Saturday, July 9, 2016

මීයන් මිනිසුන් කිරීම -The Humanized Mice -2


"මේ මගේ තැන, ඩිංගක් එහාට වෙනවා"

"මට බැහැ, ඔහෙට ඕනේ නම් යනවා"

"ඌ...................යියා............රිදෙනවෝ....."

දෙන්න රණ්ඩුව නවත්වන පාටක් ඇත්තෙම නැහැ...

"මිනිස්සු වගේම කා කොටා ගන්නවද ඒ ගමන"

මා ඇසුවේ ටිකක් උස් හඬින්...

මේ වගේ අවස්ථාවන් වලදී කල යුත්තේ එවැනි කලබලකාරයින්ගෙන් එකිනෙකා වෙන් කිරීම...


මෙහිදී සිදූ වන්නේ එක් චණ්ඩියෙකු විසින් කූඩුවක් තුල සිටින දුර්වලයන් සොයා නිරන්තරයෙන් පහර දීම...මිනිසුන්ගේ හැසිරීම් වලින් වැඩි වෙනසක් නැහැ...

චණ්ඩියා විසින් දුර්වලයන්ගේ සම ඉවත්ව යන සේ සපා කන අතර, එය බොහෝ විට කොඳු ඇට පෙළ ආශ්‍රිත සම පෙදෙසේ හෝ මුහුණ ආශ්‍රිත සම පෙදෙසේ දැක ගැනීමට පුළුවන්...

කණ්ඩායමක් අතරින් වැදගත් චණ්ඩින් හඳුනා ගැනීම ඉතා පහසුයි...සමේ පච්චා වලින් තොරයි...සෞඛ්‍ය සම්පන්න පෙනුමක් සහිතයි...බොහෝ විට බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක සටන් නළුවෙකුට සමානයි...

සියලුම පීඩිතයින් දුර තියා හඳුනා ගන්න හැකි වන ආකාරයින් තැනින් තැන ගැලවී ගිය සමක් සහිතයි...

web.standford.edu


අවසානයේ චණ්ඩියාට ලැබෙන්නේ දරුණු මිනී මැරුමකට සිර ගත වැන්නෙකුට උරුම වන ආකාරයේ අයිසොලේෂන් කිරීමක්...ඌව වෙනත් කූඩුවක තනි කර, අනෙක් මීයන් කෙරෙහි නැවත ටික දිනක් යන තුරු සැලකිලිමත් වීම අනිවාර්ය කරුණක්...එසේ කරන්නේ එම කූඩුව තුල තවත් චණ්ඩින් ඇත්දැයි දැනගැනීමට...

මෙය හඳුවන්වන්නේ "Barbering" තත්වයක් ලෙස...

නමුත් මනුස්ස මීයන් ඇති කරන කොළණියක, මේ හා සමාන ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගී තත්වයක් දැක ගැනීමට ඇති ඉඩ කඩ බොහෝයි...

එය ඔවුන්ට මිනිස් ස්ටෙම් සෛල ලබා දීමේ ක්‍රියාවලියෙන් පසුව ඇති වෙන්නක්...

මා කලින් ලිපියේ සඳහන් කල පරිදි ස්ටෙම් සෛල යනු ජීවියෙකුගේ නිර්මාතෘ සෛල...ගැහැණු ඩිම්බයක් සහ පිරිමි ශුක්‍රාණුවක් එකතු වී බිහි වන අලුත් ජීවියාගේ සෛල ගුලිය නොහොත්, කළලය නිර්මාණය වී ඇත්තේ මෙම "Pluripotent" ස්ටෙම් සෛල වලින්...ප්ලුරිපොටෙන්ට් යන්නෙන් අදහස් වන්නේ මෙම සෛල වලට ඇති බහුකාර්ය හැකියාව...

