ශිෂ්‍යත්ව ප්‍රථිපල නම් ආව.
පාස් උනේ නැති පොඩි එව්වෝ දුකෙන්. උන්ගෙ අම්මලා ඊටත් වඩා දුකෙන්.
සමහර පුංචි උන්ට, උන්ගෙ තවම හරි හැටියකට පටන් නොගත්ත ජීවිත ඉවරයිදෝ කියලත් හිතෙනවා ඇති.
එත් පුතේ, ශිෂ්‍යත්වය හෝ වෙනත් කුමන හෝ විභාගයක් ඉහලින්ම පාස් උනත් නැතත්, උඹලගේ ජීවිතේ ඔය ගෙවන හැම මොහොතක්ම, පාස් වෙන්න හෝ ෆේල් වෙන්න උඹලට ලැබෙන අවස්ථාවක්.
ඒක උඹලගේ වැඩිහියන්ටත් සමහර වෙලාවට අමතක වෙච්චි කාරණාවක්.
මගේ අම්ම, අප්පච්චිටත් එහෙම උනා.
කොළඹ නැවතිලා ඒ ලෙවල් කරල ගමේ ආපු මං අහසින් පොළොවට වැටුන. මං කොළඹ උන්න අවුරුදු දෙක තුන ඇතුලෙ මං මගෙ අරමුණු වලින් හුඟක් පිට පැනල බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා කියල මට තහවුරු වුනේ, අම්මයි, අප්පච්චියි, මල්ලියි ගෙදර ඉඳන් ජීවත් වෙන්න කරන හරඹේ දැකල.
බොහොමයක් වැඩිහිටියන්ට ජීවිතේ එක්ක හක්කලං කරද්දී අමතක වෙනවා, දරුවොන්ට හරි පාරෙ යන්න නම් කන්න බොන්න දීල,වියදමට සල්ලි හොයල දීල විතරක්ම මදි කියල.
ඔව්, ගෙදර මුදුන් ලීය වගේ ඉන්න අප්පච්චි කෙනෙක් අවුරුදු ගාණක් තිස්සෙ අසනීපෙන් ඉන්නකොට එහෙම වෙනවා. සමහර වෙලාවට දරුවන්ගෙ ජීවිත නූල් බෝල වගෙ පැටලෙනවා. ඒ උනාට ඉතිං වැඩිහිටියෝ උනත්, අම්ම, අප්පච්චි කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් ජීවිතේ පැටලෙනවා.
අපි හිතුවට දරුවන්ට අවුරුදු දාසය දාහත උනාම උන් හරි ලොකු මිනිස්සු කියල. නෑ...ඒක එහෙම වෙන්නෙ නෑ. උන්ට මොළේට කථා නොකර උන්ගෙ බඩටයි, වස්තරේටයි කොයි තරම් සැප දුන්නත් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි දරුවො කියන්නෙ කෙවිටක් අරන් හරක් වාගේ හසුරවන්ට පුළුවන් ඈයොත් නෙවේ. ලංකාවෙන් නම වෙනියට ශිෂ්‍යත්වෙ පාස් උනාට, මටත් අවුරුදු දාහතේදී ජීවිතේ හසුරවගන්න තරම් ඥාණයක් පහල වෙලා තිබුනේ නෑ.
දරුවෝ ඉන්න දෙමව්පියෝ නිතරම මතක තියා ගන්න ඕනේ කාරණේ තමයි "ආරෝග්‍යා පරමා ලාභා" කියන දේ...සමහර දේවල් තියනවා තම තමන්ගේ කර්මය අනුව සිද්ධ වෙන අපිට පාලනය කරන්න අමාරු දේවල්. මගේ අප්පච්චි අසනීප වෙන්නෙ එහෙමයි කියල මං හිතන්නෙ. මටයි මල්ලිටයි ලැබිල තිබුනෙ බුදු කෙනෙක් වගේ අප්පච්චි කෙනෙක්. තමන්ගේ බිරිඳ, දරුවෝ එක්ක හදාගත්ත තමන්ගෙ කුටුම්භයෙ රජෙක් වෙලා උන්නු මිනිහෙක්. සුරාවෙන් සූදුවෙන් තොර මිනිහෙක්. එහෙම මිනිස්සුත් ලෙඩ වෙනවා.
