Wednesday, August 17, 2016

ප්‍රේමය, විරහව, තනිකම මැවූ ගී සොළොස....

ඉයන්ගේ අඩවියෙන් ඇරඹුන සුන්දර ගීත රැල්ලට හසු නොවුනා නම් ඒක ලොකු අඩුවක් හිතට...

ජීවිතේට බැඳුනු ගීත බොහොමයක්, මං මගේ කරගෙන විඳින ගීත...බොහෝ විට ඒවායේ පද මාලාවට තමයි මුලින්ම මගේ හිත බැඳෙන්නේ...නමුත් බොහෝ විට පද මාලාව රහ වූ පමණින්, ගීතයට වහ වැටෙන්නේ නැහැ...අපිට නොදැනුනාට, ඒ බොහෝ ගීත වල රස රඳා පවතින්නේ, එක්කෝ සංගීතය, නැතිනම් තනුව...සමහර වෙලාවට හුදෙක් ගායකයාගේ ඇති සංවේදී හඬ පෞරෂය පමණක්ම වෙන්නත් පුළුවන්...සමහර වෙලාවට කිසිම රහක් නැති පද පෙළකට, සුන්දර තනුවක් ලැබිලා වෙන්නත් පුළුවන්...

මං බොහෝ ප්‍රිය කරන ගීත එක්කාසුවෙන්, මගේ හිත එකිනෙකට වෙනස් විදියට අවුලන ගීත දහසයක් තෝරා ගත්තා...ඒවා මට බැඳුනේ මෙහෙමයි කියල පැහැදිළිව කියන්න තරම් නිමිති ඒ එකටවත් නැහැ...

මට හිතුනම දුක් වෙන්නත්, හිතුනම සතුටු වෙන්නත්, ඔය දෙකෙන් එක හැඟීමක් වත් නැතුව, ඔහේ සිවිලිම දිහාවේ බලාගෙන ඉන්නත් පුළුවන් කෙනෙක්...("මනෝ ගහනවා" කිව්වේ ඒකට නේද)...ඒ හන්ද මේ එකතුවේ ඇති ඕනෙම ගීතයක්, මගේ කරගෙන සුසුම් හෙලන්නත්, හිනාවෙන්නත් මට පුළුවනි...ඒ හන්දම තමයි කවදාවත් විඳපු නැති අත්දැකීම් මගේ කරගෙන මං නිර්මාණ කරන්නෙත්...

අපේ අටම් මල්ලි මේ දහසයට ඇතුලත්ව තිබිය යුතු  මේ භවයේදී මුළු දියදායේ ගීය සහ ඇස රැඳුන රැඳුන තැන් වල ගීය ඔහුගේ බ්ලොගයේ අමුණලා තිබුනා...ඒ වගේම, හංසි නගා ත්, මගේ ප්‍රියතම ගීයක් වන ඔබ මා හමු වුන ඉර හඳ යට ගීතය ඇයගේ ගීත එකතුවට ඇතුලත් කර තිබුනා...



මේ තමයි ඉන් පස්සේ මා තේරූ ගීත එක්කාසුව...



හදවත නැති මිනිසා ඔබ...නෙත කඳුළැලි ගෙනාව...




මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

එක්ටැම් ගෙයි සිරගත කර
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ‍රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න





ලෝබ නෑ හිත අහිමි දා අද...මමත් දැන් මට හිමි නැති...






කොහේ හෝ නුඹ නතර වී,
කාට හෝ ජීවිතය දී..
තුටින් නම් මට ඒ ඇති..
මගේ නොවුනට කම් නැති,
නුඹ, මගේ නොවුනට කම් නැති...

උන්න දා අපි අපේ වී නුඹ,
දුන්නු සෙනෙහස අරුමැති..
ලෝබ නෑ හිත අහිමි දා අද,
මමත් දැන් මට හිමි නැති...

නුඹ ළගත් මතකය ඇති..
නමුදු අපි වෙන්වී ඇති..
එපා රිදවුම් ගන්න දිවියට,
අපිට හිමි ජීවිත ඇති...

