා පැරණි මිත්‍යාවට නැවතත් රැවටෙමු. ලෝකයම එකම ගම්මානයක් වී තිබියදී, ළිං මැඩියන් සේ ලිඳ තුලම මියැදෙන්නෝ වෙමු. 


WW

Saturday, June 30, 2018

ෆිල්-ටී ගේ ෆිල්ති වීඩියෝව සහ ලාංකීය ලිංගික අසහනය


අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි. සම්පුර්ණ අයිතිය හිමිකරු සතුය


අහම්බෙන් කියැවූ බ්ලොග් ලිපි දෙකක් නිසාවෙන් එය ඔස්සේ වැඩි යමක් ලියා තබන්නට සිතුනි. මගේ මලයාගේ කෙළි පැටවුන්ගේ වයසේ පටන් තාරුණ්‍යට එළඹෙන සියලුම අනාගත පරම්පරාවට එහි වැදගත්කමක් තිබෙන්නට පුළුවන. තවද, එවන් වයස් වල දරුවන් සිටින අපේ පරම්පරාවේ දෙමාපියන්ටද, අනාගතයේ දෙමාපියන් වන්නට සිටින තරුණ පරම්පරාවටද මේ සටහනෙන් යම් ප්‍රයෝජනයක් වනු ඇත.

ඉහත සඳහන් කල පරිදි, මේ ලිපියට ප්‍රස්තුතය වූයේ එරන්දිගේ සහ රස්තියාදුකාරයාගේ බ්ලොගයන් වල පල වූ ලිපි දෙකකි. එරන්දි නගාගේ ලිපිය තුල නෙගටිව් මාකටින් පිළිබඳව සටහන්ව තිබුනත්, එහි ප්‍රස්තුතය පැහැදිලිව අවබෝධ වූයේ රස්තිගේ සටහන කියවීමෙන් පසුවය. ඒ මා හට මේ දිනවල සමාජ ජාලා සමඟ ගනුදෙණු කිරීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බැවිනි.

මේ සියලුම කතන්දර වලට හේතු වූයේ රැප් කලාව මුල් කරගෙන නිපදවූ සංගීතමය වීඩියෝවකි. පැහැදිලි ලෙසම එරන්දිගේ සටහනෙහි ඇති සියලු කරුණු මා එකඟ වන නමුත්, රස්තිගේ සටහනේ ඇති එක් කරුණක් හැර අනික් කිසිදු කරුණක් සමඟ මා කිසි සේත්ම එකඟ නොවෙමි. 

රැප් සංගීතය හෝ ෆිල්-ටී (Fill-T) පිළිබඳව මා දන්නා මෙලෝ හසරක් නැත. නමුත් අසා දැනගත් පරිදි සහ කණට වැටහුනු පරිදි එම මියුසික් වීඩියෝ පටයෙන් දක්වා ඇති ඔහුගේ සංගීත පෙළහර පිළිබඳව මා හට කිසිදු විවාදයක් නොමැත. ඒ සංගීත ශෛලය ලාංකික රැප් ප්‍රිය කරන්නන්  හට රසවත් වනු ඇත. එහෙයින් රස්ති පවසන ලෙසින් ඔහු දක්ෂ රැප් සංගීතවේදියකු විය යුතුය. එහෙත්, කුමන ශෛලයක හෝ වේවා ගීතයක් යනු සංගීතය පමණක් නොවන බව ඔබ මා සියලු දෙනා එකඟ වන කරුණකි. 

මානවයා හෙවත් මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහු තුල පවතින ස්වයං විනය නිසාවෙන්ය. තමන් කවර සංස්කෘතියක, කවර ආගමක් අදහන්නෙකු හෝ නිරාගමියෙකු වූවද ඒ මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහුගේ ස්වයං විනයෙහි මට්ටම අනුවය. අද ඉපදුන ගැහැණු දරුවන් රමණයට සුදුසු යැයි සිතන, හොදින් වැඩුන පුරුෂයෙකුට ඇත්තේ තිරිසන් භාවයෙන් පවා ඔබ්බට ගිය, පාලනයෙන් තොර මනසකි. උසස් හැදියාවක් ඇතැයි විශ්වාස කරන, ශ්‍රී ලාංකීය ජන සමාජයේ බොහෝ දෙනා තම ජීවිත වල විවිධාකාර පැතිකඩයන් වලදී තම ස්වයං විනයෙන් මිදී, තිරිසන් භාවය අභිබවා යන්නෝ වෙති. ලිංගිකත්වය යනු නිරන්තරයෙන්ම එහි පළමු පෙළ ගන්නා අංගයකි.  ෆිල්-ටී ගේ මේ වීඩියෝවෙන් නැවතත් පසක් කර දෙන්නේ ලාංකික ජන සමාජයේ පවතින ලිංගික තිරිසන් භාවය සහ ලිංගික අසහනයයි. 