ඒ කාලේ වාගේ නෙවේ. අද කාලේ අපිට නිතරම කැවෙන්නේ වස විස. මේක බලන අම්මල, අප්පච්චිලට මං කියන්නේ ඉස්සර වෙලාම තමන්ට ආදරේ කරන්න. පුළුවන් හැම මොහොතකම, තමන්ගේ මනස, සහ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කරන්න. තමන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. තමන්ට ආදරේ නොකරන මිනිස්සු කායිකව සහ මානසිකව පිරිහෙනවා. එහෙම කෙනෙකුට අමාරුයි තමන්ගෙ දරුවට හොඳ මාර්ගෝපදේශකයෙක් වෙන්න.
ඉතිං, ආපහු මගෙ කතන්දරේට.
කෙටියෙන්ම කියනව නම් හිතුමනාපෙට ඒ ලෙවල් කරලා මං ගෙදර ආව. එතකොට තමයි දැක්කෙ, ගෙදර ඈයෝ ජීවත් වෙන්න කරන හරඹේ. අපි ගත කලේ හුඟක් අමාරු කාලයක් කියල මං දැනන් උන්නට, ගමේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මට හරියටම ඒකෙ දිග පළල තේරුනේ.
දැන් ඉතින් මක් කරන්නද? මෙඩිසින් යනවා තියා හිතන්නවත් බෑ මට එන්න තියන ඒ ලෙවල් රිසල්ට්ස් වලින්...
එතකොට අප්පච්චි මං වෙනුවෙන් ගොඩ ගහපු හීන...
ඒවට මොකද වෙන්නේ...
ඒ ගැන හිතද්දී මට එදා ඒ අවුරුදු දහ නවයෙදි දැනුන පශ්චාත්තාපය ගැන මේ වගේ ලියමනකින් විග්‍රහ කරන්න මට කවදාවත් බැරි වෙයි.
ඒ පශ්චාත්තාපයේ පරිමාව තමයි මේ තරම් දුර ගමනක් එන්න මට ශක්තියක් උනේ.
හදවතට එකඟව ඇත්ත කියනවා නම්, මගේ ජීවිතේ ලබපු සියළුම ජයග්‍රහණ සියල්ලම මං අරන් දුන්නෙ මගෙ අප්පච්චිට. එයා තමයි මගෙ සීමාව අහසෙ ලකුණු කළේ.
මට අහස අල්ලන්න ලොකු උවමනාවක් හිත ඇතුලෙ නොතිබුනත්, මේ ලෝකෙ මට සීමා මායිම් නැහැයි කියල මුලින්ම මගෙ හිතට කාවැද්දුවේ මගෙ අප්පච්චි....ඒක එහෙම උනාට මගෙ අප්පච්චි මං පොළොවෙන් පළවෙනි අඩිය ගන්නවා බලන්නවත් ජීවතුන් අතර උන්නෙ නෑ.
ඒත් මං අදටත් ඒ ගමන යනවා.
මොකද අප්පච්චිට පස්සෙ, මට දෙවැනි අප්පච්චි වෙච්ච, ඒ උනාට මං උගෙ අම්මයි, අප්පච්චියි දෙන්නම කියල හිතන් ඉන්න මල්ලි කෙනෙක් මට ඉන්නවා. දේවතාවියක් වගේ අම්ම කෙනෙක් ඉන්නවා. තව මගෙ වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, උන් දෙන්නගේ ලස්සන ඇස් තියන අම්මයි තුන් දෙන්නත් ඉන්නවා. ඒ හැමෝගෙම ආදරෙන් මං වැටි වැටි නැගිට නැගිට අහස අල්ලන්න යනවා.
මේ කථාව මං ලියන්න ගත්තේ ජීවිතේ සමහර තැන් වල ෆේල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මගෙ ජීවිතේ සමහර ප්‍රධාන හැරවුම් ලක්ෂ පිටිපස්සේ උන්නු, මගේ ජීවිතය ගැන මොහොතක් නැවතිලා අවර්ජනා කරන්න මාව පොළඹවපු, මට මුණ ගැහුණු මිනිස්සු ගැන ලියන්න. ඒක පොඩ්ඩක් ඉමෝෂනල් උනා, ඒකට සමා වෙන්න. ෆේල් වෙන්න ඔන්න මෙන්න ඉන්න උන්ට මේකෙ තියන සමහර දේවල් වැදගත් වෙයි කියල මං හිතනවා.
