Wednesday, January 18, 2017

ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...

An Image showing  the text "The End"

හදවතෙහි ඇත්තේ විග්‍රහ කල නොහැකි බරකි...ඔහු නික්ම යාමට සැරසෙන බව මා කල් තියාම දැන හුනිමි... එහෙත් මරණ මංචකයේ සිටි ඔහුගේ සුව දුක් බැලීමට මා නොගියෙමි...සියලු වැදගත් ශරීර අවයවන් ඔහුව ප්‍රතික්ෂේප කරන විට, ඔහුටද ජීවත් වීමේ ආශාවක් නොතිබෙන්නට ඇත...ඒ නැතත්, ඔහුට කිසිදාක ජීවිත ආසාවක් තිබුන බවක්, ඔහුගේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් මට හැඟී නැත...

"නංගි, ඔයාට එයාව මතකේ තියන විදියටම හිතේ තියා ගන්න...දැන් ඉන්න විදියට දැක්කොත් හිතට අමාරු වෙයි"

මම ඒ අවවාදයට හිස නමා එකඟ වීමි...අඩි දහයක් දුරින් ඇති ජාතික රෝහලේ දැඩි සත්කාරයේ සිටි ඔහුව නොබලා ආපසු හැරී ආවෙමි...එහෙත් අද ඒ ගැන මා පසු තැවෙමි...ඔහු ගැන මතකයන් පීරමින් අවුරුදු දහ තුනක් ආපස්සට මම ඇවිද යමි...

ඒ දෙදහස් තුන වර්ෂයේ මැද භාගයයි...මා කල යුත්තේ කුමක්දැයි හරි හැටි නොදැන විද්‍යාගාරයේ ඒ මේ අත ඇවිද ගිය කාලයයි...එකල මට ඔහු බොහෝ අද්භූත පුද්ගලයෙකු විය...

ඔහුට තිබුනේ බුරුසු රැවුලකි...ඉතා සිහින් මුදු සහිත කැරළි කොණ්ඩයකි...

"අඩුවෙන් කතා කරන්න...වැඩියෙන් අහන් ඉන්න...ඉහලම සේවකයාගේ ඉඳන් කම්කරුවා වෙනකල්ම එක වගේම මිනිස්සුන්ට ගරු කරන්න...පර්යේෂණ කරද්දී ඒක බොහොම වැදගත්...කෙනෙක්ගේ දෙයක් තව කෙනෙක් එක්ක කියන්නෙපා කවදාවත්ම"

තුන්කාලයටම වටිනා මේ උපදේශය මා එදවස ඉහලින්ම පිළිපැදීමි...විවිධාකාර වූ අමනුෂ්‍ය ගති පැවතුම් ඇති මිනිස් වර්ගයා සමඟ, දේශ දේශාන්තර වල ඔළුව බේරාගෙන ජීවත් වීමට මට අදටද මහෝපකාරී වෙන්නේ මේ ක්‍රමයයි...

මා ඔහුටද අනුගමනය කලේ ඒ පිළිවෙතමය...

අඩුවෙන් කතා කරන ඔහු, අසික්කිත වූද, එහෙත් පියකරු වූද ඒ සිනහව සමඟ බොහෝ විට දොඩමළු වන්නේ කට කැඩුණු කතාවකට පමණය...එසේ නැතහොත් වාමාංශික දේශපාලන කතිකාවකටය...අති බහුශ්‍රුත සාකච්ඡාවක් අවසානයේ, ඔහු සියල්ලෝම ඉච්චා භංගත්වයට පත් වන වචන කිහිපයක් මුමුණා මහ හඬින් සිනා වෙයි...

එකල විසි හතර වියැති මට, ඔහුව පෙනුනේ කිසි දෙයක් මායිම් නොකරන පුද්ගලයෙකු ලෙසය...හැඟීම් විරහිත මිනිසෙකු ලෙසය...එහෙයින්ම, එහි ගත කල පළමු වසර පුරාම මට ඔහු ප්‍රිය ජනක පුද්ගලයෙක් නොවුනි යැයි කිවහොත් වඩා නිවැරදිය...

එහෙත්, එහිදී ආචාර්ය උපාධියකට සම කල නොහැකි ජීවිත හැදෑරීමකට මට ඉඩ හසර ලැබිණි...මා වැඩිහිටියෙකු වූයේ, එකල මැදි විය ආසන්නයේ සිටි, විවිධාකාර ගති පැවතුම් ඇති, ඔවුහු ඇසුරේ කීම වඩාත් නිවැරදිය...කල් ගත වෙත්ම, ඔහු ඇතුළු සියල්ලන්ම වෙන් වෙන්ව කියවීමට මම හුරු වූයෙමි...

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල හයරාකියේ අඩුවක් නැත...රටේ සංස්කෘතික රාමුව නිමවී ඇත්තේ ඇස් බැල්මෙන් පවා ලිංගික උත්තේජනය ලබන මිනිසුන් සමූහයකිනි...එවන් වටපිටාවක, තරුණ යුවතියක්, වැඩිහිටි පිරිමි කාර්ය මණ්ඩලයක් සමඟ, රැයක් දවාලක් නොසලකා විද්‍යාත්මක පර්යේෂණ කිරීම යනු අතුරේ යෑමකි...මා අනුමාන කරන අන්දමට එවන් ගැටළු දියුණු රටවල පවා ඇත්තේය...

පසුගිය දිනක විශ්ව විද්‍යාල අචාර්ය වරයෙකු විසින්ම රචනා කර තිබූ ගීතයේ හරය එයට හොඳම නිදසුනකි...නොකී කතා බ්ලොගයේ ඒ ගැන අපූරු සටහනක්ද තබා තිබිණ...