අප කුඩා කාලයේදී පණ ඇති සහ පණ නැති වශයෙන්, සතුන් සහ ගස් කොළන් වර්ගීකරණය කරන්නට උගත්තෙමු. එසේ උගත්තාවූ පණ ඇති කොටසට අයත් සියලුම සත්වයින් තම වර්ගයා බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලියෙහි නිරත වන බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතු කරුණකි. මානව ලිංගික ලක්ෂණ යටතේ අප සියලු දෙනාගේම ශරීර තුල ප්‍රජනන පද්ධතියක්ද, එයට අනුයුක්ත වූ ලිංගික අවයවද පිහිටා ඇති බවද ඔබ ඉගන ගන්නට ඇත. එයට අමතරව ගැහැණියකට, ඇයගේ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් සහ ඇයගේ ලාලිත්‍ය වෙනුවෙන් උරුම වූ පියයුරු යුවලක්ද ඇති බව, ඔබ සියල්ලෝම මව් කිරි බී ඇති හෙයින් කුඩා කල සිටම දැන සිටින්නට ඇත. එහෙත් ෆිල්-ටී ලාටත් ඒවායෙන් ඔද වැඩෙන යුවතියන්ටත් එය හුදෙක් ලිංගික ආකර්ශණය සඳහා අලවි කල හැකි භාණ්ඩයකි. 

මිනිසාට ලිංගික ආශාවන් ඇති වන්නේ මිනිස් ශරීරයේ ඇති විවිධාකාර හෝමෝන  වල බලපෑම අනුවය. එහෙත්, මිනිසා තම ලිංගික කාර්යය අතිශය පුද්ගලිකව කිරීමට පෙළඹෙන්නේ මානව ලක්ෂණ දියුණු වීමත් සමඟ, ඔහු තමාගේ මනස පාලනය කරගැනීමට එසේත් නොමැති නම් ස්වයං විනයක් ඇති කරගැනීමට උගන්නා නිසාය.

ගැහැණියකගේ පියයුරු වල ප්‍රමාණය ගැන හෝ මිනිසාගේ ලිංගික අවයවන් හෝ ලිංගික ක්‍රියාවලින් පිළිබඳව ව්‍යංග අදහස් ඇති කතන්දර වලින් උද්දාමයට පත්වන ලොව පළමු පෙළේ රට ශ්‍රී ලංකාව විය යුතුය. මා එසේ කියන්නේ මේ තාක් මට හමුවූ ලොව විවිධ ජාතීන් වල මිනිසුන්ට ලිංගිකත්වය යනු ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් නිසාවෙනි. ඇමෙරිකානුවන් තම සහකරුවා සමඟ එකතු වීම අදහස් කරන්නේ "මේකින් ලව්" වචනය භාවිතා කරමිනි. වසර දොළහකට පමණ පෙර මා ඉතා තරුණ අවධියේ කෙන්යාවේ නයිරෝබි නගරයේ වැසිකිළියකට ගිය විට "කොන්ඩම් භාවිතා කරන්නැයි" නිවේදනයක්ද සමඟ එහි උපත් පාලන කොපු තබා තිබුණි. ලෝකයේ බොහෝ රටවල ලිංගික අවශ්‍යතා සහ ලිංගිකත්වය තේමාවන් මූලික කරගත් රතු දිස්ත්‍රික්ක ඇත. තමාගේ කැමැත්ත පරිදි මිනිසුන්ට ඒ කලාපයන්ට ඇතුල් විය හැක. එම රටෙහි හෝ ජනපදයෙහි නීති රීති වලට එකඟව මිනිසුන්ට එහි යාමේ තහනමක් නැත. සියල්ලමට මුල් වන්නේ සිතය. සියල්ලෙන්ම මා අදහස් කරන්නේ ලෝකයේ බහුතරයක් මිනිසුන් අනිකාගේ ලිංගික නිදහසට ගරු කරන බවත් එය ජුගුප්සාජනක අමුතු පන්නයේ දෙයක් ලෙස නොසලකන බවත්ය. 