සංගීතය : දර්ශන වික්‍රමතුංග 
පද රචනය : ශාමිලා හුසේන්



ඔබ වරකි හද පෙලන්නේ...මා දහස් වර තැවෙන්නේ 




ඔබ තරමට මා හැඬවූ.. 
ඔබ තරමට මා නැලවූ.. 
වෙන කෙනෙකු නොමැත දියතේ 
රස හැඟුම් පෙලට පණදී 
ජීවන නාලිය පරිදී 
පෙර වෙලී සිටියෙ සුරතේ....

කරුවල කුටියක තනිවී 
කල්පනා ලොවක මැදිවී 
කිම දෙනෙත් පියා ඉන්නේ..... 
ඔබ වරකි හද පෙලන්නේ 
මා දහස් වර තැවෙන්නේ 
සියොලඟම සලිත වන්නේ.....

අප මතක යට ගියාවේ 
සුව සමය තවම සිහිවේ 
අමතක කරන්න හැකිදෝ.... 
අප ආ මඟ ඇති මනරම් 
සිහිවටන මැකිය හැකි නම් 
එය මට කියන්න බැරිදෝ....

ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා 




මගේ තනියට මා පමණයි....කඳුළු දෙන්න මට හඬන්න...



කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසළ වන්න...

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ජයරත්න ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ



යළි කවදාවත් හමු නොවනා බව...මඳ පවනක් හිස අතගා කීවද...අදහා ගන්නට නොහැකිය කිසිදින...



ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්



අප හමුවූයේ මන්දැයි නොදනිමි...පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...


මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක​ගෙනි
පාර අසා තිබුණේ...

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩ මානය...
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය 

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි


සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න 






ඔබත් මුලාවිය මමත් මුලාවුනි...ඉමක් කොනක් නැති මාවතේ



ගමන් මගක් තිබුනාද මේ
ප්‍රේම චාරිකාවේ
ගිමන්හලක් හමුවීද මේ
ප්‍රේම චාරිකාවේ

නෙතින් ගැලූ කඳුලින් මිදෙන්නට
හිතේ සුසුම් ගිණිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත්මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුනි
ඉමක් කොනක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ

ගායනය : රෝහණ වීරසිංහ




වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්...කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ...


ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...

ගායනය : අමරසිරි පීරිස් / මැණික් ජයසේකර
පද රචනය : හේමසිරි ගුණතුංග
සංගීතය : රෝහණ වීරසිංහ




බලා අවසර සොයා කල් දැන..වෙළා හස රැහැනින්...පෙළයි මා මුදා සුව දැහැනින්....


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්

උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්

පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
ගායනය - සුනිල් එදිරිසිංහ



උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා...මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා....



ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා....

ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : දර්ශන රුවන් දිසානායක 
පද රචනය : අමිල තේනුවර 



11. දකින්න ආසයි හිමිදිරිය වගේ...

එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි...





දකින්න ආසයි හිමිදිරිය වගේ
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
බලන්න ආසයි හඳ එළිය වගේ
ඉඹින්න ආසයි මල් සුවඳ වගේ

ඇස් දෙක කරනා පෙම් කතා
දැක අහල පහල අය ලැජ්ජ වෙලා
මුහුණ පුරා නැඟුණු පෙම් සිනා
දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා

වරද ‍කළේ ඔබ‍ ම නොවේ ඔබේ ඇස් දෙකයි
බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි
මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි
එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්




මේ නිරතුරුවම මා වශී කරවන ගීතයක්...


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා 
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා

ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත් 
ඔබ ළඟ නැවතිලා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - අමරසේන කංකානම්ගේ



පීඩිත වී සිටිනා සඳ අඳුරේ...ඔබ පමණයි ගෙන ආවේ හසරැල්...



දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්...

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලුන්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුළැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

පවසට පල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගමි දොලකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්


ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන




ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි...කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි....



සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි 




කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී...දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී...

ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ...ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...


සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ...