පර්යේෂණ ආරම්භ කල පසු නිබන්ධනය ලියා අවසාන කිරීම හැර අනිකුත් විකල්පයක් නැත්තේමය...තාරුණ්‍යයේ අගනාම කාලය විද්‍යාගාරයකට සිර කර තබන්නේ, ජීවිතයේ ඉදිරි සැලසුම් සියල්ලේම පදනම එය මත තැබූවන්ය...නේක වර්ගයේ අඩම්, තේට්ටම්, හිත් රිදවීම්, මානසික පීඩා සියල්ල විඳ දරාගෙන මහා පරිමාණ කට්ටක් කා, ඒ සෙනසුරු ඒරාෂ්ටකය ගෙවා දැමිය යුතු බව, එහි වග තුග දන්නෝ, දනිති...   

එහෙත් අපෙන් නික්ම ගිය ඔහු ඇතුලු, ඒ සියල්ලෝම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්වරු වූහ...එය මෙහි ලියා තබන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල, තවමත් එවැනි මහත්වරුන් සහ වන්දනීය වූ ආචාර්ය වරුන් සිටින බව ඔබ සැමගේම දැනගැනීම පිණිසය...

අනේක වූ පෘතග්ජන සිතුවිලි ඇත්තෙකු වූවද, ස්ත්‍රියකට ගරු කරන සම්ප්‍රදාය දන්නා මහත්මයකු වූ හෙයින් කල් ගත වත්ම මම ඔහුටද එලෙසින්ම ගරු කරන්නට පුරුදු වුනෙමි...මා අප්‍රිය යැයි සිතන ඔහුගේ සිතිවිලි පසෙක ලා, ඔහුගේ ඇති ගුණ කියවන්නට මම හුරු වීමි...

එහි ගත කල වසර හත පුරාවටම, මගේ පර්යේෂණ සඳහා දායක වීමට, කිසිදාක ඔහු අදිමදි කල වගක් මට සිහියට නගා ගත නොහැක...මදුරුවාගේ සිට වානරයා තෙක්ම සත්වයින් සමඟ හරඹ කල එම පර්යේෂණ වලදී, ඔහුගෙන් මම බොහෝ සියුම් දෑ උගත්තෙමි...

දුෂ්කර වූ පර්යේෂණ කටයුත්තක කොටසක් සඳහා කොළඹින් පිට යමුදැයි ඇසූ විට ඔහු මට බැහැයි කීවේ නැත...මම අදද ඒ වෙනුවෙන් ඔහුට ගෞරව කරමි...එතෙක් කලක් අප වෙනුවෙන් ඒ රාජකාරිය කල උදව් කරුවන්, එදා නොමැති වූ හේතුව මට අද පැහැදිලිව මතකයේ නොමැත...එහෙත් මා එදා හිතින් බොහෝ අසරණ වූ බවක් පමණක් මට මතක ඇත...

මා ආචාර්ය උපාධිය ලබා ගත්තද, ඔහුට ඒ වෙනුවට ලැබුනේ දීමනාවක් පමණි...එවන් දුෂ්කර කාර්යයන් ඔහුගේ රාජකාරි ලයිස්තුවේ නොතිබුන බවද මා හොඳින්ම දනිමි...එහෙත් ඔහු ඇතුළු කිසිදු සගයෙකු මා හට ආඩපාලි නොකීහ...කිසිදු අල්ලසක් නොඉල්ලූහ...කොරහේත් කිඹුල්ලු දකිනා, ගෞරවනීය රජයේ සේවකයින් වූ ඒ තාක්ෂණික නිලධාරි මහත්වරුන් සහ අනෙකුත් සේවකයින් සියලු දෙනාම මට එදා වචනයකින් හෝ හිත නොරිදවීම සම්බන්ධයෙන් අදටද මා ඔවුනට ණය ගැතිය...


ඒ අවසන් පර්යේෂණයේ ඉතාම තීරණාත්මක දවසක් විය...එදා මගේ සීයාගේ මෘත දේහය නිවසේ තැන්පත් කර තිබුණි...මා කතා කරගැනීමට පවා නොහැකිව අසනීප වී තිබුණි...ඒ සියල්ලම අතරේ මා විද්‍යාගාරයේ සිටිය යුතු විය...එදා රාත්‍රිය වෙන තෙක්ම ඔහු, ඔහුගේ රාජකාරිය කළේය...අසනීපයෙන් සිටි මා කලේ, ඔහු දුන් දත්ත සටහන් කර ගැනීම පමණි...එදා අනෙකුත් සගයෝද මගේ සහායට සිටි බව කිව යුතුමය...

මගේ ස්තුතිය වෙනදා මෙන්ම ඔහු නිහඬ සිනාවකින් මග හැරියේය...ඒ අප එකට කල අවසන් පර්යේෂණයයි...

පර්යේෂණ වලට ලැබුන සම්මාන සහතික වල පිටපත් ඔහුට ලබා දෙන විට ඔහු සමච්චලයෙන් සිනාසුනේය...ඔහුගේ හැටි එහෙමය...සම්මාන ගැන හෝ පර්යේෂණ ගැන ඔහුට වගක් නොවීය...සම හරක් ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ පර්යේෂණ වල ඇති පුස්ස, එකල මටත් වඩා හොඳින් දැන සිටි ඔහු, එසේ සිතීම අරුමයක් නොවේය...

ඔහු මැදි වයස පසු කරමින් සිටියදී, උන් හිටි ගමන් මධ්‍යම කඳුකරයෙන් බිරිඳක කැන්දාන ආවේය...ඇය සමාජය හා ගැටී නැති කුටුම්බ්ගත ස්ත්‍රියකි...නාගරික සමාජය තුල ඇගේ ක්‍රියාකාරිත්වය බොහෝ සීමා සහිත විය...වසර ගණනාවක් අවෑමෙන් වුව, එය අදද එසේම බව ඔහුගේ සගයෝ පවසති...