බහුතරයක් දියුණු රටවල මිනිසුන් මහපාරේ ලිංගිකව හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ ලිංගික අසහනයෙන් හෝ පීඩනයෙන් හෝ කුකුසෙන් පෙළෙන ශ්‍රී ලාංකීය තරුණ සහ වැඩිහිටි පිරිස්ය. ඇමෙරිකාවේ බහුතරයක් දෙමාපියන්, තමා කුඩා දරුවන් ලිංගික අපයෝජන වලින් ගලවාගැනීම පිණිස, කුඩා කල සිටම හැඩ ගස්වති. ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ හෝ ගැහැණු දරුවන්ගේ පියයුරු, තමන්ගේ පෞද්ගලික ප්‍රදේශ බවත් (ප්‍රයිවෙට් පාර්ට්ස්), තමන් හැර පිටස්තර කිසිවෙක්ට ඒවා ඇල්වීමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන්ට වටහා දෙති. මේ දරුවන් යොවුන් වියට පා තබන විට දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් විවෘත සාකච්චා හරහා ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට නිසි පියවර ගනිති. එමෙන්ම පොදු මානව පෙළඹීම අනුව වැඩිවිය පත්වන දරුවන් තම සමකාලීනයන් හරහා සහ අත්දැකීම් හරහා ඔවුන්ගේ ලිංගික දැනුම වර්ධනය කරගනිති. එහෙයින් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය පිලිබඳ කුකුසක් ඔවුන් තුල ඇත්තේ නැත. එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බව, යම්තම වැඩිවිය එළඹෙන ඔවුන් වටහාගන හමාරය. එහෙයින් තම දෙමාපියන් තමා ඉදිරියේ කරන්නා වූ සිප වැළඳගැනීම් ඔවුන්ගේ පවුලේ ස්ථායී භාවයේ සංකේතයක් ලෙසට ඔවුහු අවබෝධ කරගනිති. 

මිනිසුන්ට තමාට රිසි පරිදි ලිංගික කාර්යයේ යෙදිය හැකිය. ලාංකිකයින් වන අපට අපේ ජීවිත කාලයේ කොතනකදී හෝ මේ පිළබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. එහෙයින් හැට විය ඉක්මවූ විවාහක ගැහැණියක් පවා තරුණ පිරිමියෙකුගේ දෙපිට කැපෙන වචනයකින් "හිකිස්" ගා හිනා ගැස්විය හැක. ලාංකීය මිනිසාට ලිංගිකත්වය යනු ඒ සා අමුතු අත්දැකීමකි. ෆිල්-ටී පුන පුනා අපට හඟවන්නේ ඒ කරුණය. ඔහු ලාංකීය සංගීතයේ ලකුණක් වන්නේද එබැවිනි. එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ, "මුව මුක්තාලතා" ගීතයේත්, කේමදාස මාස්ටර්ගේ "හෙමින් සැරේ පියා විදා" ගීතයේත්, අමරදේව මාස්ටර්ගේ "කුමරියක පා සලඹ සැලුනා" ගීතයේත්, වික්ටර් රත්නායකයන්ගේ බොහෝ ගීතවලත් රාගය සහ ලිංගිකත්වය, අතිශය සුන්දර ලෙස වර්ණනා කර තිබුනි. එහෙත් ඒ කිසිදු ගීයක ලිංගික අසහනයේ හෝ ජුගුප්සාවේ ලකුණක් හෝ නොතිබිණි. එහෙයින් ඔවුන්ට ෆිල්-ටී හට සමවන්නට නොහැකි බව මම කණගාටුවෙන් කියමි. 

ලිංගිකත්වය අරුම පුදුම දෙයක් වන ලාංකික ජන සමාජයට, මා කියූ ස්වයං විනයක් නැත. මුහුණු පොතේ ඇති ගැහැණියකගේ පින්තූරයක් දුටු පමණින් සමහරක් තරුණ පිරිස් වලට ඇත්තේ ලිංගික කුතුහලයක් සහ අසහනයක් පමණි. ඔවුන් ඇයගේ පෞද්ගලික ලිංගික ජීවිතය පිළිබඳව කල් තබා නිගමන වලට එළඹෙයි. එතැන් පටන් ඔවුහු පිඹුරුපත් සකසන්නේ ඇයව තමාගේ ලිංගික අසහනයේ ගොදුරක් කරගැනීමටය. සමහරවිටක, පින්තූරද වුවමනා නැත. ගැහැණියක ලියන්නාවූ දෙයක් පවා ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත්ය. ඒ සියල්ලෝම ලිංගිකත්වය යනු අසාමාන්‍ය දෙයක් සේ දකින ඇත්තන්ය. තරුණියක කොට සායක් හෝ කලිසමක් හැඳ, උඩුකය යම් තරමින් නිරාවණය සේ හැඳීම ලාංකික තරුණයින්ට මාස ගණනාවක් ලිංගිකව උද්දාමයට පත්විය හැකි කාරණාවකි. 