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද - සුනිල් ආරියරත්න





සඳ නිළියේ ඔබ නම්...සැණකෙළියයි මගෙ නම්...කවියන් ගේ දෑසේ රස සීමා පණිනා...

එකෝමත් එක කාලෙක මෙහෙම කියපු කවියොත් උන්නලු...

පොඩි පරහකට හිටියේ සැණකෙළියක් වුන එක තමයි...

සැණකෙළියට එන්නේ විනෝද වෙලා ආපහු යන්න මිසක, නවතින්න නෙවේනේ...



සුහදිනියේ සඟවන් 
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා...

සඳ නිළියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා...

සිහිනෙන් රෑ අවුදින් 
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා...


වාත්තු කර ඇති දේහ තලාවට 
හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට 
සාන්තුවර සිත හීදැල්වෙයි
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා 
වල්මත් කළ අරුමැසියයි මෙලොවේ...


වීණා බද වට කැරකෙන වරලස 
අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ 
මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත 
අවතැන් කළ එකම ළඳයි මෙලොවේ...

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සිහිනෙන් රෑ අවුදින් 
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා...


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ




47 comments:

  1. බලාගෙන යනකොට අපි හැමෝම කැමති ගීත මේවා. මේ ලිස්ට් එක නිසා මගෙ ලිස්ට් එකෙන් එක ගීතයක් ගලවලා දාන්නත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මං බ්ලොග් දෙක තුනක් බලලා තීරණය කළා තව කල් දම්මොත් මගේ ලිස්ට් එකේ ගීත සියල්ලම අයින් කරන්න වෙනවා කියල...අපි හැමෝම කලාව විඳින නිසා බොහෝ විට රසඥතාවය එක මට්ටමේ තියෙන්නේ...ඒ නිසා මම නිදි වරාගෙන පෝස්ට් එක දැම්ම...ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කසුන් මල්ලියේ...

      Delete
  2. ඇත්තටම සොදුරු ගී ටිකක්. ඔය අතරේ 6, 8, 10 සහ 15 ට මගේ මනාපේ.
    ජයවේවා!!!

    ReplyDelete
  3. ඔන්න සිංදු ටික දැකල මගේ කමෙන්ටුව ..ටිකක් විතර දිගයි :D

    කොහේ හෝ නුඹ නතර වී සිංදුව අදයි අහන්නෙ

    ඇය යන්න ගියා මැකිලා සිංදුව එක්කම මට මතක් වෙන සිංදුවක් තමයි අමරසිරි පීරිස් මහත්මයාගේම 'ඔබ ආයෙමත් ඇවිදින් ..හිත හදාගත්තා විතරමයි ..ඔබ ආයෙමත් ඇවිදින් " හරියට .. ඇය යන්න ගියා කියන සිංදුවේ දෙවෙනි කොටස වගේ :)

    හිත හෙමිහිට රිද්දවන ගීත අතරෙ තියන එක ගීයක් .. " මං මුළාවී "
    මං ඒකෙ ආසම මේ කොටසට

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයෙ අඩ මානය...
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය


    ගමන් මගක් තිබුනාද මේ සිංදුව ඔන්න කාලෙකින් ආයෙම අහන්න මතක් උනා :) :)

    මං මේ සිංදුවෙන් සිංදුවට මගේ කමෙන්ටුව ලියන්නෙ ..මේ ඊළඟ සිංදුව දැක්කම දැනුන සතුට (ස්නේහයේ නගරයයි සිත මගේ) ^_^ ...ඒක හරිම ලස්සන සිංදුවක් ..පද රචනය හරිම අපුරුයි

    'දකින්න ආසයි හිමිදිරිය වගේ' සිංදුවත් කලින් අහල නැහැනෙ.