අනියතව බෙදී නව සෛල බිහි කිරීමත්, විවිධ අවයව සහ පද්ධති සකස් කරන විශේෂිත වූ සෛල බවට පත් වීමත්, මෙම සෛල වල ඇති ප්‍රධාන ලක්ෂණ...


en.wikipedia.org


මේ විශේෂ ලක්ෂණය ප්‍රයෝජනයට ගන්නා එක් අවස්ථාවක් තමයි සමහර රුධිර හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත පිළිකා හෝ වෙනත් රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට ස්ටෙම් සෛල යොදා ගැනීම...

ඇට මිදුළු බද්ධය එයට ඇති හොඳම උදාහරණයක්...

ඇට මිදුළු යනු ස්ටෙම් සෛල සංචිතයක්...

සාමාන්‍ය මිනිසෙකුගේ ඇට මිදුළු වල නිරන්තරයෙන්ම නිපදවෙන ස්ටෙම් සෛල වලින් දිගු කාලයක් පුරා ශරීරයට අවශ්‍ය රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිරය කැටි ගැසීමට උදව් වෙන රුධිර පට්ටිකා යන සෛල වර්ග නිපදවා බෙදා හරිනවා...
www.conversantbio.com

සරලවම කියතොත් ඇට මිදුළු බද්ධයේදී සිදු කෙරෙන්නේ රුධිරයේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටස් නිපදවන මෙම ස්ටෙම් සෛල (හිමැටොපොයටික් ස්ටෙම් සෛල) රෝගියාට ලබා දීම...

එම සෛල ඇට මිදුළු වල තැන්පත් වී අලුත් සෛල නිපදවීමටත්, ඒවා රුධිර පද්ධතියට මුදා හැරීමත් සාර්ථක ඇට මිදුළු බද්ධයකින් පසුව සිදු වෙනවා...

නමුත් මෙම ක්‍රියාවලිය ඉතා අවදානම් සහ සංකීර්ණ ක්‍රියාවලියක්...

එයට හේතුව, ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත ඕනෑම ජීවියෙකුගේ සිරුර තුල තමන්ට අයිති නැති දෑ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් වී තිබීම...

රතු රුධිරාණු වල හැර, ශරීරයේ ඇති අනෙකුත් සෑම සෛලයකම පාහේ තමන්ගේ කම තහවුරු කරන කුඩා ප්‍රෝටීන පුවරු ප්‍රදර්ශනයට තබා තිබෙනවා...මිනිසුන්ගේ නම් එම පුවරු කාණ්ඩය හඳුන්වන්නේ හඳුන්වන්නේ "හියුමන් ලියෝකොසයිට ඇන්ටිජන් " (HLA) පද්ධතිය ලෙසින්...එය එක් එක් පුද්ගලයාට හෝ එක් එක් ජීවියාට ආවේණිකයි...

තමන්ගේ නොවෙන HLA පුවරුවක් සහිත සෛලයක් සිරුරට ඇතුල් වූ සැණකින්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එය හඳුනා ගෙන විනාශ කරනු ලබනවා (Graft rejection)...

www.nobelprize.org


එහෙයින් ඇට මිදුළු බද්ධය වැනි, ස්ටෙම් සෛල බද්ධ (stem cell transplantation) කිරීමේ ක්‍රියාවලියකදී මෙම HLA පද්ධතිය ගැලපීම අනිවාර්ය කරුණක්...

එමෙන්ම ස්ටෙම් සෛල ලබා දීමට පෙර රෝගියා හට, කිමොතෙරපි ලබා දීම  හෝ විකිරණ වලට නිරාවරණය කිරීම සිදු කෙරෙනවා...කිමොතෙරපි මගින් සෛල වලට විෂ සහිත බෙහෙත් වර්ග ලබා දී ශරීරයේ ඇති රෝගී හා නිරෝගී සෛල යන දෙවර්ගයම විනාශ කිරීම සිදු කරනවා...විකිරණ වලින් සිදු වන්නේද එයමයි...

අලුතින් ශරීරයට ලබා දෙන ස්ටෙම් සෛල සඳහා ඇට මිදුළු වල ඉඩ කඩ ලබා ගැනීමක් මෙමගින් සිදු වන බව බහුතරයක් පිළිගන්නා කරුණක්...