ඔහුගේ හුරතල් පුතු ඉපදුන දා අප සියල්ලෝම දරුවා බලන්නට ගියා මට මතකය...එහෙත් අප මිත්‍රයාගේ මුහුණේ නිරන්තරයෙන් ඇඳෙන සමච්චල් හිනාවට වඩා යමක් මට එදාද පෙනුනේ නැත...

මා නිබන්ධනය ලියන කාලයේදී ඔහු රෝගී වීම ඇරඹිණි...එක් වකුගඩුවක් අක්‍රියව තිබියදීද, ඔහුගේ සමච්චල් සිනහවේ කිසිදු අඩුවක් නොතිබිණි...හිතේ අමාරුව තිබුනේ රෝහලේ සිටි ඔහුට නොව, ලෙඩා බලන්නට ගිය අපටය...

කාලාන්තරයක් තිස්සේ වියළි කලාපයේ සේවය කොට එහිදී හටගත් මුත්‍රා ගල් වලට, ඔහු ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කර ඇත්තේ හිතු මනාපේටය...නියම කාලසටහනකින් තොරව ප්‍රතිජීවක පාවිච්චි කරන විට විෂබීජ ඒවාට එදිරි වෙයි...ඒ නැතහොත් ප්‍රතිරෝධී වීම ඇරඹේ...අප මිත්‍රයාගේ වකුගඩුව ආසාදනය වී තිබුනේ සියලුම ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය දක්වමිනි...එහෙයින් අවසානයේ ඒ වකුගඩුව ඉවත් කිරීමට තීරණය විය...

මා උපාධිය නිම කර, ලංකාව හැර ආවේ ඒ කතන්දරයේ මැද භාගයේදීය...

එහෙත් කිසිවක් මායිම් නොකරන ඔහු, අක්‍රිය වූ වකුගඩුව ඉවත් කර නොතිබිණි...

ඔහුව මට අවසන් වතාවට හමුවූයේ දෙදහස් පහළොව වර්ෂයේ මැද මා නිවාඩුවට ලංකාවට ගිය වතාවේදීය...කේක් කැබැල්ලක් කමින් ඔහු මට කිවූ කට කැඩිච්ච වචන දෙක තුන මට අද මතක නැත...එහෙත් එහි තිබුනේ සමච්චලය පමණක්ම බව මට ඉඳුරාම කිව හැක...

මෙදා පාර වට මේසයේ කේක් කන්නට ඔහු සිටියේ නැත...ඔහු අප අංශයෙන් වෙනත් අංශයකට මාරු වී ගොස්, එතැනින් නොනැවතී අවසන් ගමනට සැරසෙන බව පමණක් මට අසන්නට ලැබුනි...

"කොම්ප්ලිකෙෂන්ෂ් ගොඩයි...බ්‍රේන් ක්ලොට් එකක්...හිමොග්ලොබින් වැඩියි...හාර්ට් එකේ ඉජෙක්ෂන් ෆැක්ටර් එක 30% වගේ..."

අප කිසිදා නොදැන සිටි තරම් ඔහු සිගරට් පානය කල බවක්ද, අඩුවක් නොමැතිව මත්පැනින් සප්පායම් වූ බවක්ද ඔහුගේ සගයෙක් මට කියා සිටියේය...

"මට ඌව තේරුම් ගන්න බෑ...ඉස්සර සයිට් එකේ ඉන්න කාලේ අහල පහල ගෙවල් වල ළමයින්ට උන්නු හිටි ගමන් ටොෆි, චොකලට් ගිහින් දෙනවා"

එසේ කල ඔහුගේ දරු පැටව් දෙදෙනාගේ අනාගතය ගැන, ඔහුට නොහිතුනේ ඇයි?

"අපිට පුළුවන් දෙයක් කරමු...දැන් එයාට සිහි කල්පනාව මදි...හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කගෙන ගියා...අයි ඩී එක කරෙන් ගලවල දෙන්න වගේ හදනවා...සාක්කුවට අතදාල මොනවද ගන්න වගේ හදනවා, මාව දැක්කම..."

ඒ මා පසුගිය නත්තලේ, ලංකාවෙන් පිටව ඒමට පෙර ඔහුගේ තත්වයයි...එදා මට වේදනාවක් දැනුනේ ඔහු පිළිබඳව නොව, වගකීමකින් තොරව ඔහු මෙලොව අතරමං කර යන්නට තතනන දරු දෙදෙනා ගැනයි...

එකෙක් දෙන්නෙක් හැරුනකොට බොහෝ දෙනෙකුට ඔහු ගැන දුකක් නොතිබිණ...ජීවිතය ගැන වගකීමකින් ක්‍රියා නොකරන බහුතරයක් මිනිසුන් ගැන කිසිවෙක් දුක් වෙන්නේ නැත...

දෙදහස් දහසය අවුරුද්දේ, අවසාන දවසේ ඔහු නික්ම ගොස් තිබිණි...

අවුරුදු පනස් හතකින් ඔහු ජීවිතය විඳ අවසන් කළේය...අවුරුදු දහයක් වන් තම වැඩිමහල් පුතණුවන්ට ජීවිතය විඳවන්නට ඉතිරි කර ගියේය...හයක් හතරක් නොදන්නා පොඩි පුතණුවන්ට හුස්මක් ගන්නටවත් ඉතිරි නොකරම ඔහු යන්නට ගියේය...විශ්‍රාම වැටුප් නොමැතිව, අරමුදල් සියල්ලම ණය වලට හිලව් කර ඔහු බොහෝ සැනසිල්ලේ යන්නට ගියේය...

අවසානයට පහල වන චිත්තක්ෂණ කෝටියක් මැද ඔහුට සුපුරුදු සමච්චල් සිනහව ඔහුට කිසිසේත්ම අමතක නොවන්නට ඇත...