"ජයතුංග සර්" කියන්නෙ ඒ කියන කුලකයට අයිති මනුස්සයෙක්. ඒ මගේ පළමු රැකියාවේ මගෙ ප්‍රධානියා. ඉස්කෝලෙන් පිටදී මට හමු වුනු පළමු ගුරුවරයා. මට ඒ වෙද්දී අවුරුදු දහනවයයි. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් නෑ මට මතක හැටියට, ඒ ලෙවල් කරලා මාස තුනක් වගේ ඇති ඔය කියන කාලේ. අහස අල්ලන්න යන්න කලින් ගෙදරට කන්න බොන්න, අප්පච්චිට බෙහෙත් ගන්න උදව්වක් වෙන්න හිතාගෙන මං හා හා පුරා ගියපු රස්සාව. පඩිය රුපියල් 1500 සහ 2500 අතර. මට හරියටම මතක නෑ දැන්. ඒක ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. තනතුර "කම්පියුටර් ඔපරේටර්".
මං හැන්දෑවේ හතරට විතර තමයි ගමේ ඉඳන් කොළඹ ඔය කියන තැනට ඉන්ටර්විව් ආවේ. ඒ වෙද්දී මට කොළඹ හොඳට හුරු උනාට (ඒ හුරු උනේ අවුරුදු දා හතේදී විතර පිටකොටුවෙ බෝ ගහ කියල හිතන්, ඒ කාලේ ට්‍රාන්ස් ඒශියා එකට මෙහා පැත්තෙන් තිබුන මොකක්ද ගහක් බලන් බැහැල ලැබුන අත්දැකීම් වලින්) කොළඹ සහ ගම අතර රෑ ගමන් මං ගිහින් තිබුනෙම නෑ. ඒ හන්ද ගෙදරින් පිටත් වෙච්ච වෙලේ ඉඳන් මගෙ ඔළුවේ තිබුනේ පිටකොටුවෙන් අවසාන බස් එක ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ. ඔහොම හිත හිත මං ඉන්ටර්විව් ගියා.
ජයතුංග සර් හරි ප්‍රතාවත්, ඒ වගේම හරිම කරුණාවන්ත, උත්තුංග දේහදාරී මනුස්සයෙක්. නමට පිටිපස්සෙන් අකුරු ගොඩාක් තිබුනා. ඒ අකුරු වලට හරියන දැනුම වගේම, හොඳ බුද්ධියකුත් ඔහුට තිබුනා. අපි කොළඹ ඉස්කෝලේ ගියාට හරි හමන් විදියට කම්පියුටර් එකක් අත ගාල තිබුනේ නෑ. මේ 1998 මුල කාර්තුව.
ඔය ඉන්ටවිව් එකේ අහපු වැදගත්ම ප්‍රශ්නේ තමයි මං "ඩේටා එන්ට්‍රි" දන්නවද කියන. මං දැනන් උන්නු ඩේට එන්ට්‍රි එකක් නෑ . ඒ තියා මං හරියකට කම්පියුටර් කී බෝඩ් එකක් වත් දැකල තිබුනේ නෑ. එත් මං ක්ෂණයකින් තීරණය කළා මං "ෆේක් ඉට් ටිල් මේක් ඉට්" තියරි එක මෙතනදී ඇප්ලයි කරනවා කියල. මං බොරු කිව්වේ නෑ. මං පොලිටිකල් උත්තරයක් දුන්න. "මාව පුහුණු කලොත් මට පුළුවන් කරන්න". ජයතුංග සර් අපේ ඉස්කෝලේ දරුවෝ ගැන දන්න, ඒ අයත් එක්ක වැඩ කරලා පුරුද්දක් තිබුන කෙනෙක්. ඒ නිසා ඔහුට මං ගැන විශ්වාසයක් තියෙන්න ඇති. ඒ නිසා මාව ඔහුගේ යටතේ සේවයට බඳවා ගත්තා. පස්සෙ තමයි සර්ට තේරුනේ මේ ලෝකේ ඉන්න බොහොම හිතුවක්කාර, නාහෙට නාහන ගෑණු දරිවියෙක් සේවයට අරගෙන, මේක මහ විසාල කරදරක් උනා කියල.
