Sunday, May 22, 2016

ගාර්දියෙස් සහ රතු කුරුල්ලා...



මා වාඩිවී උන්නේ උද්‍යාන බංකුවේ මෙහා කෙළවරට වෙන්න...ගාර්දියෙස්ගේ ජර්නලයට එබීගෙන...එහි තිබූ අඳුරු පැහැති තීන්තෙහි, ගිලී ගිය යට ගියාවට අලුත් පැහැයක් තවරමින්...ගාර්දියෙස් උන්නේ එහා කෙළවරේ...සැරින් සැරේ පිටඋන ඔහුගේ සුසුම් ගිහින් වැදුනේ ඊට ටිකක් එහායින් පණුවෝ අහුලන රතු කොන්ඩ කුරුල්ලාගේ පිහාටු වල...ඌ ගාර්දියෙස් දිහා බැලුවේ අනුකම්පා විරහිත බැල්මක්...

"ආත්මාර්ථකාමියා...උඹ ආදරේ කලේ උඹට විතරයි..." ඒ බැල්මේ තිබුනේ ඒ වගේ අදහසක්...

ජර්නලය දිගේ අවුරුදු තිහක් ආපස්සට යන ගාර්දියෙස් බොහෝ විට හැරී යන්නේ අතුරු මාවත් වලින්...ඒ හැම වතාවකම, ශීත සිසිරය විසින් පහර දුන් කැළැල් ඇති ඔහුගේ කම්මුල් වල ගැහෙන්නේ ඉබේටම...ඔහු තවමත් ආදරේ ඒ අතුරු මාවත් වලට...මට හිතෙන්නෙ එහෙම...ඒ හන්දමයි මග පැහැදිළිව තිබූ ජීවිතයේ මහ පාර ඔහුට එදා මග හැරුනෙ...

කාට කොතැන මග හැරුනත්, අප දිහා ඉවසීමෙන් බලා ඉන්න, අප ගත කරන ජීවිතය කියන්නේ බොහොම වගකීමක් ඇති අපූරු දෙයක්...මිනිසුන්ගේ කැමැත්ත කවරක් වුවත්, ඔවුන් කල කී දෑ අනුව, ඔවුන්ට නිසි තැන ලබා දීම, ජීවිතය විසින් අනිවාර්යෙන් සිදු කරන්නක්...ඒ අනුව ජීවිතය විසින්, නැවතත් වසර තිහකට පසු ගාර්දියෙස්ව රැගෙන ආවේ  "මහ පාරට"...   

ඔහුව මට හමු උනේ "මහ පාරෙදි"...

ඒ පසුගිය නත්තලේ දවසක...කඩදාසි පිඟානක් මත අයිසිං තැවරූ කේක් කැබැල්ලක්, මෆිනයක් සහ බිස්කට් කිහිපයක්, ඉදිරි පස මගී අසුනෙහි වාඩිවී උන්නේ ඉතා අපහසුවෙන්...උන් ආසන පටි පැළඳ නොහිටි නිසාවෙන් කිනම් මොහොතක අතුරු ආන්තරාවක් වේදෝයි සිතමින්, මා රිය පැදවූවේ බොහෝ සැකයෙන්...

ඒ කලබල සැන්දෑවේ, ගාර්දියෙස් උන්නේ මාර්ග බෙදනය මැද...ඔහුගේ බොත්තම් කැඩුන හිම කබාය පිම්බී තිබුනේ සිසිරයේ ශීතල සුළඟට...ඒ වගක් නොතකමින්, ඔහු මාර්ග තදබදයේ ඉසිඹුවක් ගන්නා උණුසුම් වූ වාහන තුලට එබුනේ, උණුසුම් හදවත් ඇත්තවුන් සොයමින්...

"හෝම්ලස් මනුස්සයෙක්" මට හිතුනේ ඉබේටම...

මේ රටේ "හෝම්ලස්" වෙන්න, එසේත් නොමැති නම් නිවහනක් අහිමි වන්නට තිබෙන ඉඩකඩ බොහෝයි....

හදිසි රැකියා අහිමි වීම්, රෝගී තත්වයන්, මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හෝ මිනිසුන්ගේ වගකීම් රහිත ක්‍රියාවලියන්... මිනිසෙකුගේ ආර්ථික පරිහාණියට හේතු කාරක වන මේ ඕනෑම හේතුවක් ඔබව "හෝම්ලස්" කරවන්නේ ඔබටත් නොදැනීම...

එයට හේතුව, බොහෝ විට මෙහි ඔබට ජීවත් වන්නට සිදු වන්නේ කුලී නිවසක හෝ දිගු කාලීන ණයක් දරා සිටින බිත්ති ඇති නිවසක වීම...නිවාස කුලී හෝ ණය ගෙවා ගැනීමේ නොහැකියාවෙන් නිවාස අහිමි වූවන් සේම යම් කිසි හේතුවකින් නිවාස වලින් පිටමං කර දැමූවන්ට, ලිපිනයක් නොමැතිව රැකියාවක් සොයා ගැනීම බොහෝ අසීරුයි...

කිසිවෙකුගේ හව්හරණක් නොමැති වූවොත් ඔවුනට උරුම වන්නේ "මහ පාර" පමණයි...

ජීවිතය යනු සෑම තත්පරයකම වෙනස් වන්නක් බව මා හොඳින් අත්දැක ඇති හෙයින්, මා පවා කෙදිනක හෝ "හෝම්ලස්" විය හැකි වග ඔවුන් දකින වාරයක් පාසා මට සිහියට නැගෙන කරුණක්...එහෙයින්, මගේ රිය කවුළුව එවන් මිනිසුන් වෙනුවෙන් විවර වන්නේ නිතැතින්... 

"හෝම්ලස්" වූවන්ට අනන්‍ය ලකුණක් වූ, ඔවුන් සන්තක දූලි බැඳුන බඩු පොදිය, ගාර්දියෙස්ගේ වපසරිය සළකුණු කර තිබුනේ ඔහු  උන් මාර්ග බෙදනයේ මදක් ඈතින්... 

හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන රිය සක කැරකෙන වේගයට අනුව, මාර්ග බෙදනයේ ඉදිරියට හා පසු පසට ගිය ගාර්දියෙස්ට විරාමයක් ලැබුනේ ඉඳහිටක...ඒ සෑම වෙලාවකම ඔහුගේ වියළි දෙතොල් වලට නැගුනේ ප්‍රීතිමත් හිනාවක්...

"මේක ගන්න"

මා පැවසුවේ කවුළුව හරින ගමන්...

ඔහුට තිබුනේ බොහෝ ඉවසිලිවන්ත, දිලිසෙන දිගු ඇස් දෙකක්...පුදුමයකට වාගේ එහි කිසිම වෙහෙසක් තිබුනේත් නැහැ...බොහොම ආදරණීයයි...

මටත් පිස්සු..."හෝම්ලස්" මිනිහෙකුගේ ඇස් කියවනවට වඩා වැඩක් නැතුවයැ...

"උඹ අදටත් තනිකඩ වෙලා ඉන්නේ අතරමං වෙලා හිටි මිනිස්සුන්ගේ ඇස් කියවන්න ගිහින්...ඕක දීල ආපු ගමන පලයන්" 

මගේ හිත මට කිව්වේ මාව තදින් කොනිති ගහන ගමන්...ඇත්ත...පසු කලෙක මට පිළිගන්ට සිදු උනා, එදා ඒ සැන්දෑ අඳුරේ මට ඔහුගේ ඇස් හරියාකාරව කියවා ගැනීමට නොහැකි වූ වග...

"බොහොම ස්තුතියි...සුබ නත්තලක්...සුබ රාත්‍රියක්...දෙවි පිහිටයි..." 

ඒ ගාර්දියෙස් ගේ හඬ...

"ඔබටත් එසේම වේවා...දෙවි පිහිටයි"...

මම සැරසුනේ කොළ පාට එළිය පසු කරන්ට...ඊළඟ වංගුවේදී මට බැලුනේ මගේ ගමන් සගයන් දිහාවේ...මෆිනය එවෙලේ නම් මට හිනා උනේ ඔච්චමට කියල මට සහතිකයි...මගේ අසිහියට...

හදවතට දැනුනේ දරුණු විස්සෝපයක්...

"අපරාදේ උඹලව මට අර මනුස්සයට දෙන්න තිබුනනේ...නැත්නම් උඹලට යන්න වෙන්නේ බැල්කනියට එන පුංචි කුරුල්ලන්ගේ අමාශයට...ගල් ගිල්ල වගේ නොඉඳ, මට ඩිංගක් ඒක මතක් කළා නම් මක් වෙනවද..."