උපන්නාට ජීවත් වන්නවුන්, තවත් ජීවින් මෙලොවට බිහි කල යුතු නැත...අප යැපෙන්නන් බිහි කල පසු, අප කන බොන දෑ ගැන පවා වගකීමක් අපට ඇත...ඒ සඳහා මෙය කියවන ඔබ එකඟ වෙනවාදැයි නොදනිමි...එහෙත් හයක් හතරක් නොදන්නා දරු පැටවුන්ගේ භාරකාරීත්වය, වාසනාවට හෝ කාලයට පවරා අපට හිතුමතේ කා බී විනෝදෙන් සිටිය නොහැක...එසේ කල හැක්කේ ඔබ ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කොට ඇත්නම් පමණි...

.........................................................................................................................................

මගේ ආදරණීය මිත්‍රයා...

මගේ වෘත්තිමය ගමන්මග තුල, ඔබ ඉටු කල රාජකාරිය, ඔබට බොහෝ සුළු වෙන්නට ඇත...විටක ඔබට මා පිස්සෙකු ලෙස පෙනෙන්නටද ඇත...

එහෙත් ඔබේ ශ්‍රම දායකත්වය නිසා මා අද සුවසේ වෙසෙමි...එදා විද්‍යාගාරයේ මෙලෝ හසරක් නොදැන, එහෙ මෙහේ ගිය කෙසඟ යුවතියට ජීවිතය ජය ගැනීමට, ඔබ දුන් දායකත්වය මිල කල නොහැක...එතැනින් පිටවූ මා වැනි බොහෝ දෙනෙකුට ඔබ එසේ කරන්නට ඇත...

ඔබ සතුව එදා තිබුණ විශේෂ ප්‍රාගුන්‍ය ගැන ඔබට හැඟීමක් නොතිබෙන්නට ඇත...කිසිවෙක් ඔබේ සේවය ඇගයීමට ලක් කලේද නැත...එහෙත් විදේශයකදී, ඒ විශේෂ ප්‍රාගුන්‍ය පැය දෙක තුනකදී ඩොලර් පන්සියකට අලවි වන බව ඔබ දැනගත්තා නම්, ඔබට තමන් ගැන යන්තමින් හෝ අගයක් දැනෙනු ඇත... 

නැවත අප හමු නොවෙනු ඇත...එහෙත් ඔබ සුවිශේෂ මිනිසෙකු ලෙස මා හදවතේ රැඳෙනු ඇත...

ඔබට සුබ ගමන්...එහෙත්, ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...

........................................................................................................................................




31 comments:

  1. his minisun jeewathva sitiyadee sath purushayange nikma yaama vedana denawa wadi..

    ara geethaya ganath yamak kiwa yuthui.mage mawpiyan depalama sarasavi aduro.geeya liyu nandasiri mamath ownge hithavathek.owun nirantharaye katha karana deyak thama sarasavi adurange depa allala vadina sisuviyanta anisi balapam karana durjanayange akatayuthu nathara yuthui kiyana eka.me geeya ehi prathipalayak.anagathayedee sarasavi manavikavanta mehema gee kiyannata nolabenu pinisa kala karyayak.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...හොඳ මිනිස්සු ඉක්මනටම යන්න යනවා...ඒත් මිනිස්සු තව කෙනෙක්ගේ හොඳ දකින එක සාපේක්ෂ දෙයක්...

      ඒ ගීතය බොහොම නිර්භීතව ලියපු ගීතයක්...එවන් ගීතයක් ලියවෙන්න අදහස් එකතු කල ඔබේ දෙමාපියන් ඇතුළු සියලුම අදුරුතුමන්ලාට ස්තුති වන්ත විය යුතුයි...

      අපි ප්‍රර්ථනා කරමු අනාගතය සුබ දායක වෙන්න කියලා...

      Delete
  2. Replies
    1. ජීවිතේ හැටි තමයි...

      Delete
  3. හිතට දැනෙනුයේ කියා ගන්න බැරි මහ දුකකි... ඒ මම මෙවන් චරිත මා ද දන්නා නිසාය...... හැමදාමත් වගේ අක්කි ලියන්නේ මට ලියන්නට ඕනෑ , ලියාගන්නට නොදන්නා මගේම කතාය....

    ReplyDelete
    Replies
    1. මෙහෙම චරිත අපි අතරේ ඉන්නවා නගා...එයාලව තේරුම් ගන්න අමාරුයි...මගේ ජිවිතේ ගොඩක් දේවල් හදාරපු, වෙනස් කරපු සංධිස්තානයකදී ඇසුරු කරපු කෙනෙක් ඒ...හිතේ වේදනාව වැඩියි ඒ නිසා...

      Delete
  4. නම මොකද්ද? එයාට උපහාරයක් වෙයි නමත් දැම්මනම්

    ReplyDelete
    Replies
    1. නම දාන එක සුදුසු නැහැ රෝමා...මේ සටහනේ තියෙන්නේ මගේ පුද්ගලික අදහසක්...අද ඔහු ජිවතුන් අතර නැහැ...ඔහුගේ පවුලේ කෙනෙකුගේ අවසරයකින් තොරව එහෙම ලියන එක සදාචාරාත්මක නැහැ කියලයි මං හිතන්නේ...

      Delete
  5. //කොම්ප්ලිකෙෂන්ෂ් ගොඩයි// මට හිතුනේ ඔහුගේ චරිතයත් ඒ වගේ කියලයි.. ඒ විශේෂ මහත්මයාගේ නම මෙහි කොහෙවත් සඳහන් කර නෑ නේද? නැත්නම් මට එය මඟ හැරුනද? ඔහුගේ චරිතයෙන් හා ඔබගේ සටහනෙන් මාත් යමක් උකහා ගත්තා.. ඔබට ස්තුතියි! ඔහුට සුභ ගමන්!!!

    ReplyDelete
    Replies
    1. පිටතින් සරල වගේ පෙනුනට ටිකත් කම්ප්ලිකේටඩ් චරිතයක්...කමිත් එක්ක එකඟයි...