    සුහදිනියේ සිංදුව එක්ක අහම්බෙන් මතක් උන සිංදුවක් පොකුරුට දෙන්නම්. අහල නැතිව නටාෂා පෙරේරා කියන මේ සිංදුව
    https://www.youtube.com/watch?v=pjZHW9qnTMY


    4,5,6,7,8,9,10,1,2,13,15 ඔන්න මම ආස සිංදු ටික :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසි...දිග කමෙන්ටු ලිව්වට කමක් නෑ, විභාගේ වැඩ අතපසු කරගන්නෙපා :)

      "කොහේ නුඹ නතර වී" පහුගිය මාර්තුවේ අන්තිම සතියේ දවසක මගේ ඇහැ ගැටුනේ මුහුණු පොතෙන්...එදා ඉඳන් එය මගේ ප්‍රියතම ගීයක් උනා...

      මං මුලා වී ගීතය ජිවිතේ එක්තරා කාලයක බොහෝ සෙයින් හිත රිද්දපු ගීයක්...ඔයා උපුටා ගත් කොටසටම තමයි මමත් වැඩිපුරම කැමති...

      දකින්න ආසයි හිමිදිරිය වගේ ගීය මුලින්ම ඇහුවේ මම 2006 දී...ඒ උනත් එය වැඩිය ප්‍රසිද්ධ වූ ගීයක් නෙවේ...

      මේ යූ බටේ තියන සිංදුව කලින් අහල නෑ...නිවාඩුව අහල බලන්න ඕනේ...

      දිගම කමෙන්ටුව බොහොම සුන්දරයි...බොහොම ස්තුතියි නැවතත්...

      Delete
    2. තව එකක් කියන්න අමතක වුනා, ඇත්තම කිව්වොතින් මට ඕනේ වුනේ "ඔබ ආයෙමත් ඇවිදින්" ගීය ඇතුලත් කරන්න...ගීත දෙක පැටලුනා මට...දෙකටම එක වගේ කැමති නිසා...පොස්ට් කලාට පස්සේ තමයි ඒක මතක් වුනේ...ලෝකේ හතර අතේ ඉඳල එකට එක්කාසු වෙන ඈයොන්ගේ රස වින්දනය කොයි තරම් සමානද කියල හිතුනා ඔයාගේ කමෙන්ටුව දැක්කම...

      Delete
  4. බොහොම ස්තූතියි පොකුරු. ඔබගේ ලිස්ට් එක දකින කොට මගේ ලිස්ට් එක කොයි තරම් අසම්පූර්ණද කියලා හිතුනා. 2,6, 9 මගෙත් ප්‍රියතම ඒවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්...ඔබ නිසයි මෙහෙම මතකයන් අවුස්සන්න හැකි වුනේ...ඊයේ දවස බොහොම වැඩ තිබුන දවසක්...ඒත් රාත්‍රියේ බ්ලොග් වල සරිසරුවම තමයි තීරණය කලේ, මගේ ගීත එකතුවත් එකතු කරන්න ඕනේ කියල ඊයේ දවසෙම...පැය දෙක තුනක් ගියත් වෙහෙසක් නොදැනුනේ ගීතය කියන්නේ සිත් නිවාලන දෙයක් නිසා...ඒ නිසා ඔබට නැවතත් ස්තුතියි...

      Delete
  5. කොහේ හෝ නුඹ නතර වී,
    කාට හෝ ජීවිතය දී..
    තුටින් නම් මට ඒ ඇති..
    මගේ නොවුනට කම් නැති,
    නුඹ, මගේ නොවුනට කම් නැති...

    උන්න දා අපි අපේ වී නුඹ,
    දුන්නු සෙනෙහස අරුමැති..
    ලෝබ නෑ හිත අහිමි දා අද,
    මමත් දැන් මට හිමි නැති...

    නුඹ ළගත් මතකය ඇති..
    නමුදු අපි වෙන්වී ඇති..
    එපා රිදවුම් ගන්න දිවියට,
    අපිට හිමි ජීවිත ඇති...

    මටම ලිව්ව එකක් ((((:

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ලිව්වොත් හොඳ නැද්ද ඉයන් හුදී ජන පහන් සංවේගය උදෙසා.

      Delete
    2. කලාතුරකින් එවැනි ගීත මුණ ගැහෙනවා, තමන්ටම ගැයූ වග දැනෙන...