සර් ඇරෙන්න එතන උන්නු සේරම තමන්ගේ නමට පිටිපස්සේ ලියවුන අකුරු වල සැර අපි වගේ පොඩි එව්ව්වොන්ට පෙන්නුව මිනිස්සු. මට කුඩා මොළේට වැටහුන විදියට සර්ගෙ ටැලන්ට් එක සහ ස්කිල්ස් එතන උන්න අනික් නෝනලා, මහත්තුරුන්ට ජීර්ණය කරගන්න බැරි උනා. මට උන්ව ජීරණය කරගන්න බැරි උනා. මම පිදිය යුත්තන්ට පමණක් පුදන කෙනෙක්. කිසිම කෙනෙක් ළඟ ඔහේ දණ ගහන්න මං දන්නෙ නෑ. මට ඒක කරන්නත් බෑ. රෙස්පෙක්ට් එක කියන්නෙ තමන්ගේ තියන මොනයම් ගුණයක් නිසා හෝ අනුන්ගෙන් ලැබෙන්න ඕනේ දෙයක් කියල මං පුංචිම කාලේ ඉඳන් විශ්වාස කල දෙයක්. ඉස්කෝලෙන් ආපු ගැම්මත් ටිකක් හරි නොතිබුනා නෙවේ. ඒ හින්ද ජයතුංග සර් ඇරෙන්න මං එතන උන්නු කිසි කෙනෙක්ට හිත යටින් රෙස්පෙක්ට් කලේ නෑ. බොහොම තරුණ අවධිය නිසා මගෙ වචන වලට ෆිල්ටර්ස් තිබුනෙත් නෑ. ඉතිං ජයතුංග සර් ඒ සම්බන්ධයෙන් බොහොම කරුණාවෙන් මට අවවාද දීල තියනව. මං සර්ට ස්තුති වන්ත වෙනවා මගෙ කොන්ද නොකැඩූ එක ගැන. අදටත් මං අතිශය රාජකාරී ලෙස, නොපෙරපු අදහස් ප්‍රකාශ කරන එහෙමත් නැත්නම් කෙලින් කතා කරන මනුස්සයෙක් විදියට තමයි මෙහෙ මිනිස්සු මාව දන්නෙ.
ජයතුංග සර් මට හිතේ හැටියට කම්පියුටර් එක ඉගන ගන්න ඉඩ ඇරිය. මට ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරී ලිපි ලියන විදිය ඉගැන්නුවා. ඒ ගැන හදාරන්න පොත් පිංචක් දුන්නා වගේ මතකයකුත් තියනවා. මට මාස දෙක තුනක් යනකොට එක්සෙල්, වර්ඩ් වගේම ඩොස් ඔපරේටින්ග් සිස්ටම් එක ගැනත් සෑහෙන අවබෝධයක් ලැබුන. සර් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න අපිව බොහොම උනන්දු කෙරෙව්වා. සර්ගෙ ඉංග්‍රීසි ලිවීම සහ කථාව තිබුනේ එක්ස්ෂෙප්ශනල් ලෙවල් එකේ. සර් දිහා බලාගෙන මං බොහොමයක් දේවල් ඉගන ගත්තා. ඒ වගේම එතන අනික් උන්දලා දිහා බලල තීරණය කළා මේ වගේ මිනිස්සු යටතේ පාලනය වෙන රස්සාවක් මං කවදාකවත් කරන්නේ නෑ කියල. ලොකු කාමරයක් ඇතුලේ පේලියට පුටු තියාගෙන බොහොම පොඩි පඩියකට වැඩ කරපු මිනිස්සු දිහා බලාගෙන ලෝඩ් ල වගේ උන් ඉස්සරහ ඉඳගෙන තමන්ගෙ ශරීර වලින් දහසක් රැස් විහෙදනවා කියල හිතාගෙන උන්නු වගක් තමයි උන්දලාගේ පේන්න තිබුනෙ.