      නම වුමනාවෙන්ම සඳහන් කලේ නැහැ...ඔහු විශේෂ වෙන්නේ අප කිහිප දෙනෙකුට පමණක් වෙන්න පුළුවන්...බොහෝ දෙනෙකුට ඔහු කිසි වගකීමක් නැති මිනිසෙක්...මං කිව්වා වගේ, ඔහුගේ හොඳ පමණයි මා දකින්න හුරු වුනේ...

      බොහොම ස්තුතියි කමි...

      Delete
  6. හ්ම්ම්ම් දුක හිතෙන කතාවක්... කොහොමත් හොද මිනිස්සු තමා ඉක්මනටම පිටත් වෙන්නේ ඒ නන්නාදුනන මනුස්සකමට යන තැනක හොදක් වෙන්න කියලා මමත් පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සොඳුරු...නැවත ආපස්සට මතක් කරද්දී හිතට ලොකු වේදනාවක් දැනුනා...තව කාලයක් ජිවත් විය යුතු මිනිසෙක්...

      බොහොම ස්තුතියි...

      Delete
  7. ඔබේ ලිපියට අනුව ඔහු සරළ සුන්දර පුද්ගලයෙක් බවයි හැගෙන්නේ. ඔහුට සුභ ගමන්.
    ( ඔහු හා ඔහුගේ යැපෙන්නන් පිළිබඳව ඔබේ අදහසට එකගයි)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සරලයි වගේ පිටින් පෙනුනට විග්‍රහ කල නොහැකි යමක් ඔහුගේ චරිතය තුල තිබුනා දුමි...ඔහු නිතරම සමච්චලයෙන් වසා ගන්නට හැදුවේ ඒ දේ වෙන්න පුළුවන්...

      බොහොම ස්තුතියි...

      Delete
  8. ///////උපන්නාට ජීවත් වන්නවුන්, තවත් ජීවින් මෙලොවට බිහි කල යුතු නැත...අප යැපෙන්නන් බිහි කල පසු, අප කන බොන දෑ ගැන පවා වගකීමක් අපට ඇත...ඒ සඳහා මෙය කියවන ඔබ එකඟ වෙනවාදැයි නොදනිමි...එහෙත් හයක් හතරක් නොදන්නා දරු පැටවුන්ගේ භාරකාරීත්වය, වාසනාවට හෝ කාලයට පවරා අපට හිතුමතේ කා බී විනෝදෙන් සිටිය නොහැක...එසේ කල හැක්කේ ඔබ ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කොට ඇත්නම් පමණි.../////////

    හරියටම හරි පොකුරු. මම එකඟයි. ඒත් මට මෙ වගේ අමුතු මිනිසුන් ගැන මතකයන් තියෙනවා. ඒ සමහරුන් විවාහ නොවී සිටියා නම් හොඳයි කියා සිතුන වෙලාවන්ද තිබෙනවා. නමුත් ඒ ඔහු. ඔහු ගැන සිතන සහ ලියන ඔබට වඩා, ඔහු පිලිබඳව නිවැරදිවම දන්නේ ඔහු පමනයි. සමහරක් චරිත සහ ගති පැවතුම් අප සිතන තරම් ෆ්ලැට් චරිත නොවේ. ඒ තුල නොයෙකුත් රටා තියෙනවා. ඒ රටා රසවිඳින්නේ ඔවුන්ම පමනයි.

    ඔහුගේ කවුද යැයි නොකියා සිටීම වඩා සුදුසු දෝ යැයි කියා මට සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ හරි අරුණ..ඔහු ජීවිතය වින්දා...ඔහුටම ආවේනික විදියකට...ඒ ගැන කතා දෙකක් නැහැ...

      නමුත් අර කොලු පැටවූ දෙන්නා, උන්ගේ අනාගතේ...මමයි මල්ලියි ඒ සපත්තුවේ ඉඳල තියනවා, තාත්ත අසනීප වෙලා, පවුලක් නඩත්තු කරපු ඒ ජිවිතේ බොහොම තිත්තයි...ඒ වගේ දෙයක් තවත් දරුවන්ට වෙද්දී හිතට පුදුම වේදනාවක් දැනෙනවා...තමන්ගේ රටාව කොහොම වින්දත් අපේ ඕනෙකමට ලෝකෙට එන දරු පැටව්, උන්ගේ ජීවිතේට යන කලක් ගැනත් නිකමට හරි හිතන්න ඕනේ...

      ඔව් අරුණ, නම සඳහන් කරන්නේ නැහැ මම...දැනටත් ඔහුගේ දරුවෝ වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ ආධාර එකතු කරනවා...නඩුවක් පටලා ගන්නේ නැතුව, ලබන අවුරුද්දෙත් එහෙට ගොඩ වෙලා එන්න එපයි :)

      Delete
    2. මතක් උනු නිසා ලියා යන්නම් මුහුණු පොතේ දුටු වීඩියෝවක දුටු දේ විදෙස් රටක වයස 10 ක විතර පුතෙකුට පියා කියනවා ඊට කලින් දින රාත්‍රියේ දරුවාගේ මව මත්කුඩු ප්‍රමාණය වැඩි වීමෙන් මිය ගිය බව. ඔහු කතා කලේ නැ වෛරයෙන් තරහෙන් .. හිතේ දුකට කියා තමන්ගේ මව ගැන තරහක් ඇති වෙන්න නෙමේ ඒ පියා කතා කලේ..තේරුන් ගැනීමක් ඇතිවන විදිහටයි ඔහ්යු කතා කලේ... මම හිතන්නේ අපත් එසේ කතා කල හැකි තැනට යා යුතුයි මිනිසුන් විදිහට එකිනෙකාගෙ ජීවිත වල සංකිර්ණ බව වටහාගෙන සාමකාමි ලොවක් හදන්න නම් සහ දැනුවත් වීම තුලින් එවන් සිදුවිම් අඩු කරගන්න නම්.