එසේ සිතමින් මා කාරය අතුරු මාවතකට ගෙන ගියේ නැවතත් ගාර්දියෙස් සොයා ගෙන යන අදහසින්...ගාර්දියෙස් එතැනම හිඳීවා යන හිතිවිල්ල පෙරදැරි කොටගෙන එක තත්පරයකදී සිතිවිලි සියගණනක් ඉපදී මිය ගියා කිව්වොත් හරියටම නිවැරදියි...

ඔහු සිටියේ පෙර කී තැනම...ඉදිරියට පසු පසට ඇවිදිමින්...

"සුබ නත්තලක්"

මා සුබ පැතුවේ, ටිෂූ කැබැල්ලකින් පිළිවෙලකට වැසූ, කුඩා පිඟාන ඔහු අතේ තබන ගමන්...

ඔහු පෙර සේම, මට ස්තූති කලේ  බොහොම කරුණාවෙන්...

සමහර මිනිසුන්ව අපට මුණ ගැහෙන්නේ ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරගන්ට...මින් පෙර කිසිදාක නොඇසූ කතාවන්හි  සජීවී කොටස් කරුවකු වන්ට ඉඩක් දෙමින්...

ගාර්දියෙස් නැවත "මහ පාරේදීම" මට මුණ ගැසෙන්නේ එලෙසින්ම කිව්වොත් නිවැරදියි...

ඒ වසන්තය පටන් ගන්න ඔන්න මෙන්න ඉරිදාවක...රෝස පැහැ චෙරි මල් වියන් යටින් ඇවිදගෙන යන්නට ඇති කෑදර කමට, කාටවත් අයිති නැති  මගී මං තීරුවක ඇවිදගෙන ගිය මහ දවාලක...

වසන්තයට අයිති විය යුතුව තිබුනත්, සිසිරයෙන් තවමත් බැට කන, චෙරි මල් හිනා උනේ බොහොම අසීරුවෙන්...මට හිතුනේ එහෙමයි...සිසිර ශීතල හීන්වට දෙන වේදනාව උහුලාගන්ට අමාරු ඇති...ඒ ශීතල විසින්මයි හිම කබායෙන් මිදීමෙන් ඇතිවන සැහැල්ලු හැඟීමත් මට අහිමි කලේ...මට දැනුනේ කේන්තියක්...මම කැමරාව මෑනුවේ චෙරි මල් වල වේදනාව කාචයට හසු කරගන්ට...

ඩිජිටල් කැමරා තිරය තුල, ඔහු උන්නේ බර කල්පනාවක...ඒ නිසැකයෙන්ම ඔහු තමයි...ඒ "හෝම්ලස්" මිනිසා...මගී මං තීරුවේ මුල්ලක ඇණ තියාගෙන...

පාළු ඉරිදාවන්, කලබල නැති කඩමණ්ඩියක හිඳ, ගාර්දියෙස් වැනි මිනිසුන්ට අතීතාවර්ජනය කල හැකි දිනයන්...

"මට ඔබත් එක්ක කථා කරන්න අවසරද"

මම ඇසුවේ දෙවරක් නොසිතාම...

ඔහු කලේ හිස සලා සිනාසීම පමණයි...

"ඔබේ නම"...

කෙටි ස්වයං හැඳින්වීමකින් පසු මා මුල පිරුවේ, අප දෙදෙනා උද්‍යාන බංකුව තෙක් රැගෙන ආ දිගු කථාවට...

"මං ගාර්දියෙස්" ඔහු කථා කලේ පුදුමය සඟවාගෙන...

ඔහුට පුදුම හිතුනා නම් ඒකෙ ඒ හැටි පුදුමයකුත් නැහැ...මා කවදත් කරන්නේ පරීක්ෂණ වලින් නිගමන වලට එළඹීම...ඒත් ඔහුට මාව පෙනෙන්න ඇත්තේ ජීවිතය පටලවාගත් ගැහැණියක් විදියට...කාලය කා දමන්නට සහායකයෙක් සොයන්නියක් ලෙසට...

"හඳුනා ගන්ට ලැබීම සතුටක්"...මා පැවසුවේ හිතින් ප්‍රශ්න පත්‍රයක් සකස් කරන ගමන්...

ගාර්දියෙස් සහ මම, උද්‍යාන බංකුවක් බෙදා ගත් මිතුරන් වූයේ ඒ ප්‍රශ්න පත්‍රය නිම කිරීමට මට ලැබුන කාලයේ ප්‍රථිපලයක් ලෙසට...

"ආදරෙයි මගෙ සුදු අම්මේ...03/27/1990"...

මා මිමිණුවේ ගාර්දියෙස්ගේ එක්තරා දින සටහනක්...

මේ වතාවේ නම් රතු කොණ්ඩ කුරුල්ලා ඉගිලුනේ මටත් රවාගෙන...

"බොරුවට සුසුම් හෙලන්න එපා මිනිහෝ" උගේ තටු ගැසුවේ එහෙම කියමින්...

"අම්මා මතක් වී ලියූවක්ද"...

මා ඇසුවේ කුතුහලයෙන්...

"නැහැ...මගේ බිරිඳ ජිසෙල්ලා වෙනුවෙන් ලියූවක්...ඇය ඒ වනවිට උන්නේ මා ගැන බොහෝ කලකිරීමෙන්...මට බොහෝ සේ ප්‍රේම කල ඇය, පසු කලෙක මගෙන් ඈත් වූයේ මගේම වරදින්..." 

මට දැනුනේ බොහෝ කණගාටුවක්...ඒ කා වෙනුවෙන්දැයි යන්න මට හරි හැටි වැටහීමක් තිබුනේ නැහැ...

"එහෙනම් ඔබත් බොහෝ සේ ඇයට ප්‍රේම කරන්ට ඇති"...මට කියවුනේ ඉබේටම...

මෙලොව ඕනෑම මිනිසෙක්, කිසිවෙකුට නොදෙවෙනි ලෙස ආදරය කරනවා නම්, ඒ තමන් හැදූ වැඩු මවට...ඒ හා සමාන ආදරයක් තමන්ගේ බිරිඳ වෙනුවෙන්...

ඒ සිතිවිළි සියල්ලම විසිරෙන්න ගත උනේ එක මොහොතයි...

"නැහැ..එය මා කෙරෙහි ඇයව නම්මවාගන්නට යෙදූ කෙටි උපායක්...මා දැන සිටියා ඇය මගේ ජර්නලය රහසින් කියවන වග...මට ඇයට ඒත්තු ගන්නන්ට උවමනා උනේ වචනයෙන් නොපැවසුවත් මා ඇයට බොහෝ සේ ප්‍රේම කරන බව"

ගාර්දියෙස් කියාගෙන ගියේ හැඟීම් විරහිතව...

"අපොයි...තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් අම්මාවත් පාවා දුන් පව්කාරයා"...

මට ඕනේ උනේ ඔහුගේ අර දිලිසෙන දිග ඇස් දිහාවේ හොඳින් බලන්න...දෙපාරක් නොහිතම මං කලේ ඒක...

මං පළමුව දුටු දිලිසීමට යටින් එහි තිබුනේ කහට පෑදුන වියළි කටෝර පෙනුමක්...එහි මිනිසත් බවක ලකුණක්වත් නොතිබූ බව මට විශ්වාසයි...

එහෙත් ගාර්දියෙස් පවසන ලෙසට ඔහු වැඩිපුරම සන්තෝෂ උනේ මිනිසුන්ට සේවය කිරීමෙන්...

"ජිසෙල්ලා හැමදාම අවදි උනේ, මට නින්ද යන පාන්දර ජාමෙට...ඇය තමයි අපේ පුංචි ගොවිපළේ සියළු වැඩපළ කළේ...කිරි දෙවීම, දෙනුන් ගාල් කිරීම, තණකොළ අට්ටි ගැසීම, එකී නොකී සියළුම දෑ...රාත්‍රියට ඈ කළේ  කුඩා දරුවන් වෙනුවෙන් අලංකාර ඇඳුම් මැසීම..."

ගාර්දියෙස් කියාගෙන ගියේ අතරින් පතර පිටඋන සුසුමක් එක්ක...

"එතකොට උඹ මක් කළාද මිනිහෝ" මං එහෙම ඇහුවේ නැහැ...ඒත් මට එහෙම හිතුන වග මගේ මුහුණෙන් පෙනෙන්නට ඇති...

