Thursday, December 1, 2016

ගැහැණු හිත්....

ගැහැණු හිතකට ඇහැකි විලක් සේ ඉන්නට
එපා ඔබ එන්නට එය කලම්ඹන්නට 
කරණම් ගසුවොතින් කිමිදී බලන්නට 
සසල වුන රැළිති ඇත...ගසාගෙන යන්නට...

නැතිනම් හැකිවේය...කරවට ගිලෙන්නට....


ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන 
වැහි බින්දු ඇනුනාට ලප කැළලි මතු නොවන 
නාටු නටුවක පවා සුවඳ සියපත් පිපෙන
විලක දිය බිඳිති ඇත බොහොම ගණකම පිරුන....

සකි තෙරට පෙනුනේ සියුමැලිකම පමණ....

පතුලේ වහං වුන කැට කැබලිති බොහොම
අඳුරින් පීරී ගිය මතක අහුමුලු අරුම 
මුතු බෙල්ලෙකුද ඇත හංගාගෙන රකින 
උල්පතකි විඳින්නේ එහි සොඳුරුම ගැඹුර....

මං පහරන්නෙකුට සකි නැත එහි උරුම....


WW

26 comments:

  1. රේණු අතර පෙති ගැවසෙන මලක රුවය පතන නිතී
    මූණු බලන විට සොඳුරුය හදවතනම් කොහොම ඇතී
    සීනු සිනා හඬකට මම ඈ වෙතටම වුණත් ගැතී
    ගෑණු හිතක ගුප්ත බවක් හඳුනන්නට කලක් යතී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන පද පෙලට බොහොමතම ස්තුතියි දුමි...

      Delete
  2. මේ ගැන ගොඩක් දේවල් කියන්න හිතට එනවා. හැබැයි කරුමෙටවත් මගේ ගෑණි ඒවා දැක්කොත් අද ගෙදර ගිහින් මට සිද්ධ වෙන්නේ හතරවෙනි ලෝක යුද්දෙ පටන් ගන්න. නිවසේ සාමය ආරක්ෂා කිරීම සහ පොඩි එකා නිසා මේ ගැන වැඩිදුර අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි, මෙහෙම අදහසක් හරි ලියලා තිබ්බට බොහොමත්ම ස්තුතියි.

      Delete
  3. කුරහන්ට වගේම මටත් බොහෝ දේවල් ලියන්න හිතෙනවා. මේ පොකුරු කියන්න තටමන මේ අදහස ජෙන්ඩර් වාදීයෙක් මීට වඩා අමුවෙන් කියයි. ගැනියෙක්ගේ සියුමැලිත්වය, මිනිහා ඉදිරියේ කුඩයක් කරගන්නා නිර්ව්‍යාජ ස්ත්‍රීන් මට නම් කනගාටුවකි. ඇයට මීට වඩා හඬක් තිබිය යුතුය. පිරිමි අපි ඒ හඬ බාල කර ගැනීමට බාල උපක්‍රම භාවිතා කරයි. නමුත් මට පෞද්ගලිකව ඒ හඬ සමග වාද විවාද තිබේ. බිරින්දැයි එකම දරුවාද කෙල්ලක් වීම නිසාම මට යාන්තමට හෝ පොඩි ඉන්ජෙක්ශන් කටු ගතියක් දැණේ :D මුන් දෙදෙනා මට ආදරය සපයයි. ඔවුන් ඒ වෙනුවෙන් මගෙන් වෙන කිසිවක් නොපතයි. මම ගොනා සහ තණකොළ සේ ආදර රස විඳින්නෙමි. මේවා බෝනස් ලමයෝ :D

    ///ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන
    වැහි බින්දු ඇනුනාට ලප කැළලි මතු නොවන
    නාටු නටුවක පවා සුවඳ සියපත් පිපෙන
    විලක දිය බිඳිති ඇත බොහොම ගණකම පිරුන....