      සමාජයේ වැරදි මතයක් වේදනාවට/බලාපොරොත්තු කඩවිම් වලදි ආවේගශීලිව වැඩ කිරිම සාමාන්‍ය දෙයක් ලෙස සිතීම. එය ඒ පුද්ගලයාගෙ දුර්වල කමක් ලෙස නිවැරදි විය යුතුයි ඉදිරියක් දැකීමට නම්...එකඟ වීම/නොවීම ඒ ඒ පුද්ගලයා සතු ජීවිත දැනුම තීරණය කරාවි..

      Delete
    3. අඳුරෙන් ආලෝකයට, ඔබ සමඟ එකඟයි...අපි ආසියාතිකයෝ අපේ හදවතේ ඇති අදහස් ප්‍රකාශ කරන්නේ බොහොම අඩුවෙන්...තමන්ගේ හැඟීම් පැහැදිලිව සහ සදාචාරාත්මක ලෙස වචන වලට පෙරලන්න අපහසුතාවයක් අපට තියනවා...අහන බලන කෙනා මොනවා හිතයිදෝ කියල මිනිස්සු තමන්ගේ නියම හිතිවිලි හංගනවා...

      මම මේ රටට කැමති හේතුවත් ඒකයි...මෙහෙ කෙලින් කතා කරලා, තමන්ගේ හිතේ තියන දේ නොකිව්වොත්, අවාසිය අපිටමයි...

      Delete
    4. Call me Aloka, Agree with you about straight talking and outcome.

      Delete
  9. පොකුරු, ඔබ ලියා ඇති පරිදි හැඟි යන්නේ ඔහුගේ ජීවන රටාව කිසිවෙකුට ඔහු සඟවා නැති බවයි.. ඉතින් වෙලා තියෙන්නේ ඔහු අවට සිටි කිසිවකුත් ඔහුගේ නියම විදිහ වටහා නොගැනීම.. වටහා ගැනීමට තරම් කාලයක් වෙන් නොකිරිම , කවුරුන් හෝ හිටියා නම් ඔහුගේ ඇතුලු හදට එබී බලන්න ඔහුගේ අවසන් ගමන මෙසේ ලියන්නට ඔබට ඉඩක් ලැබෙන එකක් නැ පොකුරු..

    අපේ සමාජයේ ගොඩක් අයට ඒ වගේ කෙනෙක්ගේ ඇතුලට එබිකම් කර ඒ පුද්ගලයා දැවෙන ගින්න වටහා ගන්න මිඩංඟු කරන්න කාලයක් නැ.. හැබැයි විවේචනයට කාලය ඕන තරම්.. ඔහු සමහරක් විට විවාහ වන්නට ඇත්තේද එසේ ඔහුගේ ඇතුලත හඳුනා ගනීවි යන බලාපොරොත්තුවෙන් වෙන්නත් ඇති... ඒ ඇත්ත දන්නේ ඔහුම පමණයි...නිහඬතාවය තුල බොහෝ දේ සැඟවී ඇති බව ජීවිත ගඟ ගලා මරණයට කිට්ටු වෙද්දි ඔබටත් වැටහේවී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට මේ පැත්තට ගොඩ වැදිලා වටිනා අදහසක් ලියා තැබුවාට...

      ඔහුගේ ජිවන රටාව බොහොම විනිවිද පෙනුන දෙයක්...එකඟයි ඔබත් එක්ක...නමුත් ඔහු හැසිරුනේ කිසිවක් මායිම් නොකරන ගානට...එහෙම අයගේ ජිවිත වලට කිට්ටු වෙන්න තරම් සොඳුරු වටපිටාවක් ඔවුන් මවන්නේ නැහැ ඇත්තෙන්ම...එයාල තව කෙනෙකුට ලං වෙන්න ඉඩක් තියන්නෙත් නැහැ...මා මේ සටහන ලිව්වේ අනික් කිසිවෙක් නොදකින කෝණයකින් ඔහු දිහා බලලා...ඔහුත් එක්ක මා වැඩ කටයුතු කලේ ඔහුගේ වගකීමක් නැති ස්වභාවය අවබෝධ කරගෙන...මා ඔහු සමඟ කරුණාවෙන් කටයුතු කල නිසා ඔහුත් ඒ විදියටම මා එක්ක වැඩ කලා...මා හිතන්නේ ඔහු මිනිස්සුන්ගේ හිස් බව, විශේෂයෙන් විශ්ව විද්‍යාල පද්දතිය ඇතුලේ තියන බොරු ආටෝප වල හිස් බව හොඳින් දැනගෙන හිටපු කෙනෙක්...මමත් සම්මතයෙන් එහාට හිතන කෙනෙක් නිසයි ඔහු ගැන මෙහෙම සටහනක් ලියන්නේ...

      ඔහු ප්‍රේමය ඇති වෙන්න විඳපු කෙනෙක් මා අසා ඇති විදියට...ඒ හැමතැනම වගකීමක් නැති බවයි පිටින් බැලුවාම ප්‍රකට වෙන්නේ...

      කොහොම උනත් පිටතට නොපෙන්වන හැඟීම් ඕනෙම කෙනෙකුට තියෙන්න පුළුවන්...සමාජයට ඒවා තේරුම් ගන්න කාලයක් නැහැ..එකඟයි...නමුත් ඔය නිහඬ මිනිසුන්ගේ ජිවිත වලට එබිකම් කරන්න ගිහින්, තමන්ගේ ජීවිතය විහින් අඳුරට දාගත්තු අයත් ඉන්නවා...මිනිහෙක් නිහඬ වෙන්නත් හේතුවක් තියනවා...සමහර වෙලාවට එහෙම අයට සාමාන්‍ය සාමාජෙට මුහු වෙන්න අමාරුයි, මොකද එයාලට තියෙන්නේ වෙනස්, යුනික් ජිවිත දැක්මක්...ඔහුටත් එහෙම අදහස් තිබුනා...අමුතු අදහස්...