මනුස්ස මීයන් බිහි කිරීම සඳහා වූ එක් ප්‍රචලිත ක්‍රමයක් ලෙස මා ඉහත විස්තර කල හිමැටොපොයටික් ස්ටෙම් සෛල බද්ධය සඳහන් කරන්න පුළුවනි... 
www.cincinnatichildrens.org


මා කලින් ලිපියෙහි සඳහන් කල පරිදි, මනුස්ස මීයන් බවට පත් කරන මීයන්ගේ උන්ට ආවේණික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම නිෂ්ක්‍රීය කර තිබෙන්නේ, මේ මිනිස් ස්ටෙම් සෛල ප්‍රතික්ෂේප කිරීම වලකාලන්න...

ඊට අමතරව, සමහර මනුස්ස මීයන්ගේ සිරුරේ සෛල තුල මිනිස් HLA පද්ධතියේ අඩංගු සමහර කොටස් නිපදවනවා...එය කර ඇත්තෙත් අර කලින් ලිපියෙහි සඳහන් කල පරිදි, එම HLA කොටස් නිපදවීමට අණ දෙන DNA අණු, මීයන්ගේ කළල තුල බහාලීමෙන්...තමන්ට අයිති නොවෙන ජාන සහිත උන් ඇතුලත් වන්නේ "ට්‍රාන්ස්ජෙනික්" මීයන් කාණ්ඩයට.. 

මීයන්ට ලබා දීමට අවශ්‍ය හිමැටොපොයටික් ස්ටෙම් සෛල පර්යේෂණාගාරය තුල  පිරිපහදු කරගනු ලබන්නේ පෙකණි වැලෙන් ලබා ගන්නා රුධිරයෙන්...

එම රුධිරය HLA කොටස් අනුව වර්ග කර මුදවා (frozen) අලෙවි කරන රුධිර බැංකු වලින් මිලදී ගත හැකියි...

මිනිස් HLA කොටස් සහිත ට්‍රාන්ස්ජෙනික මීයන්ට, ගැලපෙන ස්ටෙම් සෛල ලබා ගැනීමේදී, මිනිසුන්ට මෙන්ම HLA පද්ධතිය ගැලපීම අනිවාර්යයි...

සමහර පර්යේෂණාගාර තුලදී මීයන්, මරණීය නොවෙන විකිරණ ප්‍රමාණයකට නිරාවරණය කරනු ලබන්නේ ස්ටෙම් සෛල ලබා දීමට දිනකට පෙර...

ඊළඟ දිනයේදී, මිදුන රුධිරය, දිය කර යතා තත්වයට පත් කර (Thaw), එයින් ස්ටෙම් සෛල පිරිපහදු කර, මීයන්ගේ රුධිර නාල වලට එන්නත් කිරීම සිදු කරනවා...

යම් හෙයකින් එම මිනිස් ස්ටෙම් සෛල වලට, මිනිස් සුදු රුධිරාණු වල සංඝටක මිශ්‍ර වුවහොත්, ඒවා සීඝ්‍රයෙන් වර්ධනය වීමෙන්, මීයන්ගේ ඇට මිදුළු තුලින් නිපදවෙන අලුත් මිනිස් සෛල ප්‍රතික්ෂේප කිරීමේ සටන අරඹනවා...එහිදී කෙටි කලක් ඇතුලත මීයන් මිය යාම සිදු විය හැකියි...

එහෙයින් ස්ටෙම් සෛල පිරිපහදුව සාර්ථකද යන්න, අනිවාර්යෙන් සොයා බලන කරුණක්...මේ එක් එක් සෛල හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්නේ ලේසර් කිරණ පදනම් කරගත් ක්‍රම වේදයක් (flow cytometry)

මෙසේ ස්ටෙම් සෛල එන්නත් කරන මීයන් තුල මාස දෙකේ සිට හතරක් ඇතුලත සම්පුර්ණයෙන්ම ක්‍රියාකාරී ප්‍රතිශක්තිකරණයක් නිපදවා ගත හැකියි...