එහෙත් සියල්ලෝටම ලිංගික අවයව ඇති බවත්, ඔවුන් සියල්ලෝම රිසි පරිදි ලිංගික කාර්යක නිරතවන බවත් ඇමරිකාවේ හෝ යුරෝපයේ තරුණ, තරුණියන්ට අමුත්තක් නොවේය. උන් තමාට රිසි තරුණයෙකු හෝ තරුණියක සමඟ රැයක් ගෙවා දමති. ඔවුන් එම ලිංගික කාර්යයෙන් සෑහීමකට පත් නොවුවහොත් ඒ සම්බන්ධය ඒ රැයට, හෝ පැයට පමණක් සීමා වේ. අනියම් සම්බන්ධතා ඔවුහු හෙලා දකිති. සොඳුරු පවුල් ජීවිත ගත කරනවුන්ට ඔවුහු ගරු කරති. තමා අතින් නොතේරුම් කමට සිදු වන යම් වැරදි ඇත්නම් ඔවුහු ඒ ගැන පසු තැවෙති. ඔබ සිතා ඉන්නාක් මෙන් දියුණු රටවල බහුරතරයක් තරුණ පිරිස් වගකීමකින් තොරව ලිංගිකව හැසිරෙන්නවුන් නොවේ. ඔබ බටහිර සිනමාව තුල දකින ලිංගිකත්වය යනු හුදෙක් අලෙවි කිරිම පිණිස යොදාගන්නක් මිස,  ඇමෙරිකාවේ ජීවත් තරුණ පිරිස නියෝජයනය කිරීමක් නොවේ.  ඔවුන් වැඩි විය පත් වූ දා පටන්, යම් මුදලක් ඉපයීමේ වගකීම දෙමාපියන් ඔවුන් වෙත පවරන හෙයින් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව උගන්නා අතරම රැකියාවක නිරත වීමයි. ඔවුන්ට ලාංකික දරුවන්ට මෙන් නිදහස් අධ්‍යාපනය නොමැති හෙයින් ඔවුහු ජීවත් වන්නේ, විශාල ණය බරක වගකීමක් දරාගෙනය. මේ බහුතරයක් තරුණ දරුවන් හට ජීවිතය, ලෝකය සහ සමාජය පිළබඳව ඔබව විශ්මයට පත් කරවන පුළුල් දැක්මක් ඇත. ඔවුන් තමාගේ වගකීම් බෙදා ගනිමින්, විවාහයට පෙර බොහෝ කාලයක් තමාගේ සහකරුවන් සමඟ එකට ජීවත් වෙති. එහිදී ඔවුන් තමන්ගේ ලිංගික චර්යාවන් සහ පෞර්ෂ ලක්ෂණ අනිකා සමඟ ගැලපේද යන්න හදාරති.  එය හුදෙක් ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට එහා ගිය විවාහය ගැන සිදු කරන්නාවූ පර්යේෂණයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එහෙත් දෙමාපියන් විසින් පෝෂණය කරනාවූ, රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය හදාරන්නාවූ, බොහෝ ලාංකීය තරුණ පිරිස් වලට ඇති ප්‍රධානම ගැටළුව වන්නේ ලිංගික අසහනය හෝ දේශපාලනයයි. ඔවුන් වැඩිහිටියන් වී සමාජගත වූ විට ෆිල්-ටී ලාත්, සමාජ ජාලා වල ගොදුරු සොයන්නවුනුත් බිහි වීම වැළැක්විය නොහැක. ෆිල්-ටී ලා මේ උඩ ගෙඩි දෙන්නේ එම ලිංගික අසහනයටම බව මම තරයේ කියමි.  