මට මං කවුද කියල තේරුම් ගන්න ඒ මිනිස්සු සේරම උදව් උනා. මගෙ යටිහිත දැනන් උන්න මගෙ ලඟත් ඒ වෙද්දි හරි විදියට පාවිච්චි නොකරපු එක්ස්ෂෙප්ශනල් හැකියාවක් තියනවා තියනවා. මං දැන් දන්නවා මේ හැකියාව හැමෝටම තියනවා. අවාසනාවට බොහොම ටික දෙනයි තමන්ට එහෙම හැකියාවක් තියන බව දන්නේ.
ඔය ටික තේරුම් ගත්තට පස්සෙ මං තීරණය කළා ඉහළට ඉගන ගන්න. ඒ උනාට ගෙදර තිබුන කරදර එක්ක සහ අපේ ලංකාවේ ඒ ලෙවල් වලින් හැලෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මං දැනන් උන්නෙ නැහැ යන්න ඕනෙ හරිම පාර.
ඔය අතරේ මං අසනීප උනා අලුත් රැකියාවට ඇවිත් මාස දෙක තුනකින් වගේ. ඒ නිසා මට ටික දොහක් ගෙදර නවතින්න උනා. ඒ ඉන්න අතරෙ, මං අරමුණක් නැතිව පත්තර වල පාඨමාලාවන් හෙව්වා. එහෙම හොයද්දි තමයි විවෘත විශ්ව විද්‍යාලය එහෙමත් නැත්නම් ඕපන් යුනිවර්සිටි එහෙමත් නැත්නම් ඒ කාලේ නම් "ඕපන්" එකේ ස්වභාවික විද්‍යාවේදී (නැචුරල් සයන්සස්) අංශයේ මූලික උපාධියට අයදුම් පත් කැඳවල තිබුනේ. ඒ කාලේ ඕපන් ඒකෙ උපාධියට ගියේ රුපියල් 36000ක් වගේ ගානක්. මට ඒ යන වියදම හොයාගන්න පැහැදිළි ක්‍රමවේදයක් නොතිබුනාට මං ඕපන් එකේ උපාධිය කරන්න ක්ෂණයකින් තීරණය කළා. අවසානයේ අප්පච්චි මං වෙනුවෙන් ඉතිරි කරලා තිබුන මුදලිනුත් (සෑහෙන ප්‍රමාණයක් මට අවුරුදු දහඅට පිරුන ගමන් ගෙදර අවශ්‍යතා වෙනුවෙන් ගන්න උනා) ඉතිරි වෙලා තිබුන කුඩා මුදල යොදවල මං උපාධිය සඳහා රෙජිස්ටර් උනා, ඒ 1998 අවසාන කාර්තුවේ. ඒ වෙනකොට ජයතුංග සර්ට වගේම මටත් ඒ රස්සාව ඇති වෙලයි තිබුනේ. මට මතක විදියට 1999 මුල කාර්තුවේ ජයතුංග සර් ඒ ආයතනයේ සේවයෙන් ඉවත් උනා. ඉන් මාස දෙකකට වගේ පස්සෙ මමත් මගෙ පළමු සහ අවසාන "ඔෆිස් රැකියාවට" තිත තිබ්බා.
මට ඒ ලෙවල් රිසල්ට්ස් තිබුනෙ, ඒ (සූලොජි), සී (කෙමිස්ට්‍රි), සී (බොට්නි), එස් (ෆිසික්ස්). එහෙම රිසල්ට්ස් වලින් ඕපන් එකේ මං මුලින්ම සම්පුර්ණ කරපු සබ්ජෙක්ට් එක උනු බොට්නි වලට "ඒ" එකක් ආවා. ඒ ආපු "ඒ" එක තමයි මගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලේ. ඉන් පස්සෙ මට "ඒ" එකකට අඩුවෙන් යමක් ආව නම් ඒ උනේ මම සබ්ජෙක්ට්ස් ගොඩක් එකට කරන්න ගිහින් අමාරුවේ වැටුන වතාවක විතරයි. මට එක කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකකට බැච් ටොප් තෑග්ග පවා ලැබුනා. මිනිස්සු නොවුනට, මේ "ඒ" ගොඩවල් ටිකත් මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ. මං ඒවට අදටත් හරි ආදරෙයි.