      Delete
  6. හරිම ලස්සන ගීත පෝලිමක් පොකුරු වැහි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නා...

      Delete
  7. මේ සින්දු ඔක්කොමට මමත් කැමතියි. විශේෂයෙන්ම "හදේ කොතැනක හෝ හිඳී නුඹ" ගිතයටත්, "මංමුලාවී" ගීතයටත්. ඒ ගීත 2ම මගේ ලිස්ට් එකට එකතු කරගන්න තිබ්බ නම් හොදයි. ඒත් දැන් මගේ ලිස්ට් ඒක දාල ඉවරයිනේ. මොනවා කරන්නද?

    සමහර සින්දු ඇහුවේ ගොඩක් කාලෙකින්. සමහර සින්දු ඇහුවේ පලවෙනි වතාවට. ඒ "සුහදිනියේ සඟවන්" ඒක.

    "සමනලියේ" සින්දුවත් ඇහුවා. ඒක ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතූ...

      බොහොමයක් කැමති ගීත අතරින් ගීත දහසයක් තෝරනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙවේ සිතූ...ඒ හන්ද කමක් නැහැ දෙක තුනක් මග හැරුනට... :)

      අමතක වුන ගීතයන් නැවත රස විඳින්න ලැබුන නම් ඒක සතුටක්...

      Delete
  8. මං පොස්ටුව ලියනකොට මුලින් හදපු ලිස්ටක සිංදු 29 ක් උනා.. 16 ක් නිසා අමාරුවෙන් 4 කැපුවා... ඒ අතර තිබුන ඒවා තමයි හදේ කොතනකහෝ, සුළං කපොල්ලේ කියන සිංදු 2...

    මේ හැම ගීතයක් ම හදවතට සමිපයි... 16 ක් නම් කළාට තව කීයක්නම් තියනවාද....

    පොකුරු වැහි අපුරුයි...

    ReplyDelete
    Replies
    1. මං දහසය පිරෙනකල් ගීත එකතු කළා, එතැනින් එහාට හිතුවේ නෑ...මොකද නොලැබෙන දේ ගැන හිතන එක මහා දුකක් නේ :)

      බොහොම ස්තුතියි නිර්මාණි...

      Delete
  9. සමනළියේ පද ටික නං ලස්සනයි. ඔයාට දැන් ඊට වඩා ලස්සන එකක් ලියන්න පුළුවන්.

    ඔයාටත් පුදුම අමතක වීමක්නෙ තියෙන්නෙ

    ඔයාගෙ පහුගිය කවි සංකල්පනාව කියෙවනකොටම මට මතක් වුණේ ශාමිලා හුසේන්ගෙ සිංදුව. ඒක ඔයා කැමතිම සිංදු අතර ත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අව්‍යාජ කමෙන්ටුවට බොහොම ස්තුතියි සඳා...ඔව් පහුගිය අවුරුදු දහය ඇතුලත මගේ ලිවීමේ රටාව බොහොම වෙනස් වුනා...ඒ වගේම සමනළියේ ලියවුනෙත් බොහොම කලාතුරකින් ලියපු කාලෙක...2006 දී පී.එච්.ඩි එකේ මුල් කාලේ...

      මේක අමතක කරලා තියෙන්නේ, එය නැවත ගායනා යුතුය කියන ස්ථාවරයේ ඉඳගෙන...

      අනිත් අතට මට "ෂෝර්ට් ටර්ම් මෙමරි ලොස්" තියනවා :D...

      ඒ ඔක්කොටම වැඩිය, එක පාර ප්‍රොජෙක්ට් තුන හතරක් කරන ගමන්, අවුරුදු දෙකකට කලින් කරපු ඒවායේ ෆයින් ඩිටේල්ස්, ඉල්ලන පමාවෙන් PI ට වාර්තා කරන්න නම් මේ ඔළුවේ නිතර හිස් කරන්න ඕනේ... :D

      මං උඩින් හංසිට කිව්වා වගේ ඒ ගීතය මගේ ඇහැ ගැටුනේ මාර්තුවේ අවසාන දවසක...එයින් සතියකට පමණ කලින් තමයි මං කලින් පොස්ටුවේ පල කරපු නිර්මාණය කලේ...(දැන් අහන්නෙපා ඒවා මතක කොහොමද කියල ඉතින්)...