    සකි තෙරට පෙනුනේ සියුමැලිකම පමණ....////////

    ඉතා රිදුම්බර යෙදුම්. මේ සියුමැලිකමම තමයි මිනිහා ගෑනිගෙන් උදුරාගෙන, කසාද සහතිකය කියන කඩදාසියේ, මුද්දරයක් කරලා පැත්තකට දාන්නේ. මට තවත් බොහෝ දේ ලියන්න හිතෙනවා. අදට ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණ දිගු පිළිතුරට. උත්තරයක් ලියන්න ප්‍රමාද වුනාට සමා වෙන්න. ඕනෙම ගැහැනියක් තුල දේවතාවියක්, යක්ෂණියක් සහ අසම සම හිතේ ශක්තියක් ඉන්න ආත්මයක් තියනවා. ඇය ගැටෙන පරිසරය අනුව මේ දේවල් අඩු වැඩි වශයෙන් මතු වෙනවා. නමුත් බොහෝ පිරිමින්, විශේෂයෙන් ආසියාතික පිරිමියා, කල් ඇතුවම මේ චරිතය කොටු කරනවා එක රාමුවකට. ගැහැනියගේ ස්ත්‍රීත්වය දුර්වලකමක් විදියට අනුමාන කරලා තමයි ඔවුන් මුලිකවම ස්ත්‍රියට බැඳෙන්නේ. මේ බහුතරයක් හිතන විදිය. නමුත් හොඳ පෞර්ෂයක් තියන ගෑනියක් තුල තියනවා විශ්ව ශක්තියම එක තැනකට ගෙන හිතේ හය්යක්. ඒ දේවල් මතු වෙද්දී සමහර පිරිමින්ට දරාගන්න අමාරුයි. ගැහැනියගේ නියම ස්වභාවය බලාගන්න නම් ජීවිතේට අභියෝග තියෙන්න ඕනේ. නැතිනම් ඕනෙම ගැහැනියක් සියුමැලි වස්තුවක්. පිරිමින්ට ඕක නිතර පටලවෙනවා. ඒ දේ තමයි මම මේ කියන්න උත්සහ කලේ.

      Delete
    2. පොකුරු.....මගේ වයිෆ් කියනවා මේ එක්ස්ප්ලනේශන් එක හරි වැදගත් කියලා. තරුනයෝ, තරුනියෝ මේවා නිවැරදිව පෙළ ගස්ස ගන්න ඕන. නිවැරදිව හිතන්න ඕන. බොරුද මම කියන්නේ.

      Delete
    3. අනිවාර්යෙන්ම අරුණ....ඔයාගේ නෝනටන් ස්තුතියි අදහසක් එකතු කලාට...

      Delete
  4. /////මුතු බෙල්ලෙකුද ඇත හංගාගෙන රකින 
    උල්පතකි විඳින්නේ එහි සොඳුරුම ගැඹුර....
    මං පහරන්නෙකුට සකි නැත එහි උරුම..../////

    super akke....

    ReplyDelete
  5. ඔය වගේ දහසකුත් එකක් ආලවට්ටමින් පිරුනු,
    ගූඪ වූ ගැහැණු හිත් අටෝරාසියක් අතර,
    පතුල පෙනෙනා තරම් පැහැදිලි දියෙන් පිරි,
    සරල වූ ගැහැණු හිතක් සෙව්වෙමි මතක ඇති දාසිටම

    අවසන,
    එවන් හිතක්,
    මුණ ගැසුනි.

    ReplyDelete
    Replies
    1. රවී මම කියන්න හැදුවේ නම් වෙනස් දෙයක්. ගැහැණියෙක් හැම මිනිහටම හිතේ පතුල පෙන්නන්නේ නැහැ. එකිනෙකාට ගැලපෙන දෙන්නෙක් හමු වුනාම තමයි ජිවිතේ බොහොම සරලව දැනෙන්නේ. නැත්නම් එකිනෙකා තේරුම් නොගත්තු සහ එකිනෙකාට නොගැලපෙන ඕනෙම ගැහැණු පිරිමි සම්බන්ධාවන් සන්කිරනයි කියලයි මට නම් හිතෙන්නේ.