මට විෂය ලකුණු මට්ටම් හරහා ලැබුන මහපොළ ශිෂ්‍යත්වයෙන්, මට පුළුවන් උනා උපාධියට ගිය වියදෙමින් ඉතා විශාල ප්‍රතිශතයක් පියවා ගන්න. මේ හැමදේම කලේ මගේ අප්පච්චි දෙතුන් වතාවක් රෝහල් ගත වීම්, නිතර අසනීප වීම, මැද්දේ. ඒ ගැන මං කලින් ලිපියකත් ලියල ඇති. මං ඒ අතරේ හතේ අටේ පුංචි උන්ට මැත්ස් ටියුෂන් ක්ලාසුත් කළා.
ජීවිතේ බර කරගහගෙන යනකොට මිනිස්සුන්ට තමන්ගේ වයස, සතුට, නිදහස, ආදරේ මේ සේරම අමතක වෙනවා. මටයි මල්ලිටයි දෙන්නටත් ඒක එහෙමම උනා. ඒ ඔක්කොම දරා ගන්න ඕපන් එකේ මට උන්නා මාව බොහොම ආදරෙන් බලාගත්තු මට වඩා වැඩිමහල් සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්. ඒ මිනිස්සුන්ගේ ආදරේ මට දැනුන හැටි මට මෙතන විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒක එයාල දන්නෙ නැතුවත් ඇති.
ඒ ලෙවල් ෆේල් කියන්නෙ ජීවිතේ ෆේල් වෙන එක නෙවෙයි. ලංකාවේ සම්ප්‍රදායික විශ්ව විද්‍යාලයකට යන්නම ඕනේ නෑ ජීවිතේ පාස් වෙන්න. තමන් රැකියාව කරන්න යන විෂය පථය නිවැරදි විදියකට හැදෑරීම සහ ඒ ගැන පුළුල් අවබෝධයක් තිබීම තමයි මං හිතන විදියට නම් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි අපේ හැකියාවන්, ආසාවන් සහ අවශ්‍යතාවයන් හරියට තේරුම් ගත්ත නම් නිවැරදි ගමනාන්තයට ලඟා වෙන්න පහසුයි.
මිනිස්සුන්ගේ හුඟාක් මිත්‍යා මත තියනවා. ඒව මේ පුංචි උන්ගේ ඔලුවට වැටුනම උන් ඉතින් සදහටම නන්නන්තාර වෙලා තමයි නවතින්නේ. සුදු කොලර් රස්සාවල් විතරක් නෙවේ රස්සාවල්. ඊයෙ පෙරේදා ගෙදර වතුර බටයක් කැඩිලා ප්ලම්බර් චාජස් ඩොලර් 800කට වඩා වැඩි උනා. අමුතු ඇටේ නම් ඉතින් ඒ හැමෝම බාස් ල. තමන්ගේ හැකියාව වටහ ගන්නවත්, ඒක යහපත් රැකියාවක් කරගන්නවත් අධ්‍යාපන ක්‍රමවේදයක් අමුතු ඇටේ නෑ.
එළඹෙන හැම තත්පරේකටම අපි වග කියන්න ඕනේ. ජීවිතේ කියන්නෙ එක පාරටම ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙවේ. තතප්රෙන් තත්පරේ, දවසින් දවස ගොඩ නගා ගන්න දෙයක්. සාර්ථක වෙන්න නම් අපි ඒ හැම තත්පරේම අපි කරන මොනම හෝ දෙයක් වේවා අති විශිෂ්ට විදියට කරන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන්ම ඒ ගමන සාර්ථකයි. ඒ වගේම අපිට කුඩා පරිමාණ අරමුණු හරහා තමයි මහා පරිමාණ අරමුණු වලට ලඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඕපන් එකේදි මගෙ අරමුණක් තිබුනෙ නෑ අද මං මේ ඉන්න තැනට එන්න. මට ඕනෙ උනෙ පළමු පන්තියේ සාමාර්ථයක්. මං විශ්වාස කළා ඒ හරහා මට ඊළඟට යන්න තියන පාර හොයා ගන්න ලැබෙයි කියනඑක. ඉතිං, මට ඕනේ වෙච්ච ඒ ෆස්ට් ක්ලාස් ඩිග්රි එක ගත්තා. ඒ ලෙවල් වලින් "කැම්පස්" යන්න බැරි උන මං ෆස්ට් ක්ලාස් ඩිග්රි එකක් එක්ක ඕපන් එකෙන් පිට උනා.