      Delete
  10. අපොයි පොකුරු වැහි දැන් මට හිතෙනවා මම දාපු සින්දු ගැන මදි කියල. ඇත්තටම මෙතන සින්දු වලින් අංක 1 අහලම නැහැ. මටම පුදුමයි. සමහර විට මතක නැහැ ඇහුවද කියල. 4, 6, 7, 9,,12, 13, 14, 15 කැමතිම සින්දු ටිකක් නේ. මතක් කෙරුවට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. :) ඒක සාමාන්‍ය සිතිවිල්ලක් අජිත්...බ්ලොගර්ස්ල හැමෝගෙම වින්දනය හරිම සුන්දර තැනක තියෙන්නේ...එකකට එකක් දෙවැනි නෑ...එකම රස ගුලාවක්...මටත් එහෙම හිතෙනවා...තාම ඔබේ බ්ලොගයට ගොඩ වදින්න බැරි උනා...මේ කොනක ඉඳන් අහගෙන එනවා...

      බොහොම ස්තුතියි...

      Delete
  11. පොකුරුගෙන් ගී මල් පොකුරක්. හොඳයි හොඳයි.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තුතියි විචාරක තුමාට...

      Delete
  12. තමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.

    පොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.

    ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්...ඒ ගීත සියල්ලම එක තැනක ගබඩා කරන්න පුළුවනි නම් ඒක වටිනා දෙයක්...කල්පනා කරලා බලමු...

      අපි හැමෝම එකතු උනේ, ඔබ විසින් මතු කරපු අදහස ක්‍රියාත්මක කරන්න... :)

      Delete
  13. මට නං කැමති ගීත ටික දාසයකට කපන්න බෑ. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති අඩුම තරමින් දාසය කොහොම වෙතත් එකසිය හැටක් විතර නම් අමාරුවෙන් හදාගන්න පුළුවන් වේවි. ඒ නිසා මම කැමති ගීත දැම්මෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තෙන්ම බොහොම අසීරු වැඩක්...ගීත දහසයක් එකතු කලාට, මගේ ප්‍රියතම ගී තව බොහොමයක් තියනවා...හැබැයි මේ ගීත ඒ අතරින් විශේෂිතයි...

      දුර්වල කම නෙවේ...ඔබතුමා බොහොමයක් ගීත එක හා සමානව විඳිනවා වෙන්න පුළුවනි...එහෙම උනාම මේ වගේ ලිස්ට් එකකට කොටු කරන්න බෑ...

      Delete
  14. මේ ලිස්ට් එක හින්දා සින්බෑඩ්ගේ සිංදු ලිස්ට් එකේ සිංදු කීපයක්ම ගලවලා දාන්න සිද්ද වුනා..... සමනල සංද්වනිය චිත්‍රපටයේ සිංදුවට තමයි මම මෙතනින් වැඩියෙන්ම කැමති....15,16 සිංදු දෙකනම් අදමයි ඇහුවේ.... අගේ ඇති ලිස්ටුවක් පොකුරු වැහි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සින්බෑඩ් ගීත ගඟුලෙන් මේ පැත්තටත් පිනගෙන ආවට...බ්ලොග් වලට ගොඩ වෙලා ගීත ඇසුවයින් පසුව තමයි මටත් වැටහුනේ අපි හැමෝටම පොදුවේ කැමති ගී බොහොමයක් තියනවා කියල....