"මං කළේ අපේ කුඩා ගම පුරා ඇවිදිමින් මිනිසුන්ගේ කැඩුන ඉලෙක්ට්‍රොනික බඩු, ලී බඩු ඔවැනි දෑ නොමිලේ අලුත් වැඩියා කිරීම...උදව්වක් අවැසි ඕනෑම කෙනෙකුට උදව්වක් කිරීම...කොටින්ම කියනවා නම් සමාජ සත්කාර...හැබැයි ගෙදර දිවා ආහාරය සැකසුනේ මා අතින්..."

ඔහු පැවසූවේ  දෙඇස් නටවමින්...ඔහු කළ සමාජ සත්කාර මතක් වූ හෙයින්දෝ එයින් සතුටින් ඉපිලෙමින්...ඒ තමයි අර මා පෙර කියූ අතුරු මාවත්...

"ඒ වගේම මා හොඳ පින්තාරු කරුවෙක්...මගේ සමහරක් හිතවතුන් වෙනුවෙන් නිම කල පින්තාරු බොහොමයක් ඇති...මා ඔවුන් වෙනුවෙන් පින්තාරු නිම කල සමහර පාන්දරක, ජිසෙල්ලා කලේ වෙහෙස නොබලා එළදෙනුන්ගෙන් කිරි දෙවීම...ඒ දේවල් මතක් වෙද්දී දැන් නම් දැනෙන්නේ කණගාටුවක්..."


එය ඇත්තෙන්ම අනෙකාට පිහිට වීමේ ඇති කැමැත්ත නොහොත් පරාර්ථයද...එහෙමත් නැති නම් අසීමාන්තික ලෙස තමාගේ ආත්මය පිනවීමද...

නිවසක වගකීම් රැසක් දරන ස්වාමියෙකු සහ පියෙකු වනවාට වඩා මේ පරාර්ථය සැනසිලිදායකද...දරු පවුලක අනාගතය සුරක්ෂිත කිරීම පසෙක ලා කරන සමාජ සත්කාරයෙහි ඇති සැනසීම කුමක්ද...

මා නොනවත්වාම හිතුවේ මා ඉදිරියේ සිටින මේ අපූරු මිනිසා දෙස බලමින්... 

"දරු පැටව් හිටියද"...මා ඇසුවේ දෙබැම හකුළුවමින්...

"ඔව් මගෙ පුංචි සුරංගනාවී...මායා...ඇයව දිනපතා පාසැලට හැරලුවේ මමයි"...

ඒ වංගියේ නම් ඔහුගේ මුහුණ මතින් වැහි වලාකුළක් පාවුන ගානයි...

"එයා දැන් කොහෙද"...

මා ඇසුවේ ඔහුගේ මේ ක්‍රියා කලාපයෙන් ඇයට සිදු වූ බලපෑම දැන ගැනීමේ කුතුහලයෙන්...

"ඒක දිග කථාවක්"...

ගාර්දියෙස්ගේ කහට බැඳුන ඇස් වල, ඒ වතාවේ නම් තිබුනේ බොර පැහැයක්...

"කාලය ගත වෙද්දී, වැඩි වයසක් නොතිබුනත්, ජිසෙල්ලා දිරාපත් උනේ බොහොම වේගයෙන්...නිතර හැදුන හිසේරදයට ඇය ගිලින පෙති වලින්, නිදන කාමරයට අඩුවක් තිබුනේ නැහැ...මට ඒ ගැන වැඩි තැකීමක් නොතිබුනත්, මායා ඒ ගැන උන්නේ බොහොම විමසිල්ලෙන්...ඒ වගේම මා එක්ක අමනාපයෙන්...ගොවිපොළේ වැඩ කෙරුනේ ඒකෙ උන්න ගොලුබෙල්ලන්ගේ ගමනටත් වඩා අඩු වේගයකින්...වැඩිපුර තිබුනේ පාඩු පමණයි...

ඔහු කියාගෙන ගියේ ඇසෙන නෑසෙන ගානට...මා උන්නේ ඔහුගේ මුහුණෙන් පසු තැවීමක ලකුණක් හොයන අසීරු උත්සාහයක යෙදෙමින්...

"එදා බොහෝ රෑ බෝ උන දවසක්...හිතවතෙකුගේ වහලක ලී පිරියම් කර අවසානයේ මධුවිතකිනුත් සප්පායම් වෙලයි මා උන්නේ...මා නිවසට ඇතුළු උන විගසම, මායා කලේ වියරුවෙන් කෑ ගැසීම..."

ඔහු එසේ කියද්දී, ආයිමත් රතු කොණ්ඩ කුරුල්ලා ඇවිත් වැහුවේ ගාර්දියෙස් ළඟම තිබුන මල් පඳුරේ කෙළවරක...ඌ කලින්ම මේ කථාවේ අවසානය දැන උන්නත්, ගාර්දියෙස්ගේ හඬින්ම ඒ දේ අහගන්න උවමනා වෙන්න ඇති...

"අම්මාට මොළේ පිළිකාවක්... ඒ ගෑණිගෙන් තවත් උඹට ගන්ට දෙයක් ඉතිරි වී නැහැ...උඹ මෙහෙන් තොලොංචි වෙලා පලයන්...මං මේ සියලු දේ විකුණාපු ගමන් ඇයව එක්කාගෙන යනවා නගරයට..." 

දිවා රෑ වෙහෙස නොබලා පවුල වෙනුවෙන් කැප වූ බිරිඳකගේ අවසානය එය විය යුතුද...දියණියක් ලෙස මායා සියල්ලම ඉවසීමෙන් බලා ඉන්නට ඇති...ඇයගේ වියරුව සාධාරණයි...මට හිතුනෙ එහෙම...

"ඒ කිව්වත් වගේම මායා, මගේ පුංචි සුරංගනාවී, ඔව් ඇය තමයි...ඇය මගේ බිරිඳ, ජිසෙල්ලාව නගරයට රැගෙන ගියේ, ඇයගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගන්න..."

ගාර්දියෙස් පැවසූ ලෙසට, මායා අවුරුදු දහසයේදී සමාජ ශාලාවක රඟන්නියක් වූවේ, ඇයගේ මව සුවපත් කරගැනීමේ අරමුණින්...ඇය ඒ සඳහා තව කුමන දේ කළාදැයි ගාර්දියෙස්ට අදහසක් නැහැ...ඔහු උපකාර කල කිසිවෙක් ඔහුට ප්‍රති උපකාර නොකළ හෙයින් අවසානයේ සිදු වූයේ උන් හිටි තැන් අහිමි වීම...

"අම්මාගේ මරණයේ වැඩ අවසන්...නුඹ ආයිමත් මා මුණ නොගැසුනාට කමක් නැහැ"

ඒ මායාගෙන්, ගාර්දියෙස්ට ලැබුන අවසන් පණිවුඩය...

"ගොවිපොළේ වැඩට මූලික වී වගකීමෙන් ක්‍රියා කළා නම් අද මා කර්මාන්ත ශාලාවක හිමි කරුවෙක්...මායා වෛද්‍යවරියක් නිසැකයෙන්ම...ඇය උන්නේ ඒ සඳහා හුඟක් කැමැත්තෙන්..."

"ජිසෙල්ලා...ඇය තව දිගු කාලයක් ජීවත් වේවි...එහෙම අදටත් හැකි පමණින් මට අනෙක් මිනිසුන් වෙනුවෙනුත් යහපතක් කරන්නට ඉඩ තිබුනා..."  

ගාර්දියෙස් කියාගෙන ගියේ නැවතිල්ලක් නැතුවම...එය බොහෝ දුරට පාපොච්චාරණයක් විය හැකියි...

"ආදරෙයි මගෙ සුදු අම්මේ"...

කිසිම වගකීමක් නැති වචන හතරක්...මිනිසුන්ගේ හැඟීම් තමන්ගේ ආත්මාර්ථය උදෙසා පාවිච්චි කල තවත් එක් මිනිසෙක්...

එතැනින් එහාට මට ඔහුගේ ජර්නලය කියවීමේ උවමනාවක් තිබුනේ නැහැ...මා දැන සිටියා මේ මා ඔහුව මුණ ගැසෙන අවසන් වතාව වග...ඔක්කෝටම වඩා දරාගන්න අමාරු උනේ රතු කොණ්ඩ කුරුල්ලාගේ අවඥා සහගත හිනාව...ඒත් මගේ කාලය අපතේ ගියේ නැහැ...ඌත්  නොදන්න දේ තමයි, මා නිගමන වලට එළඹෙන්නේ, පරීක්ෂණ සහ නිරීක්ෂණ වලින් බව...