ස්ටෙම් සෛල ලබා දෙන, මනුස්ස මීයන් තුල නිපදවන මිනිස් සුදු රුධිරාණු සෛල විසින්, කල් ගත වන විට තමන්ගේම ශරීරයේ සෛල විනාශ කිරීමට පෙළඹෙනවා...එය බොහොම කලාතුරකින් ඇති වන තත්වයක්...අනවශ්‍ය ප්‍රමාණයෙන් T ලිම්පොසයිට නමැති සුදු රුධිරාණු වර්ගය නිපදවීම මෙයට හේතුවක්...

මෙම තත්වය වැඩිපුරම බලපාන්නේ සමේ සෛල වලට...එහිදී ඉහත සඳහන් කල චණ්ඩින්ගේ මෙන්, සමෙහි කොටස් විනාශ වීම දකින්න පුළුවන්...එවිට චණ්ඩි සහ රෝගීන් වෙන් කරගැනීම සඳහා සෛල පරික්ෂාවකට ලක් කරනවා...

මේ වන විට ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත මනුස්ස මීයන් නිපදවීම සාර්ථකව සිදු කරන පර්යේෂණාගාර කිහිපයක් දැනට ඇමෙරිකාව තුල තිබෙනවා...

මේ මනුස්ස මීයන් දැනට මැලේරියා, ඩෙංගු, ඒඩ්ස් වැනි වසංගත රෝග පර්යේෂණ කටයුතු සඳහා ඉතා සාර්ථක ලෙස භාවිතා කෙරෙනවා...ඊට අමතරව පිළිකා පර්යේෂණ සඳහාත් උන් යොදා ගනු ලබනවා...

මනුස්ස මීයන්ගේ මනුස්සකම මනින ක්‍රම සහ උන් වසංගත රෝග පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නා අයුරු ගැන ඉදිරි ලිපි වලින් සාකච්ඡා කරන්නම්...

ඔබට හිතෙන දෙයක් ලියා තබන්න...මෙය අදාළ නොමැති ඉතාම බෝරින් ගණයේ ලිපියක් නම් එයත් ලියා තබන්න...අමනාප නොවෙමි...:)


WW 

12 comments:

  1. වසංගත රෝගයන්ට පිළියම් හොයන මේ වගේ පර්යේශන ලිපි මනුස්සයන් වන අපිට "අදාළ නැත්තේ" කෙසේද?. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී...ඔව් එහෙම හිතුවොත් නම් ඇත්තෙන්ම බොහොම "අදාලයි"... :)

      Delete
  2. වරදක් කියන්න දෙයක් නෑ... අපූරු ලිපිය...
    ඉදිරි ලිපි පෙළත් කියවන්න බලන් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි...ඔබේ ඉල්ලීම වුන රුධිරය ලබා ගැනීම ගැන සටහන් ඉදිරි ලිපි වලට ඇතුලත් කරන්නම්...ලියාගෙන යද්දී ලිපිය දිග වන නිසා මගදි නවත්ත්වන්න වෙනවා සටහන...ඒ නිසයි මේ සටහනට ඒ ගැන ඇතුලත් කරන්න බැරි උනේ...

      Delete
  3. පැහැදිලි කිරීම අපූරුයි පොකුරු. මං ඔයාගෙ පේපර්ස් ටිකක් දැක්කා. අමාරුවෙන් ඔව්වා කියවලා තේරුම් ගන්ඩ මහන්සි වෙන්නෙ ඇයි මෙච්චර ලස්සනට සිංහලෙන් කියවන්න තියෙද්දි කියලා මේ බලාගෙන හිටියෙ මනුස්ස මීයොන්ගෙ ඉතිරි කෑල්ල එනකල්.
    හැම සතෙක් තුලම වගේ මනුස්සයින් ළඟ තියෙන ඔයා කා කොටා ගැනීම වගේ දේවල් තියෙනවා. ඔයා දන්නවද ඔය කැස්බෑවො එහෙම මුහුද මැදදි ගෑණු සතෙක් ලබාගන්න මාරෙට පොර කනවලු. සමහර මාළු ඉන්නවා අනෙකගෙ ඇස් උගුල්ලලා දාන. තව සමහර විශේෂ ඉන්නවා ටැංකි ඇතුලෙ චණ්ඩි පාට් දාන එක්කෙනාට වට කරලා පහර දීලා ඌව මරලා දාන.