ඒ උනාට අප්පේ ඕපන් එක කියන්නේ විශ්ව විද්‍යාලයක්ද? දැන් ඉතින් ඔය සහතිකේ පිළිගන්නවද? ඕකෙන් මොනවද කරන්න පුළුවන් රස්සාවල්.......
දැන් නම් ඉතිං කවුරුත් එව්වා අහන්නෙ නෑ.ඒ කාලෙ නම් කණක් ඇහිලා ඉන්න තිබුනෙ නෑ.
කොටින්ම අප්පච්චිගේ මිනිය ගෙදර තියෙද්දී මගෙ අන්තිම සෙමෙස්ටර් එකේ අවසානම සබ්ජෙක්ට් ගියා කියලත් කයි කතන්දර කියපු එව්වො තමා අදටත් ඔය අමුතු ඇටේ ඉන්නෙ.
එදා ඒ ගමන ගිය හන්ද තමයි මට ඊට මාස කිහිපයකට පස්සෙ කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්ය උපාධිය හදාරන්න අවස්ථාව හම්බවෙන්නේ. ඒ අවස්ථාව මට අරන් එන්නෙ කිසිම හිතේ කහටක් නැතිව, කිසිම හිඩ්න් ඇජෙන්ඩා එකක් නැතුව, නංගියේ මට පී.එච්. ඩී හරියන්නෙ නෑ, උඹ කරනවා නම් චාන්ස් එකක් තියනවා කියල කියාපු ඕපන් එකේදි මට මුණ ගැහුන, මගේ ආදරණීය සහෝදරයා, ප්‍රසාද් අය්යා.
ඒ අතින් මං හුඟක් වාසනාවන්තයි. මට ජීවිතේ බොහොම ආදරණීය, මට ආදරේ කරපු මනුස්සකම් වලින් පිරුණ "මනුස්සයෝ" බොහොම සුළුතරයක් මුණ ගැහුණා. ඒ මිනිස්සු මගෙ ජීවිතේ පුරා ඇඳපු හැරවුම් ලක්ෂ වලින් මං මගෙ ඉවට හැරුනා.
ඔය ෆස්ට් ක්ලාස් එකේ තව කතන්දරයක් තියනවා. පී.එච්.ඩී කරන්න අවස්ථාව ලැබෙන්න කලින්, ෆස්ට් ක්ලාස් තිබුන මගෙ යාලුවෙක් මාවත් ඇදගෙන ගියා බොට්නි (මට මතක විදියට) ඩිපාර්ට්මන්ට් එකේ තිබුන ඩිමොන්ස්ට්‍රේටර් වරුන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකකට. මාව ඉන්ටර්විව් කරපු ලෙක්චරර් නෝනා ගත් කටටම කිව්වෙ නැතයි ඔයාට මෙව්ව හරියන්නේ නෑ වගෙ කථාවක්. ඒ කියන්නෙ මට සුදුසුකම් මදිලු. ඒකට මට පොඩ්ඩක්වත් හිත රිදුනෙ නැති උනාට, ඒ සිද්ධියත් මගෙ හිතේ බොහොම තදින් සනිටුහන් වුනු සිදුවීමක්. ඒ විදියෙ දේවල් නම් ඉතිං කැම්පස් වල බොහොම සාමාන්‍යයි. ඒවායින් අඩියක් පස්සට ගන්න මිනිස්සුන්ට ජීවිතේ ගමනක් නෑ.
............................................................................................................සමහර හැරවුම් ලක්ෂ හරිම අභියෝගාත්මකයි. තමන් ගැන විශ්වාසයක් නැති මිනිහෙක්ට ඒවායෙන් හැරෙන්න හරි අමාරුයි.............................................................................................
ඉතිරි ටර්නින් පොයින්ට්ස් ගැන පස්සෙ ලියන්නම්....
Have Faith in Yourself!!!
Every opportunity comes with its own risks...
You can't succeed if you don't have the courage to take the risks and if you are not willing step out of your comfort zone....
ජීවිතය ලියා තබමි....1
ජීවිතය ලියා තබමි-2 අප්පච්චී සහ වී මෝල
එයා...(ජීවිතය ලියා තබමි-3)