..........................................................................................................................................................


මිනිසුන් පරාර්ථකාමී උතුම් හදවත් ඇත්තවුන් විය යුතුයි...නමුත් ඒ පරාර්ථය ඇරඹිය යුත්තේ තමන් තුලින්...දෙවෙනුව තමන්ගේ ආදරණීයයන් තුලින්...සමාජයේ මූලිකම ඒකකය වන පවුල වෙනුවෙන් නිසි පරිත්‍යාගයක් කල නොහැකි මිනිසාගේ පරාර්ථය පුස්සක්ම පමණයි...ආත්මාර්ථකාමී අරමුණු සපුරා ගැනීම පිණිස පරාර්ථකාමී වන මිනිසුන්ට, ජීවිතය විසින් ලබා දෙන දඬුවම් බොහෝ විට දරුණුයි...එය ඔවුනගේ ලබැඳියන්ට බලපාන්නේත් අතිශය දරුණු ලෙසින්...අපේ අරමුණ ලෝකයට යහපතක් කිරීම නම්, එහි මූලික පියවර විය යුත්තේ අප ජීවිත තුල ශක්තිමක් අඩිතාලමක් සකස් කොට ගැනීමයි...ඒ ක්‍රියාවලිය තුල ඔබත්, ඔබේ ආදරණීයයනුත්, ඔබෙන් උපකාරයක් අවැසි සියල්ලනුත් ඉබේම සුරක්ෂිත වේවි...අගතිගාමී වීමෙන් අවසානයේ ඉතිරි වන්නේ දුකත් තනිකමත් පමණයි... 
   
............................................................................................................................

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.




Saturday, May 14, 2016

මරණ මංචකයේදී බිරිඳක කී කව...






හිත බැඳුන බැමි ලිහිල් නොකරම 
යන දවස ඉක්මනින් ආ හැටි 
ලියන්නට කියලා හිතා උන් 
කතා කිසිවක් තව ඉවර නැති...

මෙතැන් සිට එය ලියා ගන්නට               
සොඳුර දිරි ඇති නුඹ සිතට හැකි             
ඉඳහිටක පටලැවුන තැන්වල
කොතෙක් නුඹ හැදුවාද ඉස්පිලි...                            

මේ ටිකත් මං මෙහෙම ඉන්නම්               
බදා ඉස්සර වගේ නුඹ ළය                      
එදා රහසින් ඇසුන ස්වරයම                  
උස් හඬින් අද ඇසෙනවා මට...              

එදා වාගේ නොවේ හිමිසඳ                        
මෙදා ඇත දෑතෙහිම කරගැට                   
පිරිමදින්නට මිස ලඟින් හිඳ                    
දමා යන්නට හිතට ලෝබය...

තව දොඩන්නට හුඟක් දේ ඇති 
කිව්වාට වැඩි සෙනේ හිත ඇති 
ඉඳ හිටක රොස් පරොස් බස් ඇති 
රෑක නුඹගේ හිත රිදෙන්නැති...

එදා වාගෙම නුඹේ කඳුලක් 
අදත් මං ඇස දකිනු රිසි නැති 
මක් කරන්නද සොඳුර මේ අපි 
පතාගෙන ආ හැටිය වෙන්නැති...

මිදුණි කිරි කළ හතම ලැම අග 
හිතට කහටක් නොම දැනීයන්
නුඹම මිස මට වෙන හීන නැති 
සිව්වරම් දෙවි පිහිට වීයන්...

නින්ද නේනා රෑක තරුවක් 
ලඟදි නුඹ මා මුණ ගැහීයන්  
බදා ගන්නට හැමට ඉස්සර
මතු සසරෙදිත් මගෙම වීයන්...


.......................................................................................................................



ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...

ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~

Saturday, May 7, 2016

මාගරීටා, ටිකිලා සහ සපත්තුව...



අද, අවුරුදු පහකින් පසු එළැඹුන බොහොම විරල සිකුරාදාවක්...

මේ සවස් යාමයේ තිබෙන පිටස්තර පෙනුම නම් ඒ තරම් සුන්දර නැහැ ...දැන් ටික දවසක ඉඳල අහස ඉන්නේ පුදුම තරම් මුහුණ අඳුරු කරගෙන...අදත් එහෙමම තමයි...කෘතීම ආලේපන කිසිම දෙයක් තවරා නොතිබුන සැන්දෑ අහසේ, තදින්ම මතු වෙලා පෙනුනේ කළු පාට වලාකුළු වල ලප කැළැලි...ඉරත් තව ටික කලකට නෝක්කාඩුව අමතක කරන හැඩක් නැහැ...

ඒත් අපි තිදෙනාටම නැති ආලේපන අහසට මොකටද...ආලේපන ගල්වන්නේ ලබා උපන් පෙනුම පිළිගන්න අකමැති මිනිස්සු...තමන්, තමන්ගෙ සැබෑ ස්වරූපයට ආදරේ නොකර තව කෙනෙකුට කොහොම ආදරේ කරන්නද? මට හිතෙන්නෙ එහෙමයි...

ආලේපන කොහොම වෙතත් අපට දිවා ආහාරය පවා මග හැරෙන දින අනන්තයි, අප්‍රමාණයි...එක දිගට වෙහෙස දරාගෙන කරන මේ පර්යේෂණ වලින් ලෝක වාසීන්ට යහපතක් සැලසීම තමයි සියල්ලන්ගේම ප්‍රධාන අරමුණ...ඒත් ඔහු හැමදාමත් කියන්නේ අපට ලෝක ස්වභාවයට එරෙහි වීමට කිසි සේත්ම හැකියාවක් නැති වග...එය තමයි කටුක උනත් සත්‍ය...හෙට දිනයේ බිහිවන කුඩාම ජීවියාගේ හදවත පවා බොහෝ දරුණුයි...මිනිසුන් සිය ගණනක් එක රැයකින් මිහිපිටින් තුරන් කරන්න තරම් ඔවුන් බලවත්... 

ඒ කතාව වෙනත් දිනයක කියන පොරොන්දුව මත, අපි යන්න ආපු ගමන යමු...

ඒත් ගමන යන අතරමැද වෙහෙස වැඩි කමටම ඔහේ බලාගෙන ඉන්න මට ආයිමත් පෙන්නේ අහස...වසන්ත කාලයේ වැස්සත් මාස පටලවාගෙන...අපේම වරදින් තමයි...දේශගුණික විපර්යාස ගැන සම්මේලන පවත්වන තැනට ලෝකය පත් වෙන්න කලින්, අප හැමෝටම හිතන්නට දෙයක් තිබුනා...ඒ තමයි අපේම අනියම් දායකත්වයෙන් සිදු කරන පරිසර විනාශයේ අතුරු ප්‍රතිපල අපේ ජීවිත කාලය තුලදීම අත් විඳින්නට විය හැකි වග... 

අහස ඇවිත් මාත් එක්කම, අපේ ගමනාන්තයට...මි-රැන්චෝ මෙක්සිකානු අවන්හල...කාලගුණය මක් උනත් ඒ ගැන මොකට හිතන්නද? ඒ අවන්හලට අපූරු දුඹුරු පැහැ ලී වහලක් තිබුන කොට...

අද දවසේ හැටියට වහලක් නැතිව, මහ වැස්සේ උනත් ෂෙලීට ඕනේ උනේ ඇගේ හිතේ තිබුන පීඩනය පිට කරගන්න...ඊළඟ සතියේ ඇරඹෙන්නට නියමිතව තිබුන නෙදර්ලන්ත සම්මේලනයට තෝරා ගැනුන දේශන දෙකකට සුදානම් වෙන්න සිදුවීමේ පීඩනය...ඇය ඒ ගැන නොකීවට, මට එය හොඳාකාරවම දැනුනා...එහි අඩංගුවුන කරුණු බොහොමකයට මා වග කිව් බැවින්, ඒ බරින් හරි අඩක් ඇය දරාගත්තේ මා වෙනුවෙන්...ඉතින් ඇයට සහයෝගයක් දෙන එක මගෙත් යුතුකම...ඇත්තම කියනවා නම් මටත් උවමනා උනේ වෙහෙස මුදා හරින්න හරිබරි ගැහුන, ගැහැණු වට මේසයක්...

අද සවස පළමුව වෙන් කෙරුනේ අදට දෙදිනකට කලින් යෙදුන ෂෙලී ගේ උපන්දිනය සැමරුම වෙනුවෙන් වුවත්, ආසන්නම නිමිත්ත වූයේ දේශන දෙකම නිසි ලෙස අමුණාගෙන, ඒ බරින් ඔලුව නිදහස් කරගත් සතුට...