    ඔයා පරණ පෝස්ට් එකට ලින්ක් එක දාන්නෙ "ලින්ක්" ඔෆ්සන් එකෙන් නේද?. ඒකෙ පුළුවන් අපිට එතන ලින්ක් එක වෙනුවට පෙන්නන්න ඕනි වචනෙ දාන්න. එහෙම බලන්න. එතකොට "මේ ලිපියේ පළමු කොටස මෙතනින්" කියන එක ඔයාට එතනට දෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳා.. :) ...හැබැයි මම අර්ටිකල්ස් වලට වඩා ගොඩක් සරලව ලිව්වේ සමහර තැන් අඩු කරලා...විස්තර පැහැදිලි කරද්දී ලිපිය දික් වෙනවා, ඒ නිසා මේක දැන් ලිපි පෙළක් වෙන හැඩයි...කොහොම උනත් ගොඩක් සතුටුයි කවුරු හරි කෙනෙක් ආසාවෙන් කියවනවා කියල දැනෙද්දී...

      මම ඇත්තටම දැනන් උන්නේ නැහැ මාළුන්ගේ කතන්දරේ නම්...ඇස් උගුල්ලන වැඩේ නම් අර මිනිස්සු කතාවට කිව්වට, මාළු ඇත්තටම එහෙම කරනවා වගේ එහෙනම්...ඔව් ඔය සත්තුන්ගේ හැසිරීම් අධ්‍යනය කරන්න ගත්තොත් පුදුමාකාර දේවල් දැක බලාගන්න පුළුවන්...මිනිස්සු සත්තුන්ගෙන් ඉගන ගෙනද එහෙමත් නැත්නම් සත්තු මිනිස්සුන්ගෙන් ඉගන ගෙනද මන්ද...

      ඔව් සඳා ලින්ක් ඔප්ෂන් එක තමයි පාවිච්චි කලේ...අනික් විදියට කලොත් බ්ලොග්ර් නොවෙන අයට පැහැදිලි මදි වෙයි කියල හිතුන...ඔයා කියූ විදියට වෙනස් කළා, බොහොම ස්තුතියි අදහසට...

      Delete
  4. බුදු අම්මෝ...........කොහොමද මනුස්ස මීයෙක් ඇවිත් ගෙදර දොරටතට්ටු කරලා, මහත්තයා ගුඩ් මෝනිං කිව්වොත්.

    ReplyDelete
    Replies
    1. අපි දිගටම මේ පර්යේෂණ කරගෙන ගියොත් එහෙම වෙන්නත් බැරි නැහැ... :) හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ...ගුඩ් මොර්නින්ග් කියල තේ එකක් හෙම දීල පිළිගන්න තමයි තියෙන්නේ...

      බොහොම ස්තුතියි ඔබතුමාට...

      Delete
  5. මනුස්ස මීයො...? අමුතු කතාවක්. පේපර්ස් කිව්වෙ, Research papers වගෙ එකක්ද. මොක වුනත් මේ අන්තියmaට See ya කියන කෙනානම් maru.

    ජයවේවා.
    Sorry for hybrid language akka...

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් අමුතුයි තමයි...මේක ටික කලක ඉඳන් තිබුන සංකල්පයක් උනත් සම්පුර්න මනුෂ්‍ය ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත මීයෝ නිපදවුනේ මෑතකාලීනව...

      ඔව් නංගි, Research Articles තමයි...

      බොහොම ස්තුතියි නංගි...මියොත් හයිබ්‍රිඩ් නිසා භාෂාව හයිබ්‍රිඩ් උනාට කමක් නෑ :)

      Delete