      මරණයට කිට්ටු වෙන්න කලින් බොහොම තරුණ වයසේදී මා ඒ දේ තේරුම් ගත්තා...මා බොහෝ විට මිනිසුන් කියවන කෙනෙක්...එකිනෙකට වෙනස් පුද්ගලයෝ එක්ක නිතර වැඩ කරද්දී, සමහර රාජකාරී විශ්වාසය මත බොහොම පදනම් වෙද්දී, හැම මිනිහෙකුගම ඇතුලාන්තය කියවල බොහොම සීරුවට වැඩ නොකරොත්, මේ සමාජේ ජිවත් වෙන්න අමාරුයි...

      Delete
    2. පොකුරු ඔබේ මේ කොමෙටුවේ සමහර තැන් ඔබේ පෝසට් එකට වඩා පරිණත සමබර බවක් මම දැක්කා..ඔබ කියා ඇති පරිදිම මෙවන් අමුතු නිහඬ කිසිවක් මායිම් නොකරන අයට ලඟා වීම සාමාන්‍ය කෙනෙකුට කල නොහැකක් බැවින් ඔහුගේ වටපිටාවේ ඉන්නා අයට ඔහුගෙන් වු/වෙන අකටයුතුකම්/ ආසාධාරණකම් කතා කිරිමත් කල නොහැක්කක්.. කල හැකි උදව්වක් විනා එසේ ඔහුගේ ජීවන රටාව විවේචනය කිරිමෙන් ඒ අයට ලැබෙන්නේ කුමක් ද....එසේම හරිහැටි ඔහුගේ ඇතුලාන්තය නොදැන ඒ ගැන කතා කිරිමෙන් කිසිවෙකුට ගත හැකි දෙයක් නැතැයි කියාද සිතේ...

      Delete
    3. බොහොම ස්තුතියි ඔබට...

      ඇත්තෙන්ම ඔබගේ අදහස නිසයි එහෙම අදහස් දැක්වීමකට මග පෑදුනේ...මොකද මා මේ සටහන ලිව්වේ ඔහුව මතකයට එද්දී මට ඇති වුන වේදනාව නිසා...මා ඔහු ඇතුළු සැමගේද උදව් ඇතුව උපාධිය නිමා කරලා උසස් තත්වයක රැකියාවක් කරද්දී, ඔහුගේම දරුවන් හව්හරණක් නැතුව අසරණ වෙලා...ඒක බොහොම වේදනාකාරී හැඟීමක්....

      උදව් කිරීම පැත්තක තියෙද්දී අපේ මිනිස්සු වැඩියෙන් කරන්නේ විවේචනය කරන එකනේ...

      Delete
    4. ලොකු සතුටක් ඔබට එසේ මා කල අදහස් දැක්වීම දිහා බලන්න හැකි වීම පුද්ගලිකව නොගෙන...

      මා කියවා තියනවා දරුවන් සහ වැඩිහිටියන් කීපදෙනෙකුගේ ජීවිත කතා දෙමාපියන් අකාලයේ මියගිය.. ඔවුන් වෛර/කලකිරී ඇත්තේ ඇත්තටම ඔවුන්ට දෙමාපියන්ගෙන් වුනු දේවල් වලට නොව සමාජයෙන් කෙරුනු විවේචන හරහා මවාගත් වැරදි අඩු පාඩු වලට.. ඒ නිසා අපිට පරිස්සමින් අපේ හැඟිම් පිට කරන්න වෙනවා එවැනි දරුවන් සම්බන්ධයෙන්..නැතිනම් උදව් කිරිමේ චේතනාවෙන් අප කර ඇත්තේද අර දරුවන් කබලෙන් ලිපට ඇද දැමීමක්....

      ඔබ කියනවා වගේ දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර සිටින දරුවන් පවා අපහසුකම් වලට මුහුණ දෙන තැන් වලත් ගොඩක් දෙනෙක් කරන්නේ විවේචන.

      Delete
  10. බොහොම සංවේදී සටහනක් පොකුරු, ඔබට ස්තූතියි...

    මෙලොව උපන් ඕනෑම කෙනෙකුට තමන් කැමති පරිදි තම ජීවිතය ගෙනයාමට සම්පූර්ණ නිදහස තිබිය යුතුයි. ඒත් ඒ අන් අයගේ ජීවිතවලට බලපෑම් නොකිරීම යන කොන්දේසියට යටත්වය. ජීවිතය පිළිබඳ මගේ දර්ශනය එයයි.

    ඔබ විස්තර කරන මේ පුද්ගලයා ගෙවා ඇත්තේ ඔහුට රිසි පරිදි බොහීමියන් ජීවිතයක්. ඒ ඔහුගෙ කැමැත්ත. එහෙත් ඔහු ජීවිතයේ අවසාන සමයේ විවාහයකට එළඹීම වරදක් කියලයි මට හිතෙන්නෙ. එයින් ඔහු කලේ අසරණ කාන්තාවක සහ දරු දෙදෙනෙක් මෙලොව තනි කිරීමයි.

    එහෙත් සමහරවිට ඔහු එසේ කල හේතුව නොදැන අප නිගමන වලට එළඹීම සාධාරණ නැතිවෙන්නත් පුලුවන්...

    ඔබගේ ඉතාම සංවේදී සටහනට ආයෙමත් ස්තූතියි පොකුරු.........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී...

      ඇත්ත, අපි කැමති විදියකට ජිවත් වෙන අතරම, තව කාටවත් එයින් බලපෑමක් නොවිය යුතුයි..

      ඔව් ඔහු විවාහ වෙන්න තීරණය කරන්න හේතුවක් මා දන්නේ නැහැ...ඔහුට ඒ ගැන මොකක් හරි මතයක් තියෙන්න ඇති...ඒ වුනත් අර දරුවෝ...එතන තමයි ගැටලුව...