      සමහර පිරිමින්ගේ තියන ආලවට්ටම් වල හැටියට ගෑනු ගැන තියෙන්නේ මොන වගේ අවතක්සේරුවක්ද කියල හිතුන දවසක ලියවුන නිරමාණයක් තමයි මේක...ඔබ හැමදෙනාම ඒ නිර්මාණය වෙනස් විදියට වින්ද එක ගැන නම් ගොඩක් සතුටුයි.

      Delete
  6. මටනම් ගැහැනියක් කියන්නේ මාරම දෙයක්.කෙනෙක්. ගැහැනිය සියුමැලිව ඉන්නවා දකින්න පිරිමි අපි ගොඩදෙනෙක් කැමතියි.ප්‍රසිද්දියේ නොකිවුවත් එක පාරට මතුවෙන ඕනේම දෙයක් ඉවසන, විඳදරාගන ඉස්සරහට යන යකඩ ගතියටත් කැමතියි. ඇත්තම කතාව තමයි ඒ යකඩ ගතිය නොතිබෙන්න ගොඩක් පිරිමින්ට යනඑනමං අත්තෙත් නෑ කියන එක.හැම මිනිහෙක් පස්සෙන් තියන ලොකුම සෙවනැල්ල තමයි ඇය. ඒ චරිතය වියරු වැට්ටුවොත්, ඒ චරිතයට බලාපොරොත්තුවක් නැතිකලොත් ,ඊට වඩා නපුරු දෙයක් මේ ලෝකෙම නැතුව ඇති.හැබැයි සියුමැලිකමෙන් වසගත්තු පරඩැල් , පොල් කොහු චරිතත් නැත්තෙම නෑ.

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයා හරියටම මම කියන්න හදපු දේ තේරුම් අරන් තියනවා. ඒ වගේම මම විශ්වාස කරන ගැහැණු චරිතය ඔයා ඔය විග්‍රහ කරලා තියන විදියයි අනිවාර්යෙන්ම. හැබැයි ගොඩක් පිරිමි, ගැහැණියට උරුමෙන් ලැබුන සියුමැලි කම නිසා වැරදි අවබෝධයකට එනවා, ගැහැණිය කියන්නේ තමන්ගේ හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කියලා.

      Delete
    2. ///////ගැහැණිය කියන්නේ තමන්ගේ හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කියලා.///////

      කටුස්සෝ ..ඒ වගේ ගොන් බිජ්ජෝ මොනවා හිතුවත්, ආසියානු ගැහැණිය මීට වඩා ශක්තිමත් විය යුතුයි. ඒ ශක්තිමත්කම තුල වඩා නිවැරදි චින්තනයන්, වඩා සියුමැලි ස්නේහවන්තකම්, වඩා ප්‍රේමනීය කිති කවා ගැනීම් සහ රාගික ...සඳුන් ගසක වෙලි සමන් ලතා...සිදුවෙන්න ඕන. තමන් කවුද යන්න වඩා නිවැරදිව වටහ ගන්න ඕන. ඒ නොවෙන්න ස්ත්‍රීය ශක්තිමත් කරන්න කවි, සින්දු, පොත් ප්‍රායෝගික මදි.

      Delete
  7. පොකුරු, තමන්ගේ හිත තම තමන් පරිස්සන් කරගන්නවා නම් කාටවත් චෝදනා නොකර බය වෙන්න ඕන නැ..

    ReplyDelete
    Replies
    1. මෙතන කිසිම චෝදනාවක් නැහැ නිම්නා...මේ තියෙන්නේ ගැහැණු හිතක් ගැන මගේ තියන කියවීම...

      Delete
  8. බොහොම ලස්සනයි අදහස් කැටියක්.

    ReplyDelete
  9. ලියන්න වෙලා මදි අක්කී... ආයෙත් ඇවිත් ලියන්නම් අක්කී

    ReplyDelete
  10. හිත ඇතුලේ අහුමුලු වල වද දෙන රස රහස්

    ReplyDelete
    Replies
    1. :) ඒවා පුරවාන ඉන්න ගැහැණු හිත්...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete