Saturday, January 14, 2017

ඉංජිනේරු අක්කාගෙන් වේටර් මල්ලීට...


ඉඳුල් වතුර වලට ඇහැකි 
පතොක් ගහක මල් අනින්න 
අට්ටි ගහන පිඟන් මැදින් 
හීන උඹේ ගොඩ ගහන්න 
අප්පච්චී උඩින් ඉඳන් 
කිව්වෙම උඹ බලාගන්න 
ඒත් උඹට ඕනෙ උනේ 
මලක් වගේ මං රකින්න...

උඹේ හිනා වෙන ඇස් වල 
මගේ හීන පැල කරන්න 
උඹේ හීන සේරම ටික 
කාසි වලට දිය කරන්න 
දැන් ඒ ඇති මට ඕනෙම 
හඳ ලඟින්ම උඹ තියන්න 
අපි දෙන්නා දෙතැන තියා 
ලෝකෙට බෑ කරකැවෙන්න...

වැලි කැටේට පුළුවනි නම් 
බෙල්ලෙකුගෙන් මුතු හදන්න 
උඹේ හිතට පුළුවන් වෙයි 
ඉඳුලෙන් මසවුළු හදන්න 
බලා උන්නෙ හුඟක් කලක් 
කවියක් උඹ ගැන ලියන්න 
මං තියාපු ලකුණු උඩින් 
මල්ලියෙ අඩි තියල එන්න... 


18 comments:

  1. පොකුරුගේ කවියක් එනකම් බලං හිටියේ. අපූරුයි. කවිය කියවන් එද්දී "උඹට එක කවක් ලියන්න" කියන තැන තාලෙට ගැලපෙන්නේ නැති බවක් දැනෙනවා පොකුරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දුමී...ඒ වගේම අදහසටත් ගොඩක් ස්තුතියි...මේක කලින් ලියපු කවියක්, මං එතැන වෙනස් කරන්න උන්නේ, ඒත් අමතක වුනා...වෙනස් කලා එතැන...

      ජය වේවා ...

      Delete
    2. හ්ම්. දැන් තාලෙ හරි, පොකුරු. ස්තූතියි මේ වගේ රහ කවි හැමදාමත් ලියනවට.
      අර " මුබාරක්" ගේ කවිය ආයිත් ලියන්න. ඒ කවියට ගොඩක් කැමතියි.

      ජයවේවා!!!

      Delete
    3. බොහොම ස්තුතියි දුමි...

      මුබාරක් ගැන පුංචි සටහනක් එක්කම කවිය පල කරන්නම් දුමි...

      Delete
  2. මෙන්න බොලේ කවි......දාපං පහක් පොකුරු...හෙහ්,හෙහ්

    උඹ එනකල් මම ඉන්නං කඳු මුදුනේ මඟ බලාන,
    ඉතිං වරෙං හැකි විගහට මමත් එනව බං කියාන,

    කාලෙකින් කියවපු අපූරුම නිර්මාණයක්...මොන එකක්ද මන්දා මට මතක් වුනේ රුවන් බන්දුජීවගෙ කවියක්…

    තුංග උතුවන් කන්ද පාමුල කෝපි මල් අහුරක් තියා,
    මම්මලේ මට ඇහෙනවා බං ඉකිබිඳින හඬ මේනකා,

    ReplyDelete
    Replies
    1. ඔන්න පහක් රවී...බොහොම ස්තුතියි ඇගයීමට...

      රුවන් ගේ මේ කවිය මං ආසාම කවියක්...මොන හේතුවක් වුනත් ඒ කවියත් මතක හිටින කවියක්...

      Delete
  3. ඉඳුල් සුවඳ පිරි දෑත මගේ
    අතාරින්න නං එපා අක්කේ....!!
    :)

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට බොහොම ස්තුතියි...

      Delete
  4. ඔන්න මමත් මේ පැත්තට ආවා... අපූරු පද පොකුරු.. සුබ පැතුම් ඔයාට

    ReplyDelete
  5. මල්ලිටත් ඒ පාරම පෙන්වන එක වටිනවා ඉංජිනේරු අක්කෙ.
    රහයි........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රොමා...

      මං නම් ඉතින් ඉංජිනේරු අක්කෙක් නෙවේ...කොහොම උනත් අක්ක කෙනෙක් මල්ලි කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වන එක වටිනවා...

      Delete
  6. රස ඉස්තරම්... ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට...ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඇගයීමට...

      Delete
  7. ගොඩ කාලෙකින් අක්කෙ... මේ ඔයා එදා කියපු මල්ලිට කියපු කවියක් නේද...


    හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැතුව පොඩි ගැටළුවක් තිබුන නංගි සින්ඩි වල...

      ඔයා කියන්නේ කලින් බ්ලොග් පොස්ට් එකක් ගැනද...මේ නම් හිතට ආපු සිතුවිල්ලකින් කරපු නිර්මාණයක්...

      බොහොම ස්තුතියි නංගා...

      Delete
  8. පොකුරු...... ලස්සන කවියක්...අක්කා කෙනෙක්ගේ අහිංසක ප්‍රාර්ථනාවක්. මෙහෙම මල්ලිලාත් ඉන්නවා.....මෙහෙම අක්කලාත් ඉන්නවා. මටත් අක්කෙක් හිටියා නම් කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණ...

      අක්කලා මල්ලිලා අතර තියන බැඳීම බොහොම බලගතුයි...

      Delete