මම මෙසේ කියමි. ෆිල්-ටී ගේ රැපෙහිත්, පියුමි හංසමාලි ගේ පියයුරු වලත් ඇත්තේ සංස්කෘතික ගැටළුවක් නොවේය. ලිංගික කුකුසෙන්, ජුගුප්සාවෙන් සහ පිපාසාවෙන් පෙලෙන  සියලුම ලාංකීය මිනිසුන්ට මේ රැපත්, ගැහැණියකගේ පියයුරු සහ කලවාත්, හෝ සම්පූර්ණ හෙළුවත් ඉතාමත් අමන්දානන්දයට පත් විය හැකි කාරණාය. උන් සියල්ලෝම නොදන්නා කාරණය වන්නේ, උන්ගේ බිරියනට, ස්වාමි පුරුෂයනට, පෙම්වතියනට, පෙම්වතුනට, නැගණියට, මලන්ඩියට හෝ උන්ගේ නෑ සනුහරේටමද ඇත්තේ, ගැහැණුන්ට සහ පිරිමින්ට අනන්‍ය වූ ලිංගික අවයව, පියයුරු සහ ප්‍රජනන පද්ධතියන් බවය. උන් නොදන්නේ, සමස්ථ මානව සංහතියම තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ ලිංගික කාර්යයේ නිරත වන බවය. එයින් තෘප්තිමත් නොවන කල පිටස්තර පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීමට මාන බලන බවය. මේ කිසිවකින් සෑහීමට පත් නොවන්නවුන් තමන්ගේම දරුවන් හෝ සහෝදරයන් හෝ ලිංගේන්ද්රියක් ඇති ඕනෙම සත්වයෙකු සමඟ රමණයේ යෙදීමට සිතන බවය. ෆිල්-ටී ලා  සිදු කරන්නේ ස්වයං විනයෙන් තොර, අසහනකාරී මිනිසුන් උද්දාමයට පත් කිරීමය. ලිංගිකත්වය ඉතා පහත් ලෙස අලවි කර තමනුත්, තමා වටා ඉන්නා අනිකුත් සියල්ලෝමත් ජනප්‍රිය තරු කරවීමය. තමන්ගේ මතය කෙසේ හෝ ජනගත කිරීමය.

දෙමාපියනි, ඔබේ තරුණ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔබ සතු වගකීමකි. එලෙසින්ම මනා ලිංගික සෞඛයකින් යුතු, ලිංගික කුකුසකින් තොර ලිංගිකත්වයට ගරු කරන තරුණ දරුවෙකු සමාජයට බිහි කිරීම ඔබ සතු යුතු කමකි.  ලිංගිකත්වය උලුප්පන වීඩියෝවකින් උද්දාමයට පත් නොවන්නටත්, කලවා පෙනෙන සේ ඇඳුමක් අදින්නාව වූ ගැහැණු දරුවා හෝ ගැහැණියකගේ පියයුරු ලිංගික භාන්ඩයක් කර නොගන්නටත් තරම් විවෘත මනසක් ගොඩ නැංවීමට තරම් ඔබ බුද්ධිමත් වන්න. ලිංගිකත්වය යනු බොහෝ සුන්දර දෙයක් මිසක් ජුගුප්සාජනක දෙයක් නොවන බව ඔබේ දරුවාට වටහා දෙන්න. 


මිනිසුන්ගේ රස වින්දනය එකිනෙකාට වෙනස්ය. එය මම පිළිගනිමි. එහෙත් ෆිල්-ටී ලා, ඉරාජ් ලා උලුප්පන්නේ මිනිසුන්ගේ ලිංගික අහසහනයයි. පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස විඳින්නට නොහැකි බව අපි දනිමු. එය ස්වභාවිකව ඉඳුණු පළතුරක් වෙන්නේද නැත. කිසිම පළතුරක් නැති හෙයින් කාබයිඩ් වලින් පාට වූ පළතුරු ආහාරයට ගැනීමෙන්, ඔබ නොදැනුවත්වම විස ආහාරයට ගත්තා වන්නේය.  ෆිල්-ටී ලාත් කාබයිඩ් ගැසූ පළතුරැය. ලංකාවට ආවේණික නොවන කලාවක්, ඔවුන් දන්නා කුණුහරුප සමඟ මුසු කොට ඔබට රස බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ස්වයං විනයක් රහිත, ගෝත්‍රික ලංකාවාසීහු කුණු රසට වඩා කැමැත්තෝ හෙයින් ෆිල්-ටී ලා ජනප්‍රිය තරු වෙති.  