ෂෙලී සහ මා කරන ඕනෑම කාර්යක අතුරු ප්‍රතිපල, හොඳ, නරක, සියලුම කෙඳිරිලි, හේතු සොයා නොබලාම අසා ඉන්නට සිදු උනේ, තවත් පුංචි කෙල්ලෙකුට...සශී නොබෝ දිනකින්ම සුන්දර මනාලියක් වෙන්න පෙරුම් පුරන්නියක්...අප දෙදෙනාටම වඩා බොහෝ ලාබාල ඇයව අපට දැනුනේ බාල සහෝදරියක් ගානට...ඇය අලුත් පරම්පරාවේ මුල් පුරුකක්...පවුලේ එකම දරුවා උන ඇය, අද තමන්ගේ මව් රටෙන් සහ දෙමාපියන්ගෙන් වෙන් වෙලා මෙහි ගෙවන්නේ අතිශය ස්වාධීන ජීවිතයක්...

වැඩිහිටියෝ විදියට අප දෙදෙනාට, ඇය ගන්නා නොමේරූ තීරණ වලදී නොදැක්කා සේ හිඳින්නට බැරි වූ වාර එමටයි...තනිකඩව වෙනත් රටක ගෙවන මෙවන් තරුණ ජීවිත වලට ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දැක්මක්...එය බොහෝ විට අත්දැකීමෙන් පාඩම් ඉගන ගන්නා සංකල්පය මත පදනම් වූවක්...ඒ ක්‍රියාවලිය තුලදී ඔවුන්ගේ අතීතය තුල සැඟවී යන අඳුරු අත්දැකීම් ඕනෑ තරම්...කෙසේ වෙතත් කාලයේ අවෑමෙන් ඔවුන් ලබන පන්නරය අති මහත්... 

"අයි වෝන්ට් ටු ගෙට් ඩ්‍රන්ක් (මට මත්වෙන්න බොන්න ඕනෑ)"...ඒ ෂෙලීගේ ඉල්ලීම...

ඔබ හිතන්නේ මා කුමක් කල යුතුද? තරයේම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම...එහෙමත් නැත්නම් නිහඬවම අනුමැතිය පල කිරීම...දෙකෙන් කොයිකද?...

"ගෑණියෙකුට ගැළපෙන වැඩක්ද ඔය" ...

දැඩි හඬකින් එසේ කියා සිටින්නේ, තිරය පිටුපස හිඳ ගැහැණියකගේ නිරුවත විඳින පිපාසාවෙන් පෙලෙන, අපේ සදාචාරවත් සමාජ අයිකනය...

හැබැයි මගේ අදහස ඊට බොහෝ වෙනස්...

අනිකාගේ අදහස් වලට ගරු කිරීම, මා මෙරට ගෙවන ජීවිතයෙහි අනිවාර්ය අංගයක්...මෙතැනදී මට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ...අපි වෙනස් රටවල, වෙනස් සංස්කෘතීන් වල මිනිස්සු...ඒ වගේ සම්මිශ්‍රණයකදී ආයාසයකින් තොරවම, මගේ ප්‍රතිපත්ති රැකගෙන මත් නොවී ඉන්නටත්, ඇයට මත් වෙන්නට ඉඩ හැර, ඒ සමාගමයේ රැඳෙන්නටත් මට කිසිවෙකුගෙන් බාධාවක් නැහැ...

මගේ මතය අනුව, අවස්ථානුකූල හැසිරීම තීරණය වෙන්නේ, අපේ පෞර්ෂ අරටුව පෝෂණය කරන අක්මුල් විහිදිලා තිබෙන පස් වල ස්වභාවය අනුව..ඒවා ප්‍රමාණයෙන් වැඩෙද්දී වැටුන පොහොර වල අඩංගු වෙලා තිබුන රසායනික සංයුතිය අනුව...සමස්තයක් වශයෙන් අප නිර්මාණය වෙලා තිබෙන සංඝටක වල ස්වභාවය අනුව...

සමහර සංඝටක බොහොම ගණකම්, ඕනෑම පාරිසරික තත්වයකට ඔරොත්තු දිය හැකියි...සමහර ඒවා හරිම සියුමැලියි, ඒවා පරිසරයට බොහොම සංවේදියි...වෙනස් වීමේ සම්භාවිතාව බොහොම වැඩියි...තම අක්මුල් සහ අරටු වල තරම අවබෝධ කරගැනීමට නම්, ස්වයං විග්‍රහයක් කල යුතුයි...මෙවන් තීරණ ගැනීමේදී එය ඉතා පහසුවක්...

මා ජීවිතය සැදී ඇති සංඝටකයන් කවරාකාර වූවත්, ඒවා සියල්ලම සමීකරණයකට එක්කාසු කල විටක, ඔහුගේ සිතිවිලි වලට සමාන නොවුනොත්, ඒ සමීකරණය විසඳන්න පයිතගරස්ට පවා හැකියාවක් නැහැ...කලබල වීමට හේතුවක් නැහැ...එය ඔහුටත් එලෙසෙම අදාලයි...

නිවාඩු කාල වේලාවන්හිදී, එවන් සමාජයයීය සමීකරණ වඩාත් ගැඹුරු දාර්ශනික ලෙස  සාකච්ඡා කිරීම අප දෙදෙනා එකසේ ප්‍රිය කරන්නක්...මම ඔහුට මේ තරමටම ආදරේ කරන්නත් ඒක එක හේතුවක්...ජීවිතය ගැන ඔහුගේ අත්දැකීම් වලින් ඔහුට ලැබුන දැක්ම...

ජීවිතය, සමාජය, එකී නොකී බොහෝ දේ ගැන, හරිම විවෘතව, ඒ වගේම සංවේදීව, ඔහුටම ආවේණික බුද්ධියකින් විග්‍රහ කරන්න ඔහුට තියන හැකියාව අති විශාලයි...ඒ වගේම නොනවත්වා පැය ගණනක් උනත් මේ සංවාද කරගෙන යන්ට මට තිබෙන හැකියාවත් ඊට දෙවැනි නැහැ...

මොනවා ලියාගෙන ආවත් ඔහු ගැන නොලිය බැහැ...සමාවෙන්න...

ඔහු දැන් ටිකකට කලියෙන් මාව අවන්හල වෙතට හැරලවා ආපසු හැරුනෙ, මගේ ආරක්ෂාව සහතික කරගෙන...මේ වගේ අවස්ථාවකදී ඉතාම කුඩා අංශුවකින් නිකුත් වන අවදානම පවා ඔහුගෙ ඇස්තමේන්තුවට ඇතුලත්...එයට හේතුව වටපිටාව ගැන මගේ තිබෙන අවදානය ගැන ඔහුට අත්දැකීමෙන් තිබෙන අවබෝධය...අප දෙදෙනා සියලුම පරීක්ෂණ වාර්තා සලකල බලල පොදු තීරණයකට ආවත්, මට වඩා වැදගත් වෙන්නේ, ඔහුගේ ඇස් වලින් නිකුත් කරන අතිශය ආදරණීය  වූ ඒ වගකීම් සහතිකය...

දැන් ඇවිත් තිබෙන්නේ ෂෙලීගෙ වාරය...හතරැස් මේසයේ කොනක, මෙනු පතට එබීගෙන, ඇය වඩාත් හොඳම කොක්ටේල් එක තෝරා ගැනීමේ ඉතා අසීරු කර්තව්‍යක...මම ඒ වෙද්දීත් ජින්ජර් ඇල් එක තෝරා ගෙන හමාරයි...

සුන්දර මෙක්සිකානු යුවතියක් අපිට අවශ්‍ය දෑ ලබා දෙන්න සූදානමින්...ඇයට ඕනේ උනා ෂෙලීගේ හැඳුනුම්පත බලන්න...වයස තහවුරු කරන්න...කොක්ටේල් එක ලබා දෙන්නට කලින්...ගැහැණියකට ලාබාල වයසක් ආරූඩ කරන සෑම විටක මතුවෙන ප්‍රීතිමත් සිනහව ෂෙලී මුහුණේ මතුවුනේ ක්ෂණයකින්...අවුරුදු පහළොවක් අඩුවෙන් මැනීම...දරු පැටව් දෙදෙනෙකුගේ මවක් වීම...මං අහන්නේ ඊටත් වඩා සතුටක් කොහෙන්ද...

මාගරීටා...නම වගේම පාටත් සුන්දරයි...ලා දල්ලක පැහැය...