      Delete
  15. බොහොම ස්තුතියි ඉයන් හැමෝගෙම ගීත වල ලින්කුව සටහන් කලාට...එකින් එක හෙමින් සීරුවේ බලනවා...තවම ඉන්නේ අජිත්ගේ තේරීම් ගොන්නේ... :)

    ReplyDelete
  16. වැසි දැරිය, කෙන්කියුෂා සහ උන්මත්තක තෝරපු ගීත් එකතු වුණා. බ්ලොග් 25 ක ගීත ලැයිස්තුව මෙතන. ඔවුන්වත් දිරිමත් කරන ලෙසටයි අරයුම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන් ඔක්කොම එක තැනකට එකතු කරලා, ඒ ගමන්ම අපිටත් පණිවුඩේ දීම ගැන...මේවට තවම යන්න බැරි උනා...මේ දවස් වල ටිකක් කාර්යබහුල වුනා...කොහොම උනත් සියල්ලම අහනවා, මොකද මේවයේ අඩංගු වෙලා තියන ගීත වල සුන්දරත්වය එකකට එකක් දෙවැනි නැහැ...

      Delete
  17. මේ අතරින් නිල් නුවන් පෙඟෙන,සුහදිනියේ,ඔබ තරමට මා නැළවූ සහ සිනහව අතරින්.. ගීතවලට මං බොහොම ආසයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වර්ෂා...මේ හැම ගීතයකම මා වැඩිපුරම විඳින්නේ පද මාලාව...

      Delete
  18. පලවෙනි සින්දුවෙන්ම පොල්ලෙන් ගැහුවා වගේ.. මට අහන්නම බැරි සිංදුවක්.. මගේ පොස්ට් එකේදී මම නන්දා මාලිනියගේ සින්දු වලින් තොර ගත්තේ යමුනා ගං තෙර කියන ගීතය.. ඒකත් අසාධාරණයට ලක්වෙච්චි කාන්තාවකගේ විලාපයක්.. එතන මම කියුව මට ගැහැණු අය අඩන වැලපෙන එක බලාගෙන ඉන්න බැරි ලෙඩක් තියෙනවා කියල.. ඒ ලෙඩේ උපරිමයට එනවා 'හිත පිත් නැති මිනිසා ඔබ නෙතු කඳුලැලි ගෙනාව' කියල අහනකොට.. මෙතන තියෙන ගොඩක්ම සින්දුවලට කැමතියි.. වැඩියෙන්ම කැමති ඒ සිංදුවේ හරය උලුප්පල අරන් තියෙන කප්ෂන් ටිකට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමි...ඔයාගේ පොස්ට් කල දවසෙම ගීත ටික බැලුව මිසක නිදහසේ අහන්න උනේ නැහැ...ඒ නිසා කමෙන්ටුවක් දැම්මෙත් නැහැ...ඉන් පස්සේ මේ සතිය හොඳටම කාර්යබහුල වුනා...

      වේලාවක් ලැබුන ගමන් කරන්නේ එක බ්ලොග් එකකට ගිහින් ගීත අහන එක...

      කමි කියූ දේ නම් ඇත්ත...නන්දා මාලනියගේ ඒ ගීය නම් පොල්ලෙන් ගහනව වගේ තමයි මටත්...

      හිතට දැනෙනවා කියල දැනුන නිසයි, සංවේදීම කොටසක් උපුටල ගත්තේ...බොහොම ස්තුතියි...

      Delete
  19. ඔබගේ තේරීම් සියල්ලම අපූරුයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී..ඔබේ ගීත එකතුවේ ඉතිරි අට අහන්න එන්න තවම බැරි උනා...

      Delete
  20. අසංග ප්‍රියමන්තගේ ගීතය නම් අහල තිබුනෙ නෑ.. වෙලාව උදේ 1.27යි.මේ සිංදු ටික අහන්න නියම වෙලාව.වචන දිහා බලාගෙන රසවිඳින්න හැකි නිසා වඩාත් දැනෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරියටම නිවැරදි වේලාව තෝරාගෙන තියන හැඩයි ගීත ටික අහන්න...

      අසංග ප්‍රියමන්තගේ ගීතය මටත් අහන්න ලැබුනේ මගේ මිතුරෙකුගේ මාර්ගයෙන් බොහොම කාලෙකට කලින්...

      බොහොම ස්තුතියි මේ පැත්තේ මුලින්ම ඇවිදින් ගීත වින්දනය කරල අදහසකුත් තැබුවාට...

      Delete