අනාගත යෞවනයට විමර්ශනශීලි බුද්ධියක් ගොඩ නගාලීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන් වන ඔබ අතය. ඔවුන්ගේ මොළ හාරා, ඔවුන් අසන්නා වූ, දකින්නා වූ  සියලු දෑ පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, විවෘතව සාකච්ඡා කිරීමටත්, ඔබ ඔවුනට අනුබල දිය යුතුය. ඔබට ෆිල්-ටී ලා, ඉරාජ් ලා, අජිත් මුතුකුමාරණ ලා හෝ කේමදාසලා හෝ ඔවුන්ගේ අනුගාමිකයන් බිහි වීම වැළක්විය නොහැක. එහෙත්, ඔවුනගේ හොඳ සහ නරක විචාරශීලි බුද්ධියකින් විනිශ්චය කල හැකි අනාගත පරම්පරාවක් ගොඩ නැගීම ඔබට ඉතා පහසුවෙන් කල හැකිය. 

මේ නවීන සමාජයේ ගෝත්‍රික අදහස් මේවා යැයි කියා සිතන්නාවූ ඔබට මම යමක් කියමි. ගල් යුගයේ මිනිසුන්, වැද්දන් සහ සීගිරි ලලනාවන් පවා විලි වසාගත්තේ යන්තමිනි. සංදේශ කාව්‍ය පුරා ස්ත්‍රී වර්ණනාවන් එමටය. මේ යුගයන් වල ජීවත් වූ මිනිසුන් අදට වඩා ලිංගිකත්වය ගැන අවබෝධයක් සහිතව, එයට ගරු කරමින්, ස්වයං විනයකින් ජීවත් වූ බවට මම විශ්වාස කරමි.  ලිංගික අවයව හැමෝටම පිහිටා ඇති බවත්, ලිංගිකත්වය යනු මානව සංහතියේ අවශ්‍යතාවයක් බව ඔවුන් දැන සිටින්නට ඇත. එසේ නොමැති වූවා නම් ඔවුහු අද මෙන් සම්පූර්ණයෙන්  විලි වසා ගන්නට පෙළඹෙනු ඇත. ඒ දියුණු වූ මානව ලක්ෂණ හරහා, මිනිසාගේ චින්තනය පිරිහීම කිනම් අභාග්‍යක්ද???

දියුණු රටවල ආයතන තුල වචනයෙන් හෝ හැසිරීමෙන් තමාට සිදු වන ලිංගික අපහසුතා වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගත හැකිය. ඒ වෙනුවෙන් බොහෝ ආයතන වලින් අනිවාර්ය වාර්ෂික පුහුණු නිර්දේශ කරනු ලබන්නේය. "උන් නටන්නේ හෙළුවෙන් යැයි" බටහිර සමාජය දෙස බොහෝ අවතක්සේරුවකින් බලන ඔබ, එහි ජීවත් වන ගැහැණු හා මිනිසුන් මෙවන් ස්වයං විනයකට යටත් බව නොදන්නවා වෙන්නට පුළුවන.  තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා පවා ඔවුන්ගේ කැමැත්තකින් තොරව ස්පර්ශ කිරීම පවා මෙම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.  මිනිසුන් යනු පොදු මිනිස් ගති ලක්ෂණ ඇත්තවුන් හෙයින්, ලෝකයේ කොතැනත් හොඳ හෝ නරක දෙවර්ගයේම මිනිසුන් ඇත්තේය. එහෙයින් රටවල් වශයෙන් මිනිසුන් වෙනස් කුලක වලට බෙදිය නොහැක. ඔබ නොදන්නා මහා වෙනස ඇත්තේ එම මිනිසුන් තුල, රටක නීති පද්ධතිය හරහා, කුඩා කල සිටම ගොඩ නැගෙන ස්වයං විනය තුලය.

............................................................................................................
ඔබ සමාජගත කරන්නාවූ අදහසක් ගානේම, ඔබ ඔබේ ඉදිරි පරම්පරාවේ එක් අයෙකුගේ හෝ අනාගතය තීරණය කිරීමට දායක වන්නේය.  

............................................................................................................
ඔවුන්ගේ එකිනෙකට වෙනස් අදහස් හරහා මෙවන් සටහනකට මග පෑදූ "මං එරන්දි" බ්ලොගයටත්, "රස්තියාදුකාරයා" බ්ලොගයටත් මාගේ ස්තුතිය පුද කරමි.



WW