"දිස් ඉස් සෝ ග්‍රේට් (මේක නියමයි)"...ඇය ඇසක් ඉඟි කලේ,  අලුත් හිනාවක් විසුරුවමින්...

දැන් හරි...තව නොබෝ වෙලාවකින් ෂෙලී වෙනුවට, මාගරීටා කථා කරාවි...මා සැරසෙන්නේ ඇයගේ කථාවට සවන් දෙන්න...

ඇත්තටම වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්...කථාව වෙනුවට ඇය කරන්නේ තේරුමකට නැති දේ කියමින් මහ හඬින් හිනා වීම...ඒ හිනාව බෝ වෙන එකක්...අප දෙදෙනාටත් ඒ හිනාව බෝ උනේ ඉබේටම...සශී හොරැහින් මගේ දිහාවේ බැලුවේ එහෙම හොඳ නැද්ද කියන්නාක් වගේ...පොඩි එකී තාමත් ඉන්නේ රාජකාරී මට්ටමේ...මා සීරුවෙන් වටාපිටාව නිරීක්ෂණය කලේ, අපේ හැසිරීමෙන් අනිකුත් අමුත්තන්ට කරදරයක් වේවිදෝයි සැකහැර ගන්ට...

හැමෝම පාඩුවේ භුක්ති විඳින්නේ තමන්ගේ සතුට...ඒකට මොටද කාගෙන්වත් අවසරයක්...ඇස් ගෙඩි එළියට දාගෙන අනේ අනිච්චේ කියල කියන්න කවුරුත් අහල පහලක නැහැ...මං මේ රටට කැමතිම හේතුවත් ඒකයි... 

"හෙට ගමනට ලෑස්තිද" මං ෂෙලීගෙන් ඇහුවේ ඇගේ නෙදර්ලන්ත ගමන ගැන...

ඔබ පුදුම උනාද...හෙට ඇති ගුවන් ගමන ගැන කිසිදු තැකීමක් නොකොට ඇය අවන්හලක සැහැල්ලුවෙන් පසුවීම ගැන...පුදුමයක් නැහැ...ඇය අවසාන මොහොතේ ඇඳුම් ටිකක් අහුරගෙන ලෝකේ එහා කොනට උනත් යන්න හැකියාවක් තියන ගැහැණියක්...විනාඩි කිහිපයක් ඇතුලත සියලුම අතවශ්‍ය දෑ සපයා ගැනීමත්, එහි එක් සුවිශේෂ අංගයක්...තමන්ගෙ නිවසෙන් හෝ රටෙන් දුරස් වෙන ඕනෙම කෙනෙකුට මේ හැකියාව පළපුරුද්දෙන් ලැබෙන දෙයක්...සීමිත පහසුකම් වලින් ජීවත් වීමට ලැබෙන අනගි හැකියාව...

"වොට්"..."නෝ"..."මයි ක්ලෝත්ස් ආ ස්ටිල් ඉන් ද ඩ්‍රයර්, සින්ස් මොර්නින්ග් (උදේ දාපු ගමන මගෙ ඇඳුම් ටික තවම රෙදි වේලන යන්ත්‍රයේ)"...මේ ඇයගේම වචන වලින් ලැබුන උත්තරය...

මෙහෙමත් ගෑණු...මෙහෙමත් අම්මලා...මා නෙවෙයි...ඔබ එහෙම හිතුව නේද?

තව දෙයක්...ෂෙලී ගෙ අවුරුදු දෙකක් සහ අවුරුදු හයක් වයස පුංචි කෙළි පැටව් දෙන්නා මේ වෙලාවේ බලා ගන්නේ එයාගේ මහත්තයා...

"මිනිස්සු ඉන්නේ ළමයි බලන්නද...ගෑණු ඉන්නේ ඒවට...අපිට පුලුවන්ද ගෑනිගේ වහල් කම් කරන්න..." 

මේ මම නිතර අහල දැකල තියන පොදු වචන...

කලබල වෙන්නෙපා...මම දන්නවා මිනිස්සු හරිම රුසියෝ කිසි දෙයක් හොයා නොබලා තමන් අහන දකින දේ ගැන, අනික් මිනිස්සු ගැන, පූර්ව නිගමන වලට එළඹෙන්න...

ඒත් ඔබ අහල තියනවද මෙහෙම කථාවක්...

"ඩු නොට් ජජ් අ මෑන්, අන්ටිල් යූ වෝක් අ මයිල් ඉන් හිස් ෂූස් " 

"යම් කෙනෙකු ගැන නිගමන වලට එළඹීමට පෙර ඔබ ඔහුගේ සපත්තුව තුල  සැතපුමක් ඇවිදින්න.."

ඒ කියමන කොයි තරම් ගැඹුරුයිද...අපූරුයිද...මට එක තත්පරයකටවත් ෂෙලී නොවී, ඇය ගත කරන ජීවිතය, ඇය එදිනෙදා මුහුණ දේ ගැන හිතන්නටවත් අයිතියක් තියනවද?...අපිට පුළුවන්ද පිටස්තරයෙක් විදියට අනිකාගේ සපත්තුව මොන තරම් දුක් කම් කටොළු උහුලාගත්තාදැයි අනුමාන කරන්න...එහි මොන තරම් ආදරය, ගෞරවය, කැප කිරීම් පිරී ඇත්දැයි දැනගන්න...එය දැනගැනීමට නම් ඔබ ඒ සපත්තුව පැළඳිය යුතුමයි..ඔබ අනෙකා ගත කරන ලෙස සෑම තත්පරයක්ම ගෙවා දැමිය යුතුමයි...ඒ හැර, ඔබට කිසිම අයිතියක් නැහැ, අනිකා දුටු පමණින් හෝ යමක් ඇසු පමණින්, පූර්ව නිගමන වලට එළඹෙන්න...

සමහර විට ඔබ ෂෙලී උනා නම්...ඔව් මේ ආරාධනාව ඔබට...මොහොතකට ෂෙලී වෙලා බලන්න...

ඒත්...නැහැ..ඔබ කවදාවත් කැමති වෙන්නේ නැහැ, දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර ඉදිද්දී, කුඩා කලදීම ඔවුන්ගෙන් වෙන් වී, දුරු රටක ජීවත් වෙන්න...තමන්ගේ උඩගු නැන්දනියගේ කෙනෙහිලි විඳින්න...කෙනෙක් පාවිච්චි කර ඉවත දමන බඩු භාණ්ඩ සහ රෙදිපිළි අලෙවි කරන වෙළඳසැල් වලින් ඇඳුම් ලාබෙට මිලදී ගන්න බල කරන, ඇයගේ අණසකට නතුව ජීවත් වෙන්න...අට මසක දරු ගැබක් කුසේ දරාගෙන පැයක පමණ කාලයක් තුල තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය විනිසුරු මඩුල්ලට වාචිකව ඉදිරිපත් කරන්න...වැඩිහිටියෙකුගේ කිසිම සහයෝගයකින් තොරව අතිශය වගකීම් සහගත රැකියාවක් කරන ගමන්, පුංචි කෙලි පැටව් දෙන්නෙකුගේ වැඩ රාජකාරී කරන්න...විනාඩියක් ප්‍රමාද උනොත්, ඩොලර් අය කරන දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හැල්මේ කාරය පදවන්න...තව එකී මෙකී බොහෝ දෑ සිදු කරන්න...

සමහර විටක මේ බොහෝ දෑ ඔබත් කරනවා ඇති...ඒත් සපත්තුව කොහෙත්ම එක වගේ නොවන වග මොහොතකටවත් අමතක කිරීම යුතු නැහැ...

ඔබ එදිනෙදා අහන, දකින බහුතරයකගේ සපත්තු තුල මේ වගේ කතන්දර බොහොමයි...ඒ සපත්තුව තමන්ගේ කරගන්න ඔබ කොහෙත්ම කැමති නොවෙන්න පුළුවනි...එහෙනම් ඔබට අනෙකාගේ සපත්තුව පිළිබඳ තීරණ ගැනීමට සාධාරණ වූ අයිතියක් තිබේද?...