      Delete
  11. එක වගේ ලෝකයෙන් අයින්වෙලා තමන්ගේ ෆැන්ටසියක ජීවත්වීම එච්චරම දරුණු වැරද්දක්ද? මගේ කවමදාවත් හැබෑ නොවන හීනයත් ඒකයි. අම්මා හිටියේ නැත්තන් මම හීනේ ගොඩක් දුර ගිහින්. මේ කතාවේදී මොහුගේ අතින් වුන ලොකුම වැරද්ද තමයි විවාහය. මේ වගේ මනුස්සයෙක්ට කුටුම්භහයක් අයිතිවෙන්න ඕනේ නෑ.ඒක ඒ ජිවීතේට ගැලපෙන්නෙත් නෑ. ජීවිතේ ගන්න තීරණ කවුරුනිසාවත් වෙනස්වෙන්න ඕනේ නෑ කියන එක මම ගොඩක් අදහන දෙයක්. හැබැයි ඒ තීරණ නිසා තව කෙනෙක්ගේ ජීවිතේට බලපෑමක් වෙනවනම් දෙපාරක්, තුන්පාරක් ඒ තීරණය ගැන හිතන්නම ඕනේ. කාටවත් එහෙමට කියලා බලපෑමක් නැත්තන් පොල්ලෙන් ගැහුවා වගේ තීරණේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ජීවිතේ හරි සරලයි.....

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ...තමන්ට කැමති ෆැන්ටසියක ජීවත් වෙන්න පුළුවන්...හැබැයි තව කෙනෙකුට අසාධාරණයක් නොකර...කෙනෙක්ට පුළුවන් තමන්ගේ ෆැන්ටසිය ගත කරන ගමන්, ලෝකෙට යහපත් දෙයක් කරලා, තමන්ගේ පවුලේ අයවත් සතුටින් තියන්න ක්‍රමයක් හොයා ගන්න...මේ මං වගේ...අපේ මිත්‍රයාටත් ඒක කරන්න තිබුනා...එහෙම කරන අය ඉන්නවා...

      මල්ලි ඔය පොල්ලෙන් ගහනවා වගේ තීරණ අරන් ජිවත් වෙන්න, ඉව කියනඑක තියෙන්න ඕනේ...එහෙම වුනොත් මොන වගේ තීරණයක් අරන් කොහොම ෆැන්ටසියක උන්නත් ජීවිතේ පැටලෙන්නෙත් නැහැ...අම්ම, තාත්ත කිව්වත් තමන්ගේ හිත එකට එකඟ නැත්නම් ඒ දේ කරලා පලක් නැහැ...දක්ෂ කම කියන්නේ තමන්ට ඕනේ දේ හරියට කරලා අනිත් මිනිස්සුන්ටත් ඒ තීරණේ නිවැරදියි කියල අවබෝධ වෙන තැනට වැඩේ කරන එක...එහෙම කරන්න හොඳ හිතේ හය්යක් තියෙන්න ඕනේ...නැතිනම් ඔක්කොම ෆැන්ටසි එක රැයෙන් කුඩු වෙනවා...

      බොහොම ස්තුතියි මල්ලි අදහසට...

      Delete
  12. ශරීරයේ නිස්සාර බව වටහා ගත්ත කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. ඒවගේම මනසින් ඉහල තත්ත්වයක හිටපු කෙනෙක්. ඔහුගේ සමාජීය සහ පෞද්ගලික මානසික කාර්‍යභාරය පමණක් ඉටුකරපු කෙනෙක්. ඔවුන් ගේ දරුවන් අනික් අය ගැන තැකීමක් ඔවුන්ට ඇතිවන්නේ නැහැ. ඔහුගේ කිසි වරදක් දකින්නේ නැහැ. දරුවන් ගැන හේතු ඵල වාදය අනුව පමණක් සිතිය යුතුයි. මේවගේ අය ඔබ මම නිවැරදි කියා සිතන ජීවන ක්‍රමයට අනුගත වන්නේ නැහැ. ඔහු නිවැරදියි කියා හිතන විදිහට පමණයි ඔවුන් ජීවත් වන්නේ. මෙවන් පුද්ගලයෙක් ඇසුරු කිරීමට ලැබුණු ඔබ වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඉයන් බොහොම ස්තුතියි අදහසට...

      මට හරියටම කියන්න අමාරුයි ඉයන්...මෙතන මම උලුප්පල තියෙන්නේ ඔහුගේ හොඳ පමණයි...ඔබ තව කෙනෙකුගෙන් ඇහුවොත් මිට වඩා වෙනස්ම දෙයක් අහන්න පුළුවන් වෙයි...ඔහුට නරකක් කලොත් ඔහු ඒකට ගැලපෙන ප්‍රතිචාර ලබා දෙන කෙනෙක්...

      දෙයක් ගැන ගැඹුරු දර්ශනයක් තිබුන කියල හිතන්න අමාරුයි...නමුත් ඔහුට ලෝකය ගැන, මිනිස්සු ගැන හොඳ අවබොධයක් තිබුනා...සමාජෙන් ඉගන ගත්තු දේවල...කාටවත් කරදරයක් කල කෙනෙක් නෙවෙයි...

      නමුත් ඉයන් එතන තියෙන්නේ වාසනාවට වඩා අපි කෙනෙක් එක්ක වැඩ කරන විදිය...අපි කෙනෙක් ඇසුරු කරන විදියට තමයි ඒ කෙනාගේ හොඳ හෝ නරක මතුවෙන්නේ...

      Delete
  13. පොකුරු මට හිතෙන දේවල් ඔක්කොම වගේ උද කොමෙන්ටු වල ලියල තියන නිසා වැඩිය මුකුත් ලියන්නේ නැහැ. ඇත්තටම එහෙම අය ඉන්නවා නේද? ඔබ මේ ලියපු දේ සදා කාලයක් අන්තර්ජාලයේ රැඳී තිබීමම ඔහුට උපහාරයක් වෙයි.

    ReplyDelete