ෂෙලී ගේ රෙදි ටික පිළිවෙලට අසුරන්න ඇයට වෙලාවක් නොලැබුනාට, ඇනා, ඒ කිව්වේ, ඇයගේ වැඩිමහල් දියණියගේ පාඩම් වැඩ නම් ෂෙලී අතින් කොහෙත්ම අතපසු නොවෙන වග මම නිසැකවම දන්නා කරුණක්...ඇනාගේ උපන් දිනය අනුව ඇයට පාසලේ ප්‍රථම ශ්‍රේණියට ඇතුලත් වීමට නියමිතව තිබුනේ ඇයට වසර හත සපිරෙන්න ආසන්න වූවායින් පසුව...නමුත් ෂෙලීගේ සුවිශේෂ වූ කැපවීම හේතුවෙන්, මුල් ගුරුතුමාට සිදුඋනා, නියමිත වයස පිරීමට කලින්ම ඇනාව ප්‍රථම ශේණියට ඇතුලත් කරගැනීමට...ෂෙලී ඒ සඳහා සූදානම් උනේ පුංචි ඇනාට වයස හතරක් වැනි කුඩා කල පටන්...සියලුම සතියේ දිනවල ෂෙලීගේ වෙහෙස නොබලාම, ඇය ඇනාට ලිවීම, කියවීම, ගණිතය, හුරු කළා පමණක් නෙවෙයි, ඒවා පිළිවෙලින්, වැඩ පොතක සටහන් කරවන්නත් ඇය අමතක කළේ නැහැ...

එක් උදෑසනක ඇය මා සොයා පැමිණියේ රටක් දිනූ තරම් සතුටකින්...

"දේ හෑඩ් ටු ටේක් ඇනා ටු ද ෆර්ස්ට් ග්‍රේඩ් (ඔවුන්ට ඇනාව පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමට සිදු උනා)"

ඇනාගේ වැඩපොත පාසැලේ මුල් ගුරුතුමාට පෙන්වූ ෂෙලී, තමන්ගේ දරුවාගේ දක්ෂතාවය ඔප්පූ කර ඇත්තේ බොහොම තර්කානුකූලව...පොඩි එකීගේ ගණිත දැනුම සහ කියවීමේ හැකියාව දුටු ගුරුවරු ඇයව ගැලපෙන්නේ තුන් වන ශ්‍රේණියට කියූ බව ෂෙලී මට කියද්දී ඇයගේ ඇස් දිලිසුනේ පුදුමාකාර ආඩම්බරයකින්...ඇත්තෙන්ම ඇය එය විඳිය යුතුයි...

ආච්චිලාගේ, සීයලාගේ හුරතලේට හැදෙන, කියන දේ නාහන සමහර දරු පැටවුන්ට  වඩා, දෙමාපියන් වැඩ අහවර කර එනතුරු, පාසලෙන් පසුව එහිම රැකවරණයක පසුවන ඇනාගේ විනය හුඟක් ඉහලයි...මේ රටවල පාසැල් නිවාඩු දිනක් යනු රැකියාවල නියුතු දෙමාපියන් සිටින ඕනෑම කුඩා දරුවෙකුට දිවාකල ගෙවා දමන්නට සෙවනක් සොයා ගත යුතු දිනක්...ඇය අවතැන් වන එවන් දිනයකදී, ඇනාගේ දිවා සුරැකුම් සේවය සැපයෙන්නේ අප සියලු දෙනා අතින්...අතපසු වීමකදී සමාව ඉල්ලන්නත්, යම් දෙයක් එපා කියූ විට එක් වරම එය නවතාලන්නටත් මේ පුංචි දැරිය දෙපාරක් හිතන්නේ නැහැ...

මේ සියල්ලෙහි ගෞරවය, ඇඳුම් වේලෙන්නට දමා ඇවිත් මාගරීටා තොල ගාන මගේ මිතුරියටත්, ඇය ආපසු එනතුරු ඉවසීමෙන් දරු දෙදෙනා බලා ගන්නා ඇයගේ සැමියාටත් හිමි විය යුතු නැතිද?...

"අයි ඕල්සෝ වෝන්ට් දෙම් ටු සින්ග් අ බර්ත් ඩේ සෝන්ග් ටු මී...ඇන්ඩ් අයි වෝන්ට් ටු වෙයා දැට් බිග් හැට් (මටත් ඔවුන් ලවා උපන් සුබ පැතුමක් ගයා ගැනීමට උවමනායි...මට අර ලොකු තොප්පිය පළඳා ගන්නත් උවමනායි)"...

ෂෙලී මහ හඬින් හිනාවෙවී කියාගෙන යද්දී, මගේ නෙත ගැටුනේ තවත් අමුත්තෙකුට උපන් දින සුබ පැතුමක් එක් කරන අවන්හල් සේවකයින් පිරිසක් සහ විශාල නිල් පැහැති කැටයම් රටා මැවූ විශාල මෙක්සිකන් තොප්පියක්...

"ගුඩ්"...මට කියවුනේ ඉබේටම...

"ඇන්ඩ් අයි වෝන්ට් යූ ටු බී එම්බැරස්ඩ් ටූ (මට උඹව අපහසුතාවයට පත් කරවන්නත් ඕනෑ)"...

ඒ ඇයගේ ඊළඟ ඉලක්කය...

ඇයට අවශ්‍ය දැනට සති දෙකකට කලින් යෙදුන මගෙ උපන්දිනයත් ඔවුන්ට දැනුම් දී, මටත් ලොකු තොප්පියක් පලඳවන්න...එවැනි හරසුන් ක්‍රියාවන්ට මගේ වැඩි කැමැත්තක් නැති වග, ඇය අත්දැකීමෙන්ම දැනුවත්...ඒත් මම වවුලාගේ මඟුලට සහභාගි වී හමාරයි...

තවත් මොන එම්බැරස්ද යෝදියේ...උඹේ මේ කියවිල්ලයි, හිනාවයි මදැයි ඒ වැඩේට...මම එහෙම හිතුවේ අහිතකින් නෙවේ...ඇය වෙනුවෙන් මේ කාලය වෙන් කිරීම ගැන හිතට දැනුන සතුටකුත් එක්ක...

අපේ සුරූපී යොවුන් සහායිකාව ෂෙලීගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම්...ඇය නැවතත් ෂෙලී ගෙ හැඳුනුම්පතෙන් උපන්දිනය තහවුරු කල පසු, ෂෙලී මහ හඬින් කියා සිටින්නේ මා වෙනුවෙනුත් එවැන්නක් අවශ්‍ය වග...මෙවැනි අවස්ථාවක මා කරන්නේ සිනාසීම පමණයි...දැනුත් මා සිටින්නේ එලෙසෙම සිනාසෙමින්...

නමුත් සිදු වෙමින් පවතින්නේ අප තිදෙනාම අපේක්ෂා නොකළ දෙයක්...

අවන්හලේ කලමණාකරු යයි මා කලින්ම අනුමාන කල පුද්ගලයා...ඔහු දැන් අපේ මේසය අසල...ඔහු බොහෝ වෙලාවක ඉඳන් ෂෙලීගෙ කෙළිලොල් මත්බව දෙස විමසිල්ලෙන් බලා උන්  වග ෂෙලී නොදුටුවේ, මාගරීටා විසින් ඇගේ තීක්ෂණ බුද්ධිය සෙමින් අවහිර කල බැවින්...පොඩි කෙල්ල එය නොදුටුවේ, ඇය ඔහුට පිටුපා සිටි බැවින්... 

"හැපි බර්ත්ඩේ"..."ඩු යූ වෝන්ට් ටිකිලා (Tequila)...(උඹට ටිකිලා ඕනෙද)" ඔහු අසන්නේ මනමාල හිනාවකින්...

මොකක්...මේ මිනිහට පිස්සු හැදීගෙන එනවද? මේ ගෑණි ගෙදර යන්නත් ඕනේ තනිවම කාරය පදවාගෙන...ඒ මදිවට හෙට ගමනක් යන්නත් තියාගෙන...දැනටම සිහිය මදි වගේ...මම නොනවත්වාම හිතුවා...

"ඕ යේ...යා යා...අයි  විල් හෑව්... (ආ ඇත්තෙන්ම, හා..හා..එහෙනම් මම ගන්නම්)"...ෂෙලී පවසන්නේ මහ හඬින් සිනා වෙමින්...

ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු...

"ඉස් හී සීරියස් (ඔහු ඇත්තටමද ඒ කිව්වේ)"..."අයි ඩෝන්ට් වෝන්ට් ටිකිලා මෑන් (මට ටිකිලා ඕනේ නැහැ)"...

"ඉෆ් අයි ගෙට් මෝ, අයි විල් ෆොගෙට් යූ ගයිස් ටූ (මම තවත් ගත්තොත්, මට උඹලවත් අමතක වෙයි)" 

ඇය දොඩවන්නේ වෙන්න යන දේ හිතාගන්නට බැරිව..

මොනවටද දෙවියනේ එහෙනම් ටිකිලා ඉල්ලුවේ අර මිනිහගෙන්...

"ඕ මයි ගෝඩ් සශී, වී ෂුඩ් ගෝ නව් (මගේ දෙවියනේ සශී, අපි දැන් යා යුතුයි)...

හිනාව පාලනය නොකරම, මම සශීට එහෙම කිව්වත්, ෂෙලී ඇයගේ සීමාව ඉක්මවා යාවිදෝ යන හැඟීමත් මගෙ හිතේ නොතිබුනාම නෙවෙයි...

කුඩා ටිකිලා බඳුනක් එක්ක දොඩම් පළුවක් ගෙනාපු කලමණාකාර තැන, දැන් ෂෙලී ට ඒක බොන ක්‍රමය පැහැදිලි කරන්නේ පියවරෙන් පියවර ...

එය ඔහු කරන්නේ මොන අරමුණකින්ද යන්න ගැන පැහැදිලි අදහසක් ලබා ගන්න කාලය වැය කරනවාට වඩා, මා  කලේ මින් පෙර නොඇසූ ටිකිලා පාඩම රස විඳීම...

"ඉස්සර වෙලාම ඕක බොන්න"...

ෂෙලී ටිකිලා වීදුරුව එක මොහොතකින් උගුරටම හලා ගන්නා අයුරු මා බලා ඉන්නේ කිසිම දෙයක් හිතා ගන්නට බැරුව...මා හිතන්නේ ඔබත් මොකුත් නොහිතන තරමට වඩා හොඳයි...

"දැන් ඔය දොඩම් පළුව කන්න"

ඇය ඒක කන්නේ අතිශය මත් භාවයකින් කියලයි මට හිතුනෙ...ටිකක් සරාගී වැඩියි වගේ...

"ඕ..සෝ ගුඩ්...තෑන්ක් යූ..." 

ඔව් ඉතින් ස්තුති නොකර පුළුවනිද...මේ වගේ වෙලාවක...

මාගරීටා දක්ෂ උනා ටිකිලාව තමන් ළඟටම ගෙන්නා ගන්න...මාගරීටා කලේ අවන්හල දෙවනත් වෙන්න හිනා උන එක...ටිකිලා මොනවා කරයිද...මා ඉන්නේ අතිශය කුහුලකින්...

සශී..."යූ හැව් ටු සෙට් ද බවුන්ඩරි, වෙන් යූ ගෙට් මැරීඩ් (සශි, උඹ විවාහ උනාට පස්සේ උඹේ සීමාව සලකුණු කල යුතුයි"..."යූ හැව් ටු හැව් යුව ඕන් පර්සනල් ස්පේස් (උඹට උඹේ පෞද්ගලික අවකාශයක් තිබිය යුතුයි)..." 

අපොයි ඒ හිනාවෙ තියෙන නැහැදිච්ච් පෙනුම...

ටිකිලා, මාගරීටාට වඩා වියරු හැඩයි...අර අලුත් විවාපත් වෙන්න ඉන්න පොඩි එකීට, ටිකිලා ගෙන් නොමිලේ උපදෙස්...බිරිඳ සහ සැමියා අතර මැද තිබෙන සීමාව ලකුණු කරන හැටිය ගැන...

මම ඉන්නේ මේ කථාව ඇසෙන නෑසෙන ගානට..

එක පාරටම මගේ අතට තට්ටු කල ඇය...

"නොට් ලයික් දිස් (මේ වගේ නෙවේ).." "නෝ ෆො දැට් පාටි..නෝ ෆො දිස් පාටි(අර පාටිය බැහැ...මේ පාටිය බැහැ)"...

ඔහුගෙයි, මගෙයි පොදු තීරණ වලට අනුව, මම සාද වලට නොයෑම ගැන ටිකිලා මතු කල ෂෙලී ගෙ පූර්ව නිගමන...ඇය හිතන්නේ ඒවා ඔහුගේ නීති බව...නමුත් සාදයන් යනු මගේ වින්දන පරාසයේ කොටසක් නොවන වග, මා කොපමණ ඇයට කියා ඇතත්, ඇයගේ පූර්ව නිගමන වලට එපිටින් යාමේ හැකියාවක් මට නැහැ...මගේ සපත්තුව මේ කලබල නගර වල විඳින්නේ, ඔහු සමඟ මා ගෙවන තත්පර වල සතුට පමණයි...එහෙත් මගේ සපත්තුව අදටත්, මා ඉපැදුන ඒ කුඩා ගම්මානයේ ගහ කොළ දිහා වරු ගණන් බලා හිඳිමින්, මා විඳි සතුට සොයා යන්නට මට බල කරන වාර අනන්තයි... 

මීට සති කිහිපයකට උඩදී, "හී ඉස් අ ගුඩ් මෑන්, යූ හැඩ් අ ගුඩ් චොයිස් (ඔහු හොඳ මිනිහෙක්...උඹේ තේරීම හොඳ එකක්)" කියූ ඇයම, ටිකිලා විසින් මෙහෙය වූයේ, ඇයගේ යටි සිත කරාද යන්න මා ප්‍රශ්න කලේ නැහැ...

ඒ කෙසේ වෙතත්, මා අන් අය ගැන පූර්ව නිගමන එළඹෙන්නේ නැතුවා සේම, අන් අය මා ගැන එළඹෙන නිගමන ගැනද කිසිසේත්ම තකන්නේ නැහැ...

ඒ නිසා මා නැවතත් ඇගේ ප්‍රීතිමත් හිනාව එක්ක...

අපි දෙදෙනා වෙනුවෙන් අයිස් ක්‍රීම් බඳුනක ගැසූ ඉටි පන්දමක් දෙකක් ...සහ ලොකු තොප්පි දෙකක්...

අවන්හල් සේවකයින් විසින් මේ ගයන්නේ අප දෙදෙනා වෙනුවෙන්... ෂෙලී නොනවත්වාම කරන්නේ කුඩා දරුවෙකු සේ අත් පොළසන් දෙමින් කෑ ගැසීම...

සශී ඒ අතරේ  කලේ මේ සියල්ලම තමන්ගේ කැමරාවට හසු කර ගැනීම...ඒ අතරේ මම ඇයට ඉඟියෙන් පැවසුවේ දැන් අප නික්ම යා යුතු බව...


"සැල් වී ලීව් විත් අවුට් පේයිං (අපි බිල නොගෙවා යමුද)"....

තවත් හිත හිතා ඉන්න උවමනාද?...ටිකිලා විසින් ඇගේ මතකය මකා දමා පෙරළි කරන්නට පෙර කළ යුත්තේ හැකි ඉක්මනින් පිටව යාමයි...


............................................................................................................


"නෝ මෝ ටිකිලා..නෝ මෝ මාගරීටා...ඕකේ...හැව් අ සේෆ් ජර්නි"...පසුවදා මම කල්‍යාණ මිත්‍රයෙක් සේ ඇයට කෙටි පණිවුඩයක් යැවුවා...ඇය ගුවන් තොටුපල පර්යන්තයෙහි ඉන්නා අතර තුර...

දෙයක් කියන්න ඕනේ ඒ දේ අහන්න සූදානම් වෙලාවක...මම වෙලාව බලල ඇයට ඒ පණිවුඩය දුන්නා...

ගැහැණු පිරිමි බේදයකින් තොරව මත් වතුර භාවිතය, මම කිසි සේත්ම අනුමත නොකළත්, ඇය කියන්නා වාගේ හැමෝටම තමන්ගේ කියා හැඟීම් තියනවා...තමන්ගේ දුක දන්නා තමන්ටම අනන්‍ය වූ කුණු දූලි වැකුණ, කප්පරක් මතක එකතු උන සපත්තු තියනවා...ඒවා කිසිවක් ගැන හසරක් නොදැන, මිනිස්සු ගැන පූර්ව නිගමන වලට එළඹෙන එක කොයි තරම් සාධාරණද? මිනිස්සු කැමති ලේසියෙන් හිතන දෙයින් පූර්ව නිගමන වලට ඇවිත්, එතැනින් පසු ඒ ගැන හිතීම නවත්තල දාන්න...මා නම් කියන්නේ අනුන්ගේ සපත්තු ගැන නොසොයා තමන්ගේ සපත්තුව ගැන ස්වයං විශ්ලේෂණයක යෙදෙන්න කාලයක් ගන්න එක තමයි වඩා වටින්නේ...එතකොට ඉබේම අනෙකාගේ සපත්තුව ගැනත් පොදු අවබෝධයක් ඔබට ලැබේවි...

............................................................................